කඩවර ඉෂාරගේ ගෙදරට පැන මාමාට වෙඩි තබා මරලා

173

තිදෙනෙක් අත්අඩංගුවට

අම්බලන්තොට කොග්ගල්ල කඩවර ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (19 වැනිදා) අලුයම කඩාවැදුණු තිදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් එම නිවසේ සිටි හැට දෙහැවිරිදි පුද්ගලයකු මියගොස් තිබේ.

මියගිය ගියේ අංක 49, උතුරු කඩවර, කොග්ගල්ල, අම්බලන්තොට ලිපිනයේ පදිංචි අමරකෝන් කන්කානම්ගේ සිරිපාල නමැති අයකු බවට හඳුනාගෙන ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා ඊයේ (19 වැනිදා) පෙරවරුව වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුවන් අදාළ නිවසට පැමිණ එක් අයකු නිවසේ ජනේලයකින් එබී මියගිය අයගේ පුත්‍රයා සිටින්නේදැයි මුලින් ම සොයා බලා ඇත. ඒ අවස්ථාවේ නිවසේ පාඩම් කරමින් සිටි මියගිය අයගේ මිනිබිරියක ජනේලයෙන් එබුණු සැකකරු දැක කෑගසා ඇති අතර එහිදී නිවසේ පිටුපස දොරින් පිටතට පැමිණි මියගිය අය නිවස ඉදිරිපසට ඒමේදී අනෙක් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි මූලික පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් ගිනි අවි දෙකක් රැගෙන පැමිණි බව හා ඔවුන් වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් බව විමර්ශනවලදී නිරීක්‍ෂණය වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. සැකකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගිය අය එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත. සැකකරුවන් මෙහිදී වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙඩි වැදීමෙන් මියගිය අය එම නිවසේ පදිංචි කඩවර ඉෂාර නමැති අයගේ බිරිඳගේ පියා බවත් පොලිසිය පවසයි. කඩවර ඉෂාර නමැති අය සමග ගව සොරකමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයිද පොලිසියට තොරතුරු වාර්තා වී ඇත. අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සමන් ගමගේ සහ මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment