විදුලි පුටුව

1149

ආසියාවේ තත්ත්වය ඉතාම නපුරු බව පෙනේ. කන්න බොන්නට පවා නැතිව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ මීට හයමාසයකට පමණ පෙර දී අපේ උදව්වට පැමිණි බංගලාදේශය ඩොලර් මිලියන 250 ක ණයක් පවා ප්‍රදානය කළේය. ඒ අතර පසුගිය දිනවල බංගලාදේශයේ ආර්ථිකය කඩාවැටිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පෙට්‍රල් මිල 51% කින් ඉහළ ගියේය. බලවත් සේ කෝපයට පත් වූ බංගලාදේශ ජනතාව මහ පාරවලට කඩාපැන කඩවල් ගිනිතබමින් පෙට්‍රල් ෂෙඩ්වලට පහර දෙමින් යකා නටන්නට වූහ. කිසියම් පාරිභෝගික ද්‍රව්‍යයක මිල ඉහළ ගිය විට එය ජනයාට දැනේ. පාරිභෝගික ද්‍රව්‍යයේ අවශ්‍යතාවයේ බලගතුකම අනුව ඒ දැනීම හුඟක්ම වැඩි වෙයි. පෙට්‍රල් යනු පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි.

ශ්‍රී ලංකාවේ විදුලි බිල 75% කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දෙනු ලැබ ඇත. මේ අතර ළඟදීම වතුර බිල ද මහත් සේ ඉහළ යනු ඇත. ජලය යනු මිනිසාගේ ප්‍රමුඛ අවශ්‍යතා දෙකෙන් එකකි. අනෙක් අවශ්‍යතාවය වන්නේ ඔක්සිජන් ය. හොඳ වෙලාවට ඔක්සිජන් පරිසරයේ තිබේ. එයත් ආණ්ඩුවේ පයිප්පවලින් ලබාගැනීමට තිබුණේ නම් මේ වන විට රටෙන් භාගයක් ස්ථිරවම මියගොසිනි. එයට හේතුව ආණ්ඩුව විටින් විට ඔක්සිජන් මිල වැඩි කිරීමට ඉඩ තිබීම ය. විදුලිබිල 75% කින් වැඩි කිරීම සමාන වන්නේ මිනිසුන් අල්ලා ගස්වල බැඳ කරන්ට් වැද්දවීමට ය. කරන්ට් වැද්දවීමට ඉංග්‍රීසියෙන් Electrocution යන වචනය යොදනු ලැබේ. මෙය මුලින්ම සිදුකරන ලද්දේ විදුලි පුටුව නමැති දණ්ඩන ක්‍රමය හරහා එක්දහස් නවසිය ගණන්වල මුලදී ය. අද විදුලි පුටුව ලෝකයේ රටවල් ගණනාවකම තහනම් භාණ්ඩයක් වන නමුදු ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල අදටත් නීත්‍යානුකූලය. විදුලි පුටුවේ තබා කරන්ට් වද්දවා මරණ එකාගේ නාහෙන් කටින් දුම් පිට වේ. අපේ රටේ විදුලි මිල 75% කින් නැංවීම ද එක් අතකින් ජනතාව විදුලි පුටුවේ තැබුවා හා සමාන ය. විදුලි බිල වැඩිවන ආරංචියටම ජනතාවගේ නාහෙන් කටෙන් දුම් විසිවීමට පටන් ගෙන ඇත. මේ අස්සේ වතුර බිලත් වැඩි වුණොත් අපගේ අවසන් කටයුතු සඳහා ජලයේම පිහිට පැතීමට අපට සිදු වේ. එනම් රොත්ත පිටින්ම ඉන්දියන් සාගරයේ මහා ජල කඳට පැනීම ය.

ආණ්ඩුවට ඉතාම අමාරු බව අපි දනිමු. ඊට වඩා අපට අමාරුය. සාමාන්‍යයෙන් මේ මොහොතේ දී බඩු මිල ඉතාම ඉහළ ය. තොග වෙළෙඳපොළ බඩු මිල අඩු කළාට ඒ අඩුව සිල්ලර වෙළෙන්දා හරහා සාමාන්‍ය ජනයාට ලැබෙන්නේම නැත. මේ වන විට තෙල් පෝලිම් නැත. තිබුණත් ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. මේ වන විට ගෑස් පෝලිම් ද නැත. තිබුණත් ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. එසේම ඉදිරියේදී විදුලි බිල ගෙවීමේ පෝලිම ද නැතිවනු ඇති බව අපගේ විශ්වාසයයි. එයට හේතුව එක්කෝ මිනිසුන් ලයිට් පාවිච්චිය අත්හැර දැමීම ය. නො එසේ නම් ලයිට් බිල ගෙවා ගැනීමට නොහැකිව ලයිට් කපා තිබීම ය. වතුර බිලත් නැග්ගොත් මේ රටේ ජනයා කබලෙන් ලිපට නොව ලිපෙන් කබලටත්, එතැනින් යළි ලිපටත් දිගින් දිගටම මාරුවෙන් මාරුවට වැටීම සිදු වෙයි. ආර්ථික අර්බුදය නිසා ලෝකයේ හැම රටකම ප්‍රශ්න තිබේ. එසේ කියා හිත සනසා ගැනීමට අපේ බඩ පණුවෝ අපට ඉඩ නොදෙති. උන් ඉල්ලන්නේ ම කෑම ය.

සාමාන්‍ය ජනතාවට දැන ගැනීමට ලැබෙන තොරතුරුවලට අනුව ලංකා විදුලිබල මණ්ඩලය යනු දුෂ්ට ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති ආයතනයකි. පුද්ගලික අංශයෙන් වැඩි මිලට ඉන්ධන මිලට ගැනීම සඳහා මෙකී පට්ටපල් හොර ඉංජිනේරු රැල විවිධ උප්පරවැට්ටි යොදන බව දැන ගන්නට තිබේ. ඇතැම් විට බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය නිකරුණේ මුදාහරින බව දැනගන්නට තිබේ. එසේ ජලය මුදාහල විට ඒවා ඇළවල් දිගේ ගංගාවලට එක් වී කෙළින්ම ඉන්දියන් සාගරයට ගලා බසී. හිස් වූ ජලාශවලින් විදුලිය නිපදවීමට නොහැක. එවිට විදුලිබල මණ්ඩලයට වැඩි මිලට විදුලිය විකිණීම සඳහා පුද්ගලික අංශයේ සිටින ජෙනරේටර්කාරයෝත්, පාවෙන බලාගාරවල බ්‍රෝකර්ලාත් ඉදිරිපත් වෙති.

පාවෙන බලාගාරයක් යනු මුහුදේ පාවෙන විශාල නැවකි. මේ නැවේ ඉන්ධනවලින් ක්‍රියාකරන විශාල ජෙනරේටර් තිබේ. ඉන්දියන් සාගර මුහුදු සීමාවේ පාවි පාවී තිබෙන මේ නැව් ශ්‍රී ලංකාවේ වෙරළ කිට්ටුවට ගෙන්වා දීමට ඕනෑම මොහොතක පුළුවන. බ්‍රෝකර් ඒ සඳහා වැය කරන්නේ එකම එක ටෙලිෆෝන් කෝල් එකක් පමණි. මේ පාවෙන බලාගාරය වෙරළාසන්න මුහුදට විත් දිග වයර් එකක් මගින් විදුලිබල මණ්ඩලයේ විද්යුත් සම්බන්ධීකාරකයට හෙවත් Nation grid එකට සම්බන්ධ කරනු ලැබේ. ඉහත සඳහන් ඉංග්‍රීසි වචනයේ නියම සිංහල යෙදුම විය හැක්කේ ජාතික පද්ධතියයි. එතැන් සිට පාවෙන බලාගාරය මගින් බස බස ගා කරන්ට් එක රට තුළට එන අතර ඒ සඳහා ආණ්ඩුව විශාල මිලක් ගෙවිය යුතුය. ඒ ගෙවන මුදල් හැමදාම දරා ගැනීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරන්නේ නැත. එක්තරා මොහොතක ඉතා දරුණු ලෙස විදුලි බිල වැඩි කිරීමෙන් මේ පාඩුව ඇල්ලීම සිදුවනවා ඇත. විදුලිබල මණ්ඩලය 75% කින් විදුලි බිල වැඩි කරන්නේ නම් එයට හේතුව මේ සියලු කරුණු සහ අපගේ අහේතුව විය යුතුය.

එහෙත් අහේතුව කියා කට වසාගෙන කුද ගසාගෙන සිටින සිස්ටම් එකක් නූතන සමාජයේ නැත. නූතන සමාජය තුළ මේ වන විට සිස්ටම් චේන්ජ් එකක් සිදු වී තිබේ. මිනිසුන් ගෝඨාභය ගෙදර අරින්නේ ඒ සිස්ටම් චේන්ජ් එකේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ ආණ්ඩුව දැනට රට ගොඩ දැමීමට කිසියම් ආකාරයකින් කටයුතු කරන බව පැහැදිලිය. ඒ බව ‘නිකම් පැහැදිලි’ නොව ‘සක්සුදක් සේ’ පැහැදිලි වුවද විදුලි බිල 75% ක් වැඩි කළහොත් ආණ්ඩුව කෙරෙහි විශාල වෛරයක් ඇතිවීමත්, අපවාදයක් නැඟීමත් සිදුවීම ස්ථිරය.

advertistmentadvertistment
advertistmentadvertistment