අපේ සතුට සොරා ගත්තේ කවුද?

670

ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිට පිට හත්වැනි වරටත් කප් ගසා ඇත්තේ ෆින්ලන්ත රාජ්‍යයයි. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකරගෙන ඇත්තේ 2024 ලෝකයේ සතුටින්ම ජීවත්වන සහ ජීවත්වීමට සුදුසු රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත්වෙමිනි.

ලොව සතුටින්ම ජීවත්විය හැකි රටවල් තේරීම සෑම වසරකම සිදු කෙරේ. එය සිදුකරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි. මේ සඳහා ලැයිස්තුගත රටවල් 143ක් සම්බන්ධ කර ගැනේ. ජනමත සමීක්‍ෂණ පවත්වා ලොව සතුටින්ම සිටින රටවල් තෝරාගන්නා අතර එහිදී අප රටට හිමිව ඇත්තේ 128 ස්ථානයයි.

දල දේශීය නිෂ්පාදිතය, වැසියන්ගේ ආයු අපේක්‍ෂා කාලය, ජීවිතයේ තීරණ ගැනීමට ඇති නිදහස, ත්‍යාගශීලී බව, සමාජ සහයෝගිත්වය මෙන්ම රාජ්‍ය අංශයේ දූෂිත මට්ටම ලොව සතුටින්ම සිටින රට තෝරා ගැනීමේදී පාදක කරගනු ලැබේ.

ලොව සතුටින්ම සිටින රට තේරීමේදී තෝරාගනු ලබන ඉහත නිර්නායක සැලකීමේදී අපේ රටට 128වැනි ස්ථානය ලැබීම ගැන ගැඹුරින් කල්පනා කළ යුතුය.

අප රටේ ස්ථානගතවීම, දේශගුණික, කාලගුණික සාධක, අප රට සතු බෞතික සම්පත් මෙන්ම අප සතු මානව සම්පත ගත්විට ලොව ඉහළටම ඔසවා තැබිය හැකි රටකි. කාලයක් අප රට ලොව විවිධ ජාතීන්ගේ යටතට පත්වන්නේත් එහි ප්‍රතිඵලයක් වශයෙනි. දණ්ඩක් වීසි කළත් පැළවෙන සශ්‍රීක භූමියක් අප සතුය. නිසි කළමනාකරණයක් යටතේ අප රට තුළ වගා සංග්‍රාමයක් දියත් කළ හැකි නම් අප රටේ ජනතාවගේ බඩකටත් පුරවා ඩොලරුත් ඉපයිය හැකිය. නමුත් අද අපට සිදුව ඇත්තේ ලූනු ගෙඩියත් පිටරටින් එනතුරු බලා සිටීමටය. කාලයෙන් කාලයට විවිධ පක්‍ෂ විවිධ සන්ධාන මේ රට පාලනය කළත් අන්තිමේදී ජනතාවට ඉතිරි වූ කෙංගෙඩියක් නැත. හැම පාලන කාලයකදීම කෘෂිකර්ම ඇමැතිවරු රට වගාවෙන් සරුකරන බවට පොරොන්දු දුන්න ද රටට අත්වුණ සෙතක් නැත. විසිල් පමණක් ඇති බල්ටි නැති රටක නන්නත්තාර ජාතියක් බවට අප පත්ව ඇත. එවන් රටක ඉහළ දළ ජාතික නිෂ්පාදනයක් කෙසේ අපේක්‍ෂා කළ හැකිද? එවැනි රටක ගොවියාගේ, නිෂ්පාදකයාගේ අතමිට සරුවේද? එවන් තත්ත්වයක් යටතේ සතුටින් සිටින ජාතියක් ගැන සිතිය හැකිද? අප රට හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ මෙම ගැටලුව ජය ගැනීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය රටක් තුළ සතුටින් සිටින ජනතාවක් තේරීමේදී සමාජ සහයෝගිතාව, ත්‍යාගශීලී බව යන කරුණුවලට වැඩි බරක් තබා තිබේ. අප රටේ සමාජ සහයෝගිතාව ගිලිහීගොස් බොහෝ කල්ය. අනෙකා විනාශ කර හෝ තමන්ගේ නැගීසිටීමේ පටු ආකල්ප මත ජීවත්වන බහුතරයක් නිසා රටම අඳුරේ වැටී ඇත. රට ගැන නොසිතා අප රටේ ක්‍රියාත්මක විවිධ ව්‍යාපෘතිවලින් ගසා කන්නන්, කොමිස් ගසන්නන්, වංචාකාරයන් රට ණය උගුලක හිරකර තිබේ. රට සංවර්ධනය කරන මුවාවෙන් අප රට තුළ සංවර්ධනයට අදාළ ව්‍යාපෘති කළ අය තරවූවා මිස සංවර්ධනයේ ප්‍රතිලාභ ලෙස ජනතාවට ලැබුණේ අල්පයක් පමණි. මෙම සියල්ල ක්‍රියාත්මක වීමේදී අන්ත දූෂිත දේශපාලන තීන්දු තිබෙන බව රටම දන්නා කරුණකි. එම අන්ත දූෂිත දේශපාලනය අප රටේ ජනතාවගේ සතුට සොරාගෙන තිබේ. එනිසාම අප රට ලොව සතුටින් ජනතාව සිටින රටක් බවට පත්කිරීම සඳහා මෙම මජර දේශපාලන රාමුව පරාජය කළ යුතුය.

ලොව සතුටින් සිටින රටක් නිර්මාණය කිරීමේදී දූෂිත දේශපාලනඥයන් මෙන්ම දූෂිත රාජ්‍ය නිලධාරිවාදය එකසේ පරාජය කළ යුතුය. අද අප රටේ සමහර ආයතනවලට ගිය විට අතයට කීයක් හෝ නොතබා වැඩක් කර ගැනීමට බැරි තත්ත්වයක් උදාවී තිබේ. අප රටේ කාලයක් තිස්සේ සිදුවන ඖෂධ මාෆියාව පිටුපස දේශපාලනඥයෝ මෙන්ම අන්ත දූෂිත නිලධාරීහු ද වෙති. එනිසාම අප රට වෙලාගෙන සිටින දූෂිත වළල්ල අප රටේ ජනතාවගේ සතුට සොරාගෙන ඇති බව පැහැදිලිය. මෙය පරාජය කිරීම රටට හිතැති, රටට ආදරය කරන සියල්ලන්ගේම වගකීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment