බෙලිඅත්තේ සංහාරය – (අපට කීමට ඇති කතාව)

1305

බෙලිඅත්තේදී පෙරේදා සිදුකරන ලද මනුෂ්‍ය ඝාතන 5 සම්බන්ධයෙන් ලියවෙන මේ කතුවැකියට පෙරවදනක් වශයෙන් පහත සඳහන් ස්වල්පය ලියනු ලැබේ. 1960 දක්වා මේ රටේ පාතාලයක් තිබුණේ නම් ඒ බෝගල පතල සහ කහටගහ පතල පමණි. මේ පතල් දෙක මගින් මිනිරන් නිපදවන ලද අතර ඒවා රට පැටවීමෙන් නිකන්ම නිකන් සිටි හාල්පාරුවන් කිහිපදෙනෙක් ධන කුවේරයන් බවට පත්වූහ. 1960 න් පසු මේ රටේ නූතන පාතාලයට අවශ්‍ය අත්තිවාරම සෑදීම ඇරඹිණ. රටේ තිබූ භූමි දෝෂයක් නිසාදෝ ඒ අත්තිවාරම හරියටම හරිගියේ නැත. එය ගොඩනැංවීම සිදුවූයේ ඉතා සෙමිනි. චොප්පේ, කියුටෙක්ස් පියදාස, මරු සිරා, නව රියන්, යකඩයා ඇතුළු පාතාලකාරයන් කිහිපදෙනෙක් (එකල ඔවුන් හඳුන්වන ලද්දේ ගණන්කාරයන් ලෙසය.)

1960 න් පසු මේ රටේ පාතාලය run කළ අතර 1971 අප්‍රේල් කැරැල්ලේදී පෙරකී ප්‍රධාන පිරිස හැර සෙසු පොඩි පොඩි පාතාලකාරයන් සියලුමදෙනා පොලිසියෙන් මරාදමන ලදි. උදාහරණයක් ලෙස විශාල බලවේගයක් හැටියට වර්ධනය වීමට නියමිත වූ තලවතුගොඩ වැලි පාරේ එන්.ඩී.ආර්. නමැති දාමරිකයා ඝාතනය කළ ආකාරය දැක්වීය හැකිය. 71 කැරැල්ලේදී එන්.ඩී.ආර්. මැරීමට පොලිසියට වුවමනා විය. ඔහු ජ.වි.පෙ. ට කිසිදු සම්බන්ධයක් නොතිබූ එවකට පැවති සමගි පෙරමුණු ආණ්ඩුවට පක්ෂපාතීව සිටි දාමරිකයෙකි. කැරලි සමයේ දිනක පොලිසිය ඔහුගේ ගෙදරට ගියේය. එවිට එන්.ඩී.ආර්. ගෙදර වැසිකිළියට ගොස් දොර වසාගෙන සැඟවී සිටියේය. පොලිසිය කළේ වැසිකිළියේ දොරට මෙෂින් තුවක්කුවෙන් වෙඩි තබා ආපසු යෑමය. මෙම වෙඩි තැබීමට පෙර සුළු සංවාදයක් ඇති විය. එන්.ඩී.ආර්. කොහේදැයි පොලිසිය නිවැසියන්ගෙන් විමසීමෙන් එම සංවාදය ඇරඹෙයි. ඔහු ගෙදර නැති බව නිවැසියෝ කියති. එවිට වැසිකිළිය තුළ සිටින්නේ කවරෙක්දැයි පොලිසිය විමසයි. ඒ තුළ කව්රුත් නැති බවත් වැසිකිළි දොර ඇතුළෙන් ලොක්වී ඇති බවත් නිවැසියෝ පොලිසියට කියති. පොලිසිය ඉන්පසු මෙෂින් තුවක්කුවෙන් වැසිකිළියේ දොරට වෙඩි තබන්නේ “කව්රුවත් ඇතුලේ නැත්නම් ප්‍රශ්නයක් නෑනේ” කියමිනි.

71 කැරැල්ලෙන් පසු මේ රටේ පාතාලය පසුබෑමකට ලක්වෙයි. අනතුරුව 1977 දී යූ.එන්.පී. ආණ්ඩුව බලයට පත්වීමත් සමගම පාතාලය යළි හිස එසවීමට පටන් ගනී. අද වනවිට ඉතා දරුණු දාමරික කටයුතුවල නිරත වෙමින් පාරවල් දිගේ මිනී මරන්නේ මෙසේ වර්ධනය වූ පාතාලයයි. 88, 89 භීෂණයේදී එක පාතාලකාරයෙක්වත් මියගියේ නැත. එම පාතාලකාරයන් සියලුදෙනාම ආණ්ඩුවේ මැර හමුදාවලට බැඳී සිත් සේ මිනී මැරූහ. මේ කතන්දර සියල්ල පිරික්සීමෙන් පසු පහත සඳහන් නිගමනයට පැමිණීමට අපට පුළුවන. 1960 සිට 1970 දක්වා ඉදිකිරීමට පුළුවන් වුණේ මේ රටේ පාතාලයේ අත්තිවාරම පමණි. පාතාලය නමැති යෝධ බිල්ඩිම ගහන ලද්දේ ඉන්පසුව ය. අද වන විට මේ බිල්ඩිම තට්ටු සිය ගණනක් උස ය. එබැවින් මෙය මර්දනය කිරීම ඉතා දුෂ්කර ය. කුඩු වසංගතය සහ පාතාලය සමතලා කිරීම සඳහා විශාල මෙහෙයුමක් පටන්ගෙන ඇති මෙවැනි අවස්ථාවකදී බෙලිඅත්තේ වෙඩි තැබීම සිදුවීමෙන් ඒ බව පෙනී යයි. පසුගිය කාලයේදී දිගින් දිගටම මහ පාරේදී මිනිසුන් මරණ ලදි. මීට තුන් දිනකට පෙර ටෙලිෆෝන් කඩයකට කඩාවැදුණු තුවක්කුකාරයෙක් කැෂියර්ගේ පුටුවේ සිටි තරුණයකුට වෙඩි තබා මරා පැන ගියේය. එය වැරදි ඉලක්කයකි. වෙඩික්කරුවාට උවමනාවී තිබුණේ ටෙලිෆෝන් කඩේ අයිතිකරු මැරීමට ය. එහෙත් කඩේ අයිතිකරුගේ මිතුරෙක් හදිසියේම කඩයට පැමිණ කැෂියර් එකේ පුටුවේ වාඩිවීමෙන් අන් අයකු වෙනුවෙන් වෙඩි කෑමට සිදු විය.

දැනට ආරංචි වී ඇති පරිදි බෙලිඅත්තේ වෙඩි තැබීමෙන් මියගිය පස්දෙනාගෙන් එක් අයකු වන්නේ අපේ ජනබල පක්ෂයේ නායකතුමා ය. මේ පක්ෂයේ ටිකට් එකෙන් අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවට ගිය අතර පක්ෂයේ සාමාජිකයකු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ද මන්ත්‍රී තනතුර ඉල්ලා සිටීමෙන් ලොකු කෝලාහලයක් හටගත්තේය. අතුරලියේ රත්න හිමි පාර්ලිමේන්තුවට ගියේ මාස හයක් මන්ත්‍රීකම කිරීමෙන් පසු ඥානසාර හිමිට සීට් එක දෙන බවට පොරොන්දු වෙමිනි. එහෙත් මේ වන විට අවුරුදු 5 ට කිට්ටු කාලයක් ගතවී තිබුණත් අතුරලියේ රතන හිමි ඥානසාර හාමුදුරුවන්ට මන්ත්‍රී ආසනය දුන්නේ නැත. මේ වන විට රතන හාමුදුරුවන්ගෙන් ද ඥානසාර හාමුදුරුවන්ගෙන් ද කිසිම සද්දයක් පිට නොවේ. මේ පක්ෂයට අදාළව මෑතකදී ඇසුණු එකම ශබ්දය බෙලිඅත්තේ වෙඩි සද්දය පමණි. කිසිදු මැරවරයෙක් පොලිසියේ මර්දනකාරී මෙහෙයුම ගණන් ගන්නා බවක් පෙනෙන්නට නැත. ඔවුහු පොලිසියේ කනින් රිංගා කට දිගේ ගලනාලය ඔස්සේ බඩ ඇතුළට ගොස් අනෙක් කනෙන් ආපසු එළියට එති. ලංකාව පාතාල රාජ්‍යයක් වූ ඉක්මන හරිම පුදුමය. අද වන විට හැම දවසකම පාහේ මිනිහෙක් මරණු ලැබේ. මේ අතර ෆිනෑන්ස් කොම්පැනිකාරයන්ගේ මැරකම් ගැන ද කතා කළ යුතුය. පසුගිය දවසක සීසර්ලා පිරිසක් විසින් ෆිනෑන්ස් කළ වාහනයක් පැහැරගෙන යන හැටි අපි සමාජ මාධ්‍ය ඔස්සේ දුටුවෙමු. මෙවැනි අවස්ථාවලදී ජනතාව සංවිධානය වී එම සීසර්ලාට පහරදී ඔවුන් කුදලා පොලිසියට භාරදිය යුතුය. පොලිසිය දෙක දෙන විට තමන් එවන ලද්දේ කවර ෆිනෑන්ස් කොම්පැනියක් විසින්දැයි ඔවුන් කියනවා ඇත. හැබැයි පාතාලකාරයන්ගෙන් නම් ඇත්ත දැනගැනීමට කොච්චර ගැහුවත් දුෂ්කර ය. මිනී මැරුම යනු ඉතාම නරක අවියකි. එහෙත් පාතාල මර්දනයේදී එම ආයුධය යොදාගත්තාට කමක් නැති බව අපට සිතේ.

advertistmentadvertistment
advertistmentadvertistment