අඩසියවසක් සපිරි කළුතර සෑ රඳුන්

117

වටදාගේ සැලසුම් කිරීමේ භාරදූර කාර්යය පැවරුණේ එවක ලංකාවේ සිටි චිර ප්‍රසිද්ධ විශිෂ්ට ගණයේ වාස්තු විද්‍යාඥ ආචාර්ය ඒ.එන්.එස්.කුලසිංහ මහතාටය. බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පීය උපදෙස් ලබා දුන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එවක සහකාර පුරාවිද්‍යා අධිකාරීවරයෙකු වශයෙන් සිටි රොනල්ඩ් සිල්වා මහතාය.

කළුතර ඓතිහාසික සුවිශේෂී යෝධ වටදා ගේ ඉදිකිරීමෙන් අඩසිය වසක් සපිරෙන දිනය අදයි. ඒ නිමිත්තෙන් වටදාගෙය ඉදිකළ වීර පුරුෂයන් සිහිපත් කරමින් එතුමන්ලාට කෘතගුණ සැලකීම සත්පුරුෂයින්ගේ යුතුකමකි.

වටදාගේ යෝධ ව්‍යාපෘතියේ නිර්මාතෘ වන්නේ මහා බෞද්ධ උපාසක – දානපති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාණෝය. ඔහුට පසුබිම් සහාය ලබා දුන්නේ කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සාමාජික මහතුන්ය. ඔවුන්ගේ සහායෙන් එතුමා වඩ වඩාත් උනන්දු විය; ධෛර්යමත් විය. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන්ට මෙම භාරදූර කාර්යය ඇරඹීමට ප්‍රධාන බාධකය වූයේ චෛත්‍ය තිබූ බිමේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීමයි. මෙම අභියෝගය ජයග්‍රහණයක් බවට පත්කරගැනීමට බි්‍රතාන්‍ය පාලනය යටතේ සිටි සුදු ජාතික කළුතර දිස්ත්‍රික්කයේ සහකාර ආණ්ඩුවේ ඒජන්ත සමග දැඩි සටනක් කිරීමට සිදු විය. එකී සටන එතුමා ජයග්‍රහණය කළේය.

වටදාගේ සැලසුම් කිරීමේ භාරදූර කාර්යය පැවරුණේ එවක ලංකාවේ සිටි චිර ප්‍රසිද්ධ විශිෂ්ට ගණයේ වාස්තු විද්‍යාඥ ආචාර්ය ඒ.එන්.එස්.කුලසිංහ මහතාටය. බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පීය උපදෙස් ලබා දුන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එවක සහකාර පුරාවිද්‍යා අධිකාරීවරයෙකු වශයෙන් සිටි රොනල්ඩ් සිල්වා මහතාය.

සැලසුම් කොට ඉදි කෙරුණු සුවිශේෂී වටදාගේ වපසරිය වර්ග අඩි 7150 කි. උස අඩි 185 කි. වට ප්‍රමාණය අඩි 300 කි. විෂ්කම්භය අඩි 95.4 කි. මෙම යෝධ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 1964 වර්ෂයේ ඇරඹිණි. වටදා ගෙට කොත් පැළඳවීම සිදු වූයේ අඩ සියවසකට පෙර 1974 ජනවාරි 24 වැනි පුන් පොහෝ දින පෙරවරු 10.12ටයි. මෙම කාර්යය සඳහා එවක වැයවුණු මුළු මුදල රුපියල් මිලියන 4 ක් පමණි.

කොත් පැලඳවීම සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය මොල්ලිගොඩ අරියවංශ මහා නා හිමි, ශ්‍රී ලංකා අමරපුර සද්ධම්ම වංශ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කොස්ගොඩ ධම්මවංශ හා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද යන මහා නායක හිමිපාණන්ලාගේ දෝතින් තැන්පත් කිරීමෙන් ඉක්බිතිව, චූඩා මාණික්‍යය කොතෙහි පැලඳවිණ. ඉන් ඉක්බිතිව චූඩා මාණික්‍යය පැලඳවුණු ස්වර්ණාලේපිත කොත් වහන්සේ දොඹකරයක ආධාරයෙන් පොළොවෙන් ඔසවා චෛත්‍ය මත තැන්පත් කරනු ලැබීය. අනතුරුව කොත් වහන්සේ නිරාවරණය කරනු ලැබුයේ කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ සභාපති, හිටපු අග්‍රවිනිශ්චයකාරයෙකු වූ හේම බස්නායක මහතා විසිනි.

ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ අභිලාෂය වූයේ, එතුමාගේ ජීවිත කාලය තුළ දීම වටදාගේ හා ඒ ඇතුළත වූ පූජනීය ධාතූන්වහන්සේ නිධන් කොට ඇති චෛත්‍යයේ වැඩ සම්පූර්ණයෙන් නිම කිරීමයි.

එසේ වුවද රුවන්වැලි මහා සෑය ඉදි කළ දුටුගැමුණු මහ රජතුමාට එහි කටයුතු සම්පූර්ණයෙන් නිම කිරීමට පෙර අභාවප්‍රාප්ත වීමට සිදුවූ පරිද්දෙන්ම ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාට ද කළුතර වටදාගේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් නිම කිරීමට පෙර ජීවිතයෙන් සමු ගැනීමට සිදුවීම දෛවෝපගතය.

චෛත්‍යරාජයාණන් වහන්සේගේ වැඩ නිමවීමෙන් පසු, එදා මෙදා තුර, කළුතර චෛත්‍යරාජයාණන් වහන්සේ වැද පුදා ගත් බෞද්ධ ජනී ජනතාව මෙතෙකැයි කියා නිම කළ නොහැක. ඒ සියලු ජනතාව චෛත්‍ය රාජයාණන් ඉදි කිරීමට, පුරෝගාමීවූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ඇතුළු සියලු සත්පුරුෂයන් කෘතවේදිත්වයෙන් සිහිපත් කරමින් පින් දෙනු නො අනුමානය.

● ආර්.එම්.සී.බණ්ඩාරනායක
හිටපු සාමාන්‍යාධිකාරි,
කළුතර බෝධි භාරකාර මණ්ඩලය

එවක අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව හා එවක අගමැති ඩඩ්ලි සේනානායක යන මහත්වරු සමග කළුතර පුද බිමේ සෑරදුන් අබියස

ශ්‍රීමත් සිරිල් ද සොයිසා

advertistmentadvertistment
advertistmentadvertistment