අවකාශ කාලය සහ ශුන්‍යතාව

499

අප හට පෙනෙන අප දන්නා අවකාශයේ ඇති පදාර්ථයට ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ ඇති පදාර්ථ ද අවකාශය තුළ අන්තර්ගතව ඇත. ඒවා ප්‍රතිපදාර්ථ සහ අඳුරු පදාර්ථ ලෙස හඳුනාගෙන ඇත. සාමාන්‍ය පදාර්ථයේ සංයුතිය සඳහා අන්තර්ගතව ඇති අංශුවලට වෙනස් අංශුන්ගෙන් පදාර්ථය සැකසී ඇති අතර අඳුරු පදාර්ථය ඒවාට අවේණික වූ අංශු සංයුතියකින් සැකසී ඇත. පදාර්ථය නිර්මාණය වී ඇති ඉලෙක්ට්‍රෝන සහ ප්‍රොටෝනවලට ප්‍රතිවිරුද්ධ අංශු වන ප්‍රතිඉලෙක්ට්‍රෝන (පොසිටොන) සහ ප්‍රතිප්‍රෝටෝන වලින් ප්‍රති පදාර්ථය නිර්මාණය වී ඇති බව පර්යේෂණ මගින් මේ වන විට තහවුරු කර ගෙන ඇත. ඉහත කී අදුරු පදාර්ථ විශ්වයේ බහුල වශයෙන් පවතින බවද එය විද්‍යුත් චුම්බක විකිරණවලට ප්‍රතික්‍රියා නොදක්වන බව ද සනාථ කරගෙන ඇත. එනම් අඳුරු පදාර්ථ විද්‍යුත් චුම්බක විකිරණ අවශෝෂණය පරාවර්තනය හෝ විමෝචනය කිරීමක් සිදු නොකරයි. එබැවින් අඳුරු පදාර්ථ ගැන නිසි අවබෝධයක් ලබා ගැනීම අසීරු කරුණක් වී ඇත. අඳුරු පදාර්ථ දැනට පිළිගන්නා ගුරුත්වාකර්ෂණ වාදයේ තිබෙන මූලධර්ම අනුසාරයෙන් විස්තර කිරීමට අපොහොසත් වී ඇත.

අප අවට ඇති අවකාශයේ ඇති තාරකා ග්‍රහලෝකවලට වඩා ඉතා අධික ගුරුත්වාකර්ෂණයක් ඇති කළු කුහර ගැන අපි දැනුවත් වී ඇත. මේවා කළු කුහර නමින් හඳුන්වන්නේ එම කළු කුහරය අදාළ සීමාවට ඇතුල් වන ආලෝක කිරණ පවා කළු කුහර අභ්‍යන්තරයට අවශෝෂණය කරගන්නා බැවිනි. ඉතා අධික ගුරුත්වාකර්ෂණයක් සහ ඉතා අධික උෂ්ණත්වයක් කළු කුහරය අභ්‍යන්තරයෙ අන්තර්ගත වී ඇති බව පර්යේෂණ මගින් නිරාවරණය කරගෙන ඇති අතර එහි අභ්‍යන්තර සංයුතිය පිළිබඳ නිසියාකාරයෙන් අවබෝධයක් ලබාගැනීමට මේ දක්වා අසීරු වී ඇත. ඉහත සඳහන් කළු කුහර තුළ ගුරුත්වාකර්ෂණ බලය ඉතා අධික බැවින් එහි අදාළ සීමාව තුළ අවකාශය වක්‍ර වී ඇති බව සහ මේ හේතුවෙන් එය තුළ කාලයේ ප්‍රතිලෝම මානයක් නිර්මාණය වී තිබෙන බව තහවුරු කරගෙන ඇත. කළු කුහරයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය හේතුවෙන් එය තුළින් අංශු විශේෂයන් විකිරණ මගින් එහි සීමාවෙන් ඉවතට පිටවන බව හෝකින්ස් නමැති විද්‍යාඥයා විසින් ප්‍රථමයෙන් සොයාගෙන ඇති අතර එය හෝකින්ස් විකිරණ නමින් හඳුන්වා ඇත. මෙම විකිරණ හේතුවෙන් කළු කුහරය තුළ පවතින අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය යම් කාල වකවානුවකදී අවසන් වන බව අදාළ ගණනය කිරීම් මගින් තහවුරු කර ගෙන ඇත. එබැවින් කළු කුහර ද සාදාකාලිකව කළු කුහරයක් ලෙස ක්‍රියා නොකරන බවට නිගමනය කර ඇත.

ඉහත කරුණු කාරණා සැලකිල්ලට ගැනීමේදී කාලය නමැති මානය අවකාශයේදී ඇතැම් අවස්ථාවලදී වෙනස් වන බව තහවුරු වන කරුණකි. ත්‍රිමාන අවකාශයේ මාන වන දිග, පළල සහ උස යන මාන අපේ ඇසට දර්ශනය වුවත් ඉහත සඳහන් අවකාශයේ ඇති කාලය නමැති මානය අපගේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන බව වටහා ගත යුතු කාරණාවකි.

හුදෙක්ම කාලය පිළිබඳ අවබෝධය අපගේ මනසේ ක්‍රියාකාරීත්වයේ අත්විදීම තුළින් අප විසින් හඳුනාගනී. මෙය අපට නොපෙනෙන අවකාශයේ තවත් මානයක් බව සුප්‍රකට විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් විසින් පළමුවෙන් පුර්වකථනය කර ඇත. තවද මෙම අවකාශය තුළම වෙනත් ප්‍රතිවිරුද්ධ මානවල සමාන්තර විශ්වයක් තිබිය හැකි බවද ඔහු විසින්ම පුර්වකථනය කර ඇත.

අවකාශය තුළ පවතින කළු කුහර (Black Holes), ළදරු විශ්වයක් සහ අවකාශය තුළ පවතින පණු කුහර (Wormholes) සමාන්තර විශ්වයකට පිවිසිය හැකි මාර්ගයක් විය හැකි බව ද, ග්‍රහ වස්තු වල ගුරුත්වාකර්ෂණය යනු අවකාශ වක්‍රයේ කාල අවපාතයත් බව ද ඔහු විසින්ම පූර්ව කථනය කර ඇත. අභ්‍යන්තර ගමනා ගමනයට හැකියාව ඇති පණු කුහරයක, එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වා පදාර්ථයට ගමන් කළ හැකි බව සහ කළු කුහරයක එසේ අභ්‍යන්තර ගමනාගමනයක් කළ නොහැකි බව ද මේ වන විට විද්‍යාඥයින් විසින් තහවුරු කර ගෙන ඇත. තවද අන්තර් චක්‍රවාට තරණය කිරීම සඳහා කෙටි මාර්ගයක් ලෙසටත් පණු කුහර උපයෝගි කර ගත හැකි බවට මේ වන විට ලෝකයේ මතයක් පවතී.

අවකාශය තුළ පවතින මෙම කරුණු කාරණා සැලකිල්ලට ගැනීමේදී සම්මත අවකාශයේ පවතින ශුන්‍යතාව අප විසින් සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කරුණකි. අවකාශයේ පවතින ශුන්‍යතාව යනු රික්තකයක් ද, එසේත් නැතිනම් එය තුළ යම්කිසි ශක්තියක් ගැබ් වී ඇත්දැයි යන්න නොවිසඳුණු ගැටලුවකි.

අවකාශයේ ගමන් කරන දණ්ඩක දිග එහි ප්‍රවේගය වැඩි වන විට ඒ සමග එහි දිග අඩුවන බව ලෝරන්ට්ස් ට්‍රාන්ස්පෝමේෂන් මූලධර්මයෙන් පෙන්වා දී තිබෙනවා. එම මූලධර්මයට අනුව වස්තුවේ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයේ සීමාවට පැමිණීමත් සමඟ අවකාශය තුළ ගමන් කරන දණ්ඩේ දිග ශුන්‍ය වන බව එම මූලධර්මයෙන් පෙන්වා දී තිබෙනවා.

තවද අධික ප්‍රවේගයෙන් ගමන් කරන වස්තුවල ස්කන්ධයේ වැඩිවීමක් සිදු වන බව සාපේක්ෂතා වාදයේ ඉදිරිපත් කර ඇති මූලධර්මයකින් අයිස්න්ටයින් විසින් පෙන්වා දී තිබෙනවා.

ගමන් කරන වස්තුවේ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වන විට එම වස්තුවේ ස්කන්ධය අනන්තය දක්වා වැඩි වන බවද එම අවස්ථාවේ දී එම වස්තුව චලනය කිරීම සඳහා ඉතා අධික බලයක් යෙදීමට සිදු වන බව ද ඔහු විසින් සාපේක්ෂා වාදයෙන් තහවුරු කර තිබෙනවා.

තවද නිවුටන්ගේ අවකාශය තුළ ගමන් කරන වස්තුන්ගේ චලිතය පිළිබඳ ඉදිරිපත් කර ඇති නියමයන් හා මෙහි සඳහන් නොකළ අනිකුත් විද්‍යාත්මක සිද්ධාන්ත හා නියමන් බෝහෝමයක් සැලකිල්ලට ගැනීමට සුදුසු බව පෙන්වා දීමට කැමැත්තෙමි.

පදාර්ථය අවකාශය තුළ ගමන් කිරීමේ දී අවකාශය මගින් ඇති වන ප්‍රතිරෝධී බලයන් හේතුවෙන් එම ගමන් කරන පදාර්ථය සඳහා වේග සීමා ඇති බව සහ විශාල ග්‍රහ වස්තුවල ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් අවකාශය වක්‍ර වීමක් සිදුවන බව ද ඉහත කරුණු කාරණා සැලකිල්ලට ගැනීමේදී වැටහී යනු ඇත. අවකාශය තුළ යම්කිසි ප්‍රබල ශක්ති විශේෂයක් ගැබ් වී ඇද්දැයි යන්න අවබෝධ කර ගත යුතු බව ද වැඩිමනක් වශයෙන් දක්වා සිටීමට කැමැත්තෙමි. මෙම ශක්ති විශේෂය, පදාර්ථය සහ අනෙකුත් භෞතික ශක්ති විශේෂයන්ට වඩා සුවිශේෂ වන්නේ එම ශක්ති විශේෂය පාදක කරගනිමින් අවකාශය තුළ පවතින පදාර්ථය සහ අනෙකුත් ශක්ති විශේෂයන්ගේ වෙනස්වීම නිරන්තරයෙන් සිදුවන බැවිනි. තවද මෙම ප්‍රබල ශක්තිය විසින් බහුමාන බල තුලනයක් අවකාශය තුළ ඇති කරනු ලබන බව සහ අනෙකුත් පදාර්ථ සහ භෞතික ශක්තීන් අවශෝෂණය කිරීමක් හෝ ඒ සමග ප්‍රතික්‍රියා කිරීමක් හෝ සිදු නොවන බව භෞතික විද්‍යාවේ පවතින මූලධර්ම අධ්‍යයනය කිරීමේදී පෙනීයන කාරුණකි. මෙම ශක්ති විශේෂය පාදක කර ගෙන අප දන්නා අවකාශය පිහිටා ඇති බවද, අප දන්නා අවකාශයේ මානවලට ප්‍රතිවිරුද්ධ මාන තුළ මෙම විශ්වයට සමාන්තර විශ්වයක් පැවතිය හැකි බවට නිගමනය කර පූර්වකථනය කිරීමට කැමැත්තෙමි.
ඉංජිනේරු – කේ.ඒ.එස්.එස්. කුරුප්පුආරච්චි
අරලිය උයන, දෙපානම, පන්නිපිටිය.

advertistmentadvertistment
advertistmentadvertistment