පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති වළක්වන බහිරවයා කවුද?

322

පුනර්ජන බලය උදෙසා තරුණ සංවිධානය අසයි

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින විදුලි අර්බුදයට යම් සහනයක් ලබා ගැනීම සඳහා පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ඉදිකිරීමට අවසර ලබා නොදෙන්නේ කුමන බලවේග ද යන්න රටට හෙළිකරන ලෙස පුනර්ජන බලය උදෙසා තරුණ සංවිධානයේ කැඳවුම්කරු ඉඳුනිල් බණ්ඩාර මහතා බලධාරීන්ගෙන් පසුගියදා (05 දා) ඉල්ලීමක් කළේය.

අදානි සමාගම මේ වනවිට මෙගාවොට් 484ක සුළං බලාගාරයක් ඉදිකිරීම සඳහා එකඟව සිටියදී මෙතෙක් ඊට අනුමැතිය ලැබී නැති බවත්, අදානි සමාගම හෝ වෙනත් ඕනෑම සමාගමක් මෙරටදී පුනර්ජනනීය විදුලිය නිපදවීමට කරන ඉල්ලීම්වලට එතරම් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනෙන නිසා එයට බාධාකරන පිරිස් කවුරුන්ද යන්න රටට හෙළිකරන ලෙස ඉල්ලා සිටින බවත් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා ඉල්ලා සිටියේය.

සුළං සහ සූර්ය ශක්තිය හොඳින් ලැබෙන ප්‍රදේශ ලෙස මන්නාරම සහ හම්බන්තොට යන ප්‍රදේශ ලෝක බැංකුව විසින් හඳුනාගෙන ඇති බවත් පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීම සහ පුනර්ජනනීය බලශක්ති සඳහා යොමුවීමේ වැදගත්කම, මෑත කාලීනව ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදය විසින් ද පැහැදිලිව පෙන්වා දුන් කාරණයක් බවත් ඔහු කීය.

ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නට බදු ගෙවන ජනතාවට පැහැදිලි ප්‍රතිලාභ අත්කර දෙන්නට ඇනහිට ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා කඩිනම් අනුමැතිය ලබාදිය යුතු බව පෙන්වා දුන් බණ්ඩාර මහතා, ලාභදායී සහ පහසුවෙන් ලබාගත හැකි පුනර්ජනනීය බලශක්ති විසඳුම් වෙත මාරුවීමේ අවස්ථාව මඟ නොහැර ප්‍රයෝජනයට ගන්නා ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment