වාර්ෂික ආදායම ලක්ෂ 12ට වැඩි නම් බදු

2024 ඉලක්කය බිලියන 2024ක්

තොරතුරු දෙන්න, රහස්‍යභාවය ස්ථිරයි

බදු දැල හැමෝටම

මෙම වසර ආරම්භ වූයේ දරාගත නොහැකි බදු බරක් ජනතා හිස මතට පතිත වෙමින්ය. මෙතෙක් කලක් සියයට 15ක්ව තිබූ එකතු කළ අගය මත බද්ද (VAT) සියයට 18 වීමත් සමග ජන ජීවිතය තව තවත් උඩුයටිකුරු වී තිබේ.එහෙත් රජයක් පවත්වාගෙන යෑමට නම් බදු අනිවාර්ය සාධකයක්ය. මෙරට ආදායම් බදු එකතු කිරීමේ ප්‍රධාන ආයතනය වනුයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වේ. ඉහළ නැංවූ බදු ඇතුළු තවත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳ විමසීම සඳහා “දිවයින ඉරිදා සංග්‍රහය” එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්. ඒ. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය මුණගැසුණෙමු.

ප්‍රශ්නය – රටේ ජනතාව බදු ගෙවිය යුත්තේ ඇයි?

පිළිතුර – අපේ ආර්ථිකය ගොඩනැඟී තිබෙන්නේ රාජ්‍ය ආදායමෙන් රට දුවන ලෙස. ඇත්තටම රටේ ජනතාවගේ සමාජ සුභසාධනය රැඳී ඇත්තේ රජයේ ආදායම මත. ඒ ආදායමෙන් තමයි සුභසාධන කටයුතු පවත්වාගෙන යන්නේ. ජනතාව බදු ගෙවිය යුත්තේ ඒ නිසයි.

ප්‍රශ්නය – ඔවුන් ගෙවන බදුවලට සාධාරණයක් වෙනවාද යන්න රටේ ජනතාවට ඇති ප්‍රධාන ගැටලුවක්.

පිළිතුර – මෙහෙමයි, බදු පනවන්නේ රජය විසින්. බදු ඉලක්ක අපට ලබා දෙන්නේ මුදල් අමාත්‍යාංශය. අපේ කර්තව්‍ය එම ඉලක්ක අපේ උපරිමයෙන් ඉටුකිරීම. අපි රජයේ නිලධාරීන්. අපේ වගකීම අපි නිසියාකාරව ඉටු කරනවා. අනිත් කාරණා සම්බන්ධයෙන් මගෙන් විමසීම සාධාරණ නැහැ කියලා තමයි මම හිතන්නේ.

ප්‍රශ්නය – බදු ගෙවන්නෝ හඳුනාගැනීමේ අංකය නොහොත් ටින් (TIN – Tax Identification Number) අංකයක් හඳුන්වා දී තිබෙනවා. එහෙම අංකයක් හඳුන්වා දී ඇත්තේ ඇයි?

පිළිතුර – ඔය අංකය අපි පමණක් නොවෙයි ජාත්‍යන්තර වශයෙන් ගන්න ඕන අංකයක්. අපේ රට තියෙන තත්ත්වය අනුව එය ඉදිරියට රැගෙන යන්න නම් හොඳ දේවල් යොදාගන්න වෙනවා. මෙම හඳුනාගැනීමේ අංකය ගන්න එක ඉදිරි වැඩවලට විශාල පහසුවක් වෙනවා.

ප්‍රශ්නය – මෙම අංකය ගන්න සියලු දෙනා බදු ගෙවිය යුතුද?

පිළිතුර – කිසිසේත් නැහැ. බදු ගෙවිය යුත්තේ බදු අයකරන සීමාව තුළ සිටින අයවලුන් පමණයි. ඒ කියන්නේ මාසික ආදායම ලක්ෂයකට වැඩි උදවිය පමණයි බදු ගෙවිය යුතු වන්නේ. ඒ කියන්නේ වාර්ෂික ආදායම ලක්ෂ දොළහක්. එවැනි ආදායමක් ලබාගන්නා උදවිය හඳුනාගැනීම සඳහා මෙම අංකය විශාල උදව්වක් වෙනවා.

ප්‍රශ්නය – මේ වන විට මෙරට බදු වර්ග දහතුනක් තිබෙනවා. රටේ මිනිස්සු කියන්නේ මෙච්චර බදු ගහන රටක් තවත් නෑ කියලා.

පිළිතුර – ලෝකයේ බොහෝ රටවල් එකතු කළ අගය මත පනවන බද්ද නොහොත් වැට් බද්ද වැඩි ආදායමක් උත්පාදනය කරගන්නා මාර්ගය බවට පාදක කරගෙන තිබෙනවා. අපිත් වැඩි බරක් ලබා දී තිබෙන්නේ වැට් බද්ද වෙනුවෙන්. අපගේ නව ක්‍රමය අනුව පුද්ගල ආදායම් බද්ද සඳහා ලියාපදිංචි වූ පසු බදු දැලට හසු නොවූ බොහෝ දෙනා ඒ සඳහා එක් කරගන්න හැකිවේවි. එයත් සමගම බදු අයකර ගැනීමේ ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට හැකියාවක් ලැබේවි.

ප්‍රශ්නය – මේ වන විට බදු ගෙවන්නන්ගේ ප්‍රතිශතය කෙසේද?

පිළිතුර – මේ වන විට බදු ගෙවන පුද්ගලයන් සහ සමාගම් ලක්ෂ පහමාරක් පමණ සිටිනවා. ඒ වගේම පසුගිය දෙසැම්බර් 31 වැනිදා වෙනකොට ලක්ෂ දහයක් පමණ බදු ගෙවීම වෙනුවෙන් ලියාපදිංචි වී තිබෙනවා. මේ වසර තුළ අපගේ උපරිම ඉලක්ක වෙත ගමන් කිරීමට අප කටයුතු කරනවා. ඒක රඳා පවතින්නේ මේ ලබා දෙන හඳුනා ගැනීමේ අංක මත.

ප්‍රශ්නය – ලියාපදිංචි නොවන තැනැත්තන් සඳහා අනුගමනය කරන්නේ කුමන ක්‍රියාමාර්ගයක්ද?

පිළිතුර – පනත අනුව පනස් දහසකට නොවැඩි දඩයක් නියම කරන්න පුළුවන්. ඒ වගේම ලියාපදිංචි නොවන අය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පනතට අනුව බද්දට යටත් වන පුද්ගලයන් ලියාපදිංචි කිරීම සිදු කරනවා. අපේ අභිප්‍රාය හැකි උපරිමය ලියාපදිංචි කිරීම.

ප්‍රශ්නය – ආණ්ඩුව අපෙන් තමයි බදු අය කරන්නේ. මහා ධනපතියන්ගෙන් බදු අය කරන්නේ නැහැ කියන චෝදනාව ජනතාව නඟනවා. බදු දැලින් රිංගා ඇති මහා බදු වංචාකරුවන් නීතියේ රැහැනට හසුකර ගන්නේ කොහොමද?

පිළිතුර – ඔය වගේ චෝදනා නිරන්තරයෙන් නැඟෙනවා. මෙතනටත් ඔය වගේ තොරතුරු එනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් සම්බන්ධයෙන් හරි තොරතුරු අපට නොලැබෙන එක. නිසි තොරතුරු ලැබෙනවා නම් අපට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපට නිසි තොරතුරු දෙන්න. ඔවුන්ගේ රහස්‍යභාවය අපි උපරිමයෙන් සුරකිනවා. ඕනම කෙනෙක් කිසිදු බියක් සැකක් තියා නොගෙන අපට තොරතුරු දෙන්න. 1944 කෙටි අංකයට තොරතුරු දෙන්න පුළුවන්. ඊට අමතරව 0112135400 දෙපාර්තමේන්තුවේ අංකයට ඔබගේ තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මගේ සෘජු අංකය 0112134830 තොරතුරු දෙන්න පුළුවන්.

රහස්‍යභාවය සුරැකීම පිළිබඳ අබමල් රේණුවක සැකයක් තියාගන්න එපා.

අපට අවශ්‍ය විශාල බදු බරක් සීමිත ජනතාවක් මත පටවා ඔවුන් අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. අපට අවශ්‍ය බදු ගෙවිය යුතු සියලු දෙනා මෙයට දායක කරගෙන බදු අනුපාතයන් අඩුකර ජනතාවට සේවයක් කිරීමට. එහෙම වුණොත් සියයට 18 ක් වන වැට් එක ඒ වගේම සියයට තිස් හයක් වන සී ජී ටී (ප්‍රාග්ධන ලාභ බද්ද) බදු ප්‍රතිශතය අඩු කරන්න පුළුවන්.

ප්‍රශ්නය – බදු දැලට හසු නොවන තවත් බොහෝ පිරිසක් ඉන්නවා. නීතිඥයන්, උපකාරක පන්ති ගුරුවරු, පුද්ගලික රෝහල්හි වෛද්‍යවරු එහි ඉහළින්ම සිටිනවා. ඔවුන් බදු දැලට හසුකර ගන්නේ කොහොමද ?

පිළිතුර . ඔවුන්ව බදු දැලට ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු අපි අදාළ අංශවලින් අරගෙන තිබෙන්නේ. වෛද්‍යවරු පන්දහසක් පමණ බදු දැලට හසුකර ගෙන තිබෙනවා. ඒ වගේම නීතිඥ මහත්ම මහත්මීන් බදු දැලට හසුකර ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ සඳහා නීතිඥ සංගමයෙන් තොරතුරු අපට ලැබී තිබෙනවා. ඒ වගේම මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවත් ඔවුන්ගේ ලිපිගොනුත් අපට ලබා දී තිබෙනවා. අවුරුදු 18 ට වැඩි සහ බද්දට යටත් අය සඳහා ලියාපදිංචි කිරීමේ කමිටුව පසුගිය කාලයේ අක්‍රීය වෙලා තිබුණා. එය නැවත සක්‍රීය කිරීමට කටයුතු කළා. මේ සියල්ලත් සමඟ බදු ගෙවිය යුතු අය බදු දැලට හසුකර ගැනීමට හැකි වෙනවා.

ප්‍රශ්නය – රජය විසින් ඔබ දෙපාර්තමේන්තුවට මේ වසරේ ලබාදී ඇති ඉලක්කය කෙසේද?

පිළිතුර – මේ වසරේ අපට ලබා දී ඇති ඉලක්කය රුපියල් බිලියන 2024 ක්. 2023 වසරේ අපි එකතු කළ බදු ආදායම බිලියන 1548 ක්. රජය අපට දුන්න ඉලක්කය බිලියන 1496 ක්. අපි එම ඉලක්කය අභිබවා ගොස් සියයට එකසිය තුනක ඉලක්කයක් සම්පූර්ණ කරගෙන තිබෙනවා.

ප්‍රශ්නය – මෙම ඉලක්කය සපුරා ගන්න පුළුවන්කම තිබෙනවා ද?

පිළිතුර – අප ගෙන යන වැඩපිළිවෙළ අනුව ඒ ඉලක්කය සපුරා ගන්න පුළුවන්. ඒකට සෑහෙන මහන්සි වෙන්න වෙනවා. නමුත් සපුරාගත හැකි සපුරාගත යුතු ඉලක්කයක්.

ප්‍රශ්නය – බදු අය කිරීම සම්බන්ධයෙන් ජනතාව ඉන්නේ එදිරිවාදී මතයක. ඔබතුමිය ජනතාවට දෙන පණිවිඩය කුමක් ද?

පිළිතුර – මේ වෙලාවේ රට පත්වෙලා තියෙන්නෙ ඉතා අසීරු තත්ත්වයක්. මෙම තත්ත්වයෙන් ගොඩ එන්න නම් සියලු දෙනා සිය දායකත්වය දෙන්න ඕන. අපේ රටට ආපස්සට යන්න බැහැ. එම නිසා ස්ව කැමැත්තෙන් බදු අංකය සඳහා ලියාපදිංචි වී රටේ ඉදිරි ගමනට දායකත්වය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බලෙන් අල්ලන් බදු දැලට ගෙන යන්න වැඩපිළිවෙළ සුහදශීලී වැඩපිළිවෙළක් නෙවෙයි. රට ගොඩනැගීමේ අවංක චේතනාව ජනතාව තුළින් එන්න ඕන.

ප්‍රශ්නය – මිනිස්සුන්ට බදු ගෙවන ලෙස ඔබතුමිය කියනවා. ඒ සඳහා ඔබතුමියගේ ආයතනයේ මොන වගේ පූර්වාදර්ශයක්ද ලබා දී තිබෙන්නේ.

පිළිතුර – අපි පළමුව කළේ අපේ දෙපාර්තමේන්තුවේ ඉන්න සියලු නිලධාරීන් ලියාපදිංචි කිරීම. අපේ අය ලියාපදිංචි කරලා තමයි අපි මිනිස්සුන්ට ලියාපදිංචි වෙන්න කිව්වේ. එතනින් තමයි පටන් ගත්තේ. අපේ මිනිස්සුන්ට පිටරටවල ගොස් බදු ගෙවන්න පුළුවන් නම් ඇයි මේ රටේ ඒ දේ කරන්න බැරි. ඒ රටවල් වගේ ලස්සන රටක් හදන්නයි අපට ඕන.

සාකච්ඡා කළේ .
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment