අප අත්විඳි පීඩාවන් මතු පරපුරටත් උරුම කරන්න එපා – රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලු‍ දෙනාගේ වගකීමක්

88

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොළොන්නරුවේ
“තරුණ අපේ අනාගතය” සුහද කථාබහට එක්වෙමින් කියයි

රට වෙනුවෙන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේද කියා ඔබ තීරණය කරන්න. මොකද අපේ දේශපාලනයේ සිටින බොහෝ දෙනෙක් තෙල් බෙහෙත් කාරයෝ. තෙල් බෙහෙත් අරගෙන කිසිවෙක් සුව වී නැහැ.

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳි පීඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලු‍ දෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම තමා භාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් භාර ගැනීමට අකමැති වූ රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි තමා සිතුවේ රටේ අනාගතයපිළිබඳව බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යූත් තරුණ එකමුතුව” විසින් “තරුණ අපේ අනාගතය” මැයෙන් ඉකුත් 23දා පොළොන්නරුවේදී සංවිධානය කර තිබූ සුහද කථා බහට එක් වෙමිනි. “ජනපති සමඟ කථාබහක්” නමින් පැවැත්වුණු මෙම හමුවේදි රටේ ඉදිරි අනාගතය හා දැක්ම පිළිබඳ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කළ අතර ඔවුන් මතුකළ ගැටළු රැසකටද සාධනීය පිළිතුරු ලබාදුන්නේය.

මෙහිදී තරුණ තරුණියන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මම භාරගත්තේ වැටුණු රටක්. රට භාරගැනීමට දේශපාලන නායකයෝ අකමැති වු රටක්. මම හිතුවා මම මේ රට භාරගත්තේ නැත්නම් රටට මොකක්ද වෙන්නේ කියලා. සමහරු හිතුවා රට භාරගත්තොත් තමන්ගේ දේශපාලනය නැතිවෙයි කියලා. ඔවුන් තමන් ගැන සිතද්දි මම හිතුවේ එම මොහොතේ රට භාරගත්තේ නැත්නම් රට නැතිවෙයි කියලා.

මම රට භාර නොගත්තානම් කුමක්ද සිදු වන්නේ? මම මේ රටේ වගකීම භාර නොගත්තා නම් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩනැගීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට අප කටයුතු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක වී තිබෙන අතර අපට ණය ලබාදුන් රටවල් සමඟද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

අද ඔබ වයස අවුරුදු 27ක තරුණයෙක් නම්, වයස අවුරුදු 37 වන විට ඔබ නැවත මෙම ආර්ථික පීඩනයට මුහුණ දීමට සූදානම්ද කියා ප්‍රශ්න කිරීමට මම කැමතියි. ඉන්ධන නැති වූ, ආර්ථිකය කඩා වැටුණු රටක් භාර ගැනීමට ඒ වන විට කිසිවෙක් සිටිද කියාවත් කිව නොහැකියි. ඒ නිසා අප සියලු‍දෙනාගේ වගකීම වන්නේ මෙම ආර්ථික අර්බුදය මතු පරපුරට උරුම නොකිරීමයි. ඒ වෙනුවෙන් කැපවීම අප සියලු‍දෙනාගේ වගකීමක් බව මම විශ්වාස කරනවා. අප කඩිනමින් ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු කළ යුතුයි. ආනයන පදනම් කරගත් ආර්ථිකයක සිට අපනයන පදනම් කරගත් ආර්ථිකයකට අප ගමන් කළ යුතුයි. ඒ සඳහා නගරයේ පමණක් නෙවෙයි ගමේද ආර්ථිකය දියුණු කළ යුතුව තිබෙනවා. ඒ වගේම අය වැය පාලනය කළ යුතුයි. රජයේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහොත් 2035 වසර වන විට ආපනයන ආර්ථිකයකට යොමු වීමට අපට හැකියාව තිබෙනවා. ඉන් පසුව අපට සීග්‍ර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ හැකියි.

ඒ වගේම වසරකට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ගැනීමට රජය සැලසුම් සහගතව කටයුතු කරනවා. ඒ වගේම වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් රටට ගෙන්වා ගත යුතුයි. එසේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා ගම දියුණු කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. එවිට කෘෂි අපනයන කරා අපට පහසුවෙන් ළඟාවිය හැකියි. එහිදී නව වගාවන් හඳුන්වාදීමට කටයුතු කර තිබෙන අතර දූරියන් වගාව පිළිබඳ තායිලන්ත රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම මෙරට තිබෙන බෝගවල ඵලදායිතාව ඉහළ නංවා ගැනිම තුළින් ග්‍රාමීය ආර්ථික දියුණු කිරීමට හැකියාව තිබෙනවා.

සූර්ය බලය හා සුළං බලය අපේ රටේ විශාල වශයෙන් තිබෙනවා. ඒ අනුව සුළං සහ තාප බලයෙන් බලශක්ති උත්පාදනයට යොමු වීමෙන් අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා දස ගුණයක් ලබාගත හැකි අතර එහි අතිරික්ත ප්‍රමාණය ඉන්දියාවට අළෙවි කළ හැකියි. ඒ වගේම ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලයේ ආයෝජන කලාපයක් ඇති කිරිමට අක්කර දහසක් වෙන් කර තිබෙනවා. එසේම මහවැලි ඒ සහ බී කලාප සංවර්ධනය කර නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරිමට සැලසුම් කර තිබෙනවා. බිංගිරියේ සහ උතුරේ නව ආයෝජන කළාප ඇති කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය ඉඩම් මේ වන විටත් වෙන් කර තිබෙනවා. ඊළග වසර 05 තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි.

මම මේ සියල්ල සිදු කරන්නේ ඔබේ අනාගතය වෙනුවෙන්. ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව කිව යුතුයි. තවද, මෙම හිඟුරක්ගොඩ ප්‍රදේශය දියුණු කිරීමට අප කටයුතුකර තිබෙන අතර, හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ ඉදිකිරීම වෙනුවෙන් මෙම වසරේදී මුදල් ලබාදීමට කටයුතු කළා. ඒ තුළින් මෙම පළාතට අභ්‍යන්තර ගුවන් සේවා ලැබෙනවා.

ඒ වගේම පොළොන්නරුව ඓතිහාසික පුරවරය සංචාරකයන්ට දිවා රාත්‍රියේ විවෘත කළ හැකියි. අපේ සංස්කෘතිකාංග සහ නවීන නැටුම් ගැයුම් සහ දේශීය ආහාර පාන එක් කර සංචාරක වැඩසටහන් සැකසීමේ හැකියාව තිබෙනවා. මෙම සියලු‍ කටයුතු සමඟ අප ඉදිරියට යා යුතුයි. ඒ නිසා රට වෙනුවෙන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේද කියා තරුණ පරපුර තීරණය කළ යුතුයි. ඔබ ඔබේ අනාගතය තීරණය කරන්න. මොකද අපේ දේශපාලනයේ සිටින බොහෝ දෙනෙක් තෙල් බෙහෙත් කාරයෝ. තෙල් බෙහෙත් අරගෙන කිසිවෙක් සුව වී නැහැ. ඒ නිසා ඔබ අනාගතය පිළිබඳ කල්පනාකරීව කටයුතු කළ යුතු බව මම ප්‍රකාශ කරනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය ආසන සංවිධායක ජගත් සමරවික්‍රම, යුනයිටඩ් යූත් උපදේශක මණ්ඩල සභාපති සුදත් චන්ද්‍රසේකර, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් අසංක රත්නායක, ජාතික සංවිධායක විජිත් අනුරාධ යන මහත්වරු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment