පාස්ක- ප්‍රහාරය ගැන හෙළිවූ කරුණු විමර්ශනය නොකරන හේතු සොයන්න පරීක්‍ෂණයක් ඕනෑ – කාදිනල්තුමා

78

පාස්කු ප්‍රහාරය පිළිබඳව චැනල් 4 නාලිකාව මගින් පැවසූ කරුණු හා එම ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිෂන් සභා වාර්තා මගින් හෙළි වූ තොරතුරු නිසි විමර්ශනයකට ලක් නොවීමට හේතුව කුමක් දැයි සොයා බැලීමට අපක්‍ෂපාතී පුළුල් පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පෙරේදා (19 දා) අගරදගුරු මැඳුරේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

එය දේශීය විමර්ශන කණ්ඩායමක් මගින් සිදු කළ යුතු බවත්, එම විමර්ශන කණ්ඩායමට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව මුල සිට විමර්ශන සිදු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඇතුළත් විය යුතු බවත් කාදිනල්තුමා කීවේය.

මෙම විමර්ශනය කිසිදු දේශපාලනික අතපෙවීමකින් තොරව, අපක්‍ෂපාතීව, සාධාරණ ලෙස සහ විනිවිද බවින් යුතුව සිදුවීම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමකගේ අධීක්‍ෂණය යටතේ සිදු කළ යුතුය.

කාදිනල්තුමා මෙසේ ද පැවසීය.

පසුගියදා ඉන්දීය රූපවාහිනි නාලිකාවක පැවැති පෙර කී සාකච්ඡාව අතරතුර දී ජනාධිපතිතුමා පවසා සිටියේ කතෝලික සභාවට ලබා දුන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව, අප අධ්‍යයනය කිරීමෙන් පසුව කතෝලික සභාවේ ප්‍රතිචාරය දැනගැනීම සඳහා සාකච්ඡාවක් කැඳවන බවයි.

අප ජනාධිපතිතුමන්ට සහ රජයට පැහැදිලිව කියා සිටින්නේ කතෝලික සභාවේ යෝජනා සහ ඉල්ලීම් ශ්‍රී ලංකා කතෝලික සභාව 2023 ඔක්තෝබර් 09 දාතමින් යුතුව එතුමන් වෙත එවූ ලිපියේ පැහැදිලිවම සඳහන් කර ඇති බවයි.

නමුත් ඔක්තෝබර් මස මුලදී කතෝලික සභාව විසින් ජනාධිපතිතුමන් වෙත යැවූ එම ලිපිය ලැබුණු බවවත් දන්වා පිළිතුරක් එවීමට තරම්වත් මේ දක්වා සැලකිල්ලක් දක්වා නැහැ.

අපට පිළිගත හැකි වන්නේ කතෝලික සභාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමන් සහ රජය කටයුතු කරන්නේ නම් හෝ එම යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඒ කුමන හේතු මත ද යන්න පිළිබඳවත් කතෝලික සභාවට සහ රටේ මහජනතාවට කරුණු ඉදිරිපත් කරන්නේ නම් පමණක් බව අපි ජනාධිපතිතුමන්ට කියා සිටීමට කැමතියි. ඒ කෙසේ වුවද, පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් වී වින්දිතයන් හට සාධාරණත්වය සහ යුක්තිය ඉටුවනතුරු අපි මේ අරගලය අත් නොහරින බවද ස්ථිර ලෙස ප්‍රකාශ කර සිටිනවා.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment