ලග්ගලට සංචාරකයින් කැන්දන මොරගහකන්ද

මේ දිනවල අපගේ “සංචාරේ” සිදුකරන්නේ මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල මැතිවරණ බලප්‍රදේශයේ පිහිටි සුන්දර ස්ථාන ඔස්සේය. ඒ අනුව අප පළමුවෙන්ම තෝරාගත්තේ මෑත කාලයේදී එනම්, වසර 2016-17 කාලයේදී නිර්මාණය කෙරුණු මොරගහකන්ද ජලාශය නොහොත් “කුලසිංහ ජලාශය” නැරඹීමට යෑම සඳහාය. තිස් අවුරුදු මහවැලියට පමණක් නොව, 1978 දී පමණ ක්‍රියාවට නංවන ලද කඩිනම් මහවැලියට පවා අයත්ව තිබූ “මොරගකන්ද ජලාශය” නිර්මාණය කිරීම යම් යම් හේතූන් නිසා නවතා දමන ලද නමුත්, හිටපු මහවැලි අමාත්‍ය හා පසුව ජනාධිපති ධුරයට පත් මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාවට නංවා නිමා කරන ලදී.

මහවැලි සංකීර්ණයේ අවසාන මහා පරිමාණ ජලාශයද වන මොරගහකන්ද ඉදිවන්නේ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල සේ ඍජුවම මහවැලිය හරස් කර නොව, මහවැලියේ ප්‍රධාන අතු ගංගාවක් වන අඹන් ගඟ හරස් කිරීමෙනි. බෝවතැන්න ජලාශයෙන් පසු ඉදිකෙරෙන මොරගහකන්ද මගින් පුලතිසිපුරවරය පටන් වයඹ හා උතුරුකරයේ සා පිපාසාව සංසිඳුවන නමුත්, ජලාශය ඉදිවෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මාන සහ වනගහනය යටකරමිනි. සැබැවින්ම ඉදිරියේදී අප කතාකරන මාතලේ කළුගඟ ජලාශයද ඇතුළත්ව මොරගහකන්ද-කළුගඟ ජලාශ යුගලය මගින් යටකර දමන ලද ගම්මාන ප්‍රමාණය 11 කටත් වඩා වැඩිය. එම ගම්මාන වැසියන් විසින් කරන ලද පරිත්‍යාගයන් නිසා ප්‍රතිලාභ ලබාගන්නෝ මාතලේ (ලග්ගල) වැසියන් නොවෙති.

ලග්ගලට සංචාරකයින් කැන්දන මොරගහකන්ද

එය වෙනම කතාවකි. කෙසේ හෝ මොරගහකන්ද ජලාශය ඉදිවන්නේ මහනුවර – යාපනය ඒ-9 පාරේ 34 වැනි සැතැප්මේදී (54 කිලෝමීටරය) හමුවන නාඋල මංසන්ධියෙන් හැරී ඇළහැර දෙසට යනවිට හමුවන 12 කණුව ප්‍රදේශයේය. එම ප්‍රදේශය අයත්වන්නේ නාඋල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වන අතර, ගිරිතලේ-මින්නේරිය ස්වභාව රක්ෂිතයට අයත්ව තිබුණු වන අලින්ගේ රජදහනක අඹන් ගඟ හරස්කර මෙසේ මොරගහකන්ද ජලාශය ඉදිකෙරුණු අතර, එහිදී නාඋල-ඇළහැර මාර්ගයේ කොටසක්ද ජලාශයට යටවිය. මේ නිසා ජලාශයට ඉහළින් නව මාර්ගයක් තනන්නටද මහවැලි අධිකාරියට සිදුවිය. චීන රජයේ ණය ආධාර යටතේ ක්‍රියාවට නංවන ලද මෙම ජලාශයේ පමණක් නොව, කළුගඟ යුගල ජලාශයේද කටයුතු මේ වන විට වැඩ අවසන් වී ඇති නමුත්, ජලාශ යුගලය සම්බන්ධකරණ උමග, වයඹ හා උතුරු ප්‍රදේශයට ජලය රැගෙන යන ඇළ මාර්ගයේ කටයුතු තවමත් පවතින්නේ ඉදිකිරීම් මට්ටමේය.

ලග්ගලට සංචාරකයින් කැන්දන මොරගහකන්ද

එම ඉදිකිරීම් හා තොරතුරු සොයා යෑම පසුවට තබා, ඉදිකිරීම් නිමාකර, ගිරිතලේට, මින්නේරියට තව තවත් වැව් අමුණුවලට දියවර ගෙනයන මොරගහකන්ද ජලාශය, එම ජලාශ වේල්ල යනාදිය දැක බලාගැනීම සඳහා අපි මෙසේ මේ දිනවල ‘දිවයින-සංචාරේ’ හා සමග එක්ව සිටින අතර, අවස්ථා කිහිපයක්ම වාන් දමන මට්ටමට පැමිණි මෙහි සුන්දරත්වය අප පළමුව විඳ ගත්තේ පෙර අප කී මොරගහකන්ද නව මාවතේ පිහිටි නැරඹුම් වේදිකාවේ (වීව් පොයින්ට්) සිටය.

ලග්ගලට සංචාරකයින් කැන්දන මොරගහකන්ද

නාඋල සිට මොරගහකන්ද දක්වා ඇති කිලෝමීටර් 12 ක පමණ දුර පමණක් නොව, එතැන සිට ඇලහැර දක්වා සහ ඒ ඔස්සේ ලග්ගල නව නගරය දක්වා (කළුගඟ ජලාශය ඇත්තේ ලග්ගල නව නගරය ආසන්නයේය) මාර්ගය සම්පූර්ණයෙන්ම කාපට් යොදා සකසා ඇත. මෙනිසා නාඋල මංසන්ධියේ සිට විනාඩි 20 කින් පමණ මොරගහකන්ද නැරඹුම් වේදිකාව වෙත ළඟාවිය හැකිය. ඇලහැර හරහා බකමූණ, ගිරිතලේ, දියබෙදුම, කදුරුවෙල, පල්ලේගම හඳුන්ගමුව දෙසට බස් රථ සේවාවන්ද ක්‍රියාත්මක බැවින් මෙම බස් සේවා සියල්ලම ගමන් ගන්නේද මෙම මොරගහකන්ද නැරඹුම් වේදිකාව අසලිනි. එනිසාම මේ ඔස්සේ යන සියල්ලන්ටම මොරගහකන්දේ සුන්දරත්වය ඉතා හොඳින් විඳගැනීමට අවස්ථාවක් ඇත. අප ගමන් ගත් ජීප් රථය මොහොතකින් මොරගහකන්දට ළඟා වූ අතර, හොඳින් පිරී තිබුණු ජලාශ තලයේ පමණක් නොව, ජලාශයට ඉහළ පසෙකින් ක්ෂිතිජ ඉමේ සිතුවමක් මෙන් තට්ටු කිහිපයකට විසිතුරුව පෙනෙන දුම්බර කඳුකරයේ විසිතුරුද අප ඡායාරූපයට නගා ගැනීමට අමතක නොකළෙමු. පසෙකින් දිස්වන්නේ ජලාශ තලයට මැදිව කඳු ගැටයක් මත අභිනවයෙන් ඉදිවන මහවැලි සංචාරක නිවාසයකි. එසේම, කඳු ගැට වල තුරු වදුලු වසාගනිමින් පැතිර පවතින නැවුම් ජල තලය නිසා යටවූ වනාන්තර ප්‍රමාණය අනන්තයක ප්‍රමාණයක් යැයි කියන්නට තරම් සුවිසල් ජල තලයක් අප ඉදිරියේ දිස්වෙයි. කෙසේ නමුත් අතීතයේදී අලි-ඇතුන්, හා වෙනත් වන සතුන්ට නිජ බිමක් වූ මෙම අඹන් ගංගා නිම්නය වසාගෙන විසල් ජල කඳක් අද නැගී සිටිනු පෙනේ. එම ජලකඳට යටවූ ගම්මාන අසවල් ඉසව්වේ යයි කීමට තරම් මතකයක් ඇති අයද එහි සිටිති.

ලග්ගලට සංචාරකයින් කැන්දන මොරගහකන්ද

හිරු නැගෙන උදෑසන මෙන්ම, හිරු බැස යන සැන්දෑවේ වුවද මෙහි නැගෙන විසිතුරු වචනයෙන් විස්තර කළ නොහැකිය. අපිද ඒ විසිතුරු හැකි පමණ ඡායාරූපයට නගන්නට අමතක නොකළෙමු. එහි ගතකළ හෝරාවක පමණ කාලයෙන් අනතුරුව අප ගියේ මොරගහකන්ද කුලසිංහ ජලාශය නමින් නම්කරන ලද, ජලාශ වේල්ල මතට නැග අවට දර්ශන තලය දැක බලාගැනීම සඳහාය. ඒ මතට පෙනෙන්නේ පෙර අප දුටු දර්ශන තලයට හාත්පසින්ම වෙනස් දර්ශන තලයකි. එසේම, තවත් පුළුල් දර්ශන තලයක් මෙහි සිට දැකබලාගත හැකිය. එනම්, ජලාශයේ ප්‍රධාන වේල්ල පමණක් නොව, අනු වේල්ලද, ජලාශය පාමුල පිහිටි විදුලි බලාගාරය පමණක් නොව, පැරණි අඹන් ගංගාවට ඉහළින් ඉදිකර ඇති පාලම මතින් වනාන්තරය අතරින් දිවෙන මාර්ගයද මෙහි සිට දැකගත හැකිය. එසේම නැරඹුම් වේදිකාවද ජලාශ වේල්ල මතට දිස්වේ. මෙම සියලුම ස්ථාන සවස් යාමය වන විට වන අලින්ගේ පාරාදීසයක් බවද සිහිපත් කළ යුතුය. බොහෝ විට අප පෙර සිටි නැරඹුම් වේදිකාවද සවස හා රාත්‍රියේදී වන අලින් ගැවසෙන බව දන්නෝ මෙම මාර්ගය රාත්‍රියට භාවිතා කරන්නෝම පමණකි. ඇතැම් විට වන අලි 7-8 දෙනාගේ කණ්ඩායම් රාත්‍රියේදී මාර්ගයේ ගැවසීම සාමාන්‍ය සිද්ධියකි.

මේ අවට ජනාවාස නැති බැවින් හා අවට පවතින්නේ ගිරිතලේ-මින්නේරිය රක්ෂිතය බැවින් නිහඬතාව රජයන අතර, අවට ඇත්තේ නිල්ල පිරුණු වනාන්තරයයි. ඒ තුළ ගැවසීම එතරම් ආරක්ෂිත නොවන නමුත්, මාර්ගයේ ඔබ-මොබ ඇවිද යමින් වුවද මේ වනාන්තරයේ අසිරිය හා අද්විතීයත්වය විඳගත හැකිය. මෙහි පවතින්නේ වියළි මිශ්‍ර සදාහරිත වර්ගයේ වනාන්තර වුවද, මොරගහකන්ද අවට වනාන්තරයේ ශාක ඝනත්වය වැඩිය. එසේම, කුඩා කඳු වැටි කිහිපයකින් හා ඈතින් දිස්වන දුම්බර කඳු යායෙන් අමුතුම චමත්කාරයක් ඇති කරන බැවින් සුන්දරත්වය විඳින්නට මොරගහකන්ද හරිම අපූරු තැනකි.

හෝරා දෙකක් පමණ මොරගහකන්දේ ගතකළ කාලය ඉතාම වින්දනීය අත්දැකීමක් අපට රැගෙන ආවේය. අප එහි සිටිය කාලය තුළ වන අලින් නුදුටුවද, කුඩා කුඩා ක්ෂීරපායීන් මෙන්ම, කුරුලු විවිධත්වය අතින්ද මොරගහකන්ද අතිශය අද්විතීය තැනක් බව අපට වැටහිණි. කුරුලු නාද අසන්නටද මේ පරිසර නිකේතනය අපට ඉතා හොඳ තැනකි.

ලග්ගල විසිතුරු සොයා යන ගමනේදී මෙසේ අප මොරගහකන්ද නව ජලාශයේ තොරතුරු කතා කරමින් ඉදිරියට යන අතර, එම ගමන බොහෝ දුරට අවසන් කෙරෙන්නේ ලග්ගල නගරයට ගොස්, කළුගඟ ඉහත්තාව ඔස්සේ විහිද යන ඉලුක්කුඹුර මාර්ගයෙන් රිවර්ස්ටර්න් දෙසට ගමන් කිරීමෙනි. ඒ දුම්බර කඳුකරයේ නොහොත්, මොරගහකන්ද හා කළුගඟ ජලාශවල ජල පෝෂක කඳුවැටි අතරට ගොසිනි. ඒ අනුව අපගේ මොරගහකන්ද චාරිකාව නිමාකර අප ඉදිරියට යන අතර විටෙක මාතලේ දිස්ත්‍රික්කයට හා විටෙක පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වන නාඋල-ලග්ගල පල්ලේගම මාර්ගයේදී අපට හමුවන ඇලහැර අමුණ, මහසෙන් රජු තම යෝධ ඇළ තැනීමේදී නිරීක්ෂණයට පැමිණ ඔරුව ගැට ගසා තිබුණා යැයි කියන “ඔරු බැඳී සියඹලාව” සහ ලග්ගල නව නගරය සහ එහි ආසන්නයේ පවතින “කිරි අම්මා උල්පත” ද බැලීමට අප අදහස් කරන අතර එහි විසිතුරු කතා ඔබට ඉදිරියේදී අපගේ “සංචාරේ” ඔස්සේ රසවිඳිය හැකිය.

ලග්ගලට සංචාරකයින් කැන්දන මොරගහකන්ද

සැරිසර – ජගත් කණහැරආරච්චි
ඡායාරූප – නිමල් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment