“සැදැහැ සිතින් බොහෝ වේලාවක් ඇය බුදුරජාණන් වහන්සේගේ මුවකමල දෙස බලා උන්නාය. සියලු බලාපොරොත්තු අතහැරුණු ජීවිතයකට ආගමික සිද්ධස්ථානයකට ගොස් ප්‍රාර්ථනා දල්වා ගැනීමට යැදීම නිෂ්ඵල ක්‍රියාවක් බව ඇය දැනගෙන සිටියාය. අරමුණු ශූන්‍ය වූ විට ආගමික හෝ සංස්කෘතික හරපද්ධතීන් සමග කරනා ගනුදෙනුවෙන් සිත සවිමත් නොවන බව අත්දැකීමෙන් දැන උන්නාය. මරණින් පසු යන ලෝකය ගැනද ඇය ආත්මාර්ථකාමී ලෙස නොසිතුවාය. එළඹ ඇත්තේ මේ මොහොතේ ජීවත්වීම පමණි. සිතිය යුත්තේ අද දවසේ සිතේ ශාන්තිය ගැන පමණි. හැසිරිය යුත්තේ අද දවසේ පස් පවෙන් වැළකෙන්නේ කෙසේද කියා පමණි. දැවෙන අන් සිතක් නිවා සනසාලන්නේ කෙසේද කියා පමණි. බුදු හිමි වන්දනාවෙන් ඇය කිසි දිනක අජරාමර නිවන් සුවය නො පැතුවාය. කළ පවු සහ වරදවල් අනුස්මරණය නොකළාය. ප්‍රාණය නිරුද්ධ වන මොහොතේදී සම්මා සතිය පහළ වේවායි පැතුවාය.”

“සිල්වර් ටිප්ස්” මලික් තුසිත ගුණරත්න අතින් නිර්මාණය වූ වෙනස්ම ආරක නවකතාවක් ලෙස හඳුන්වා දීමම නිවැරදි යැයි මම සිතමි.

ඔහුගේ අතින් බිහිවූ අනෙකුත් නිර්මාණ අතර නවකතා හතක්, කවි හතරක්, කෙටිකතා අටක් සහ එක් ගේය පද රචනයක් වන අතර මේ ඔහු සමග සාහිත්‍ය ගැන කෙරුණු කතා බහක සංක්ෂිප්තයයි.

වර්තමාන සාහිත්‍යය පිළිබඳව ඔබ දකින්නේ කෙසේද?

වර්තමාන සාහිත්‍යය අද තිබෙන්නේ හොඳ තැනක. සාහිත්‍යයට කවිය, ගීතය, නවකතාව, කෙටිකතාව ඔය වගේ විවිධ ශානරයන් අයත් වෙනවා. එම ශානරයන්ගෙන් කවිය, අද වන විට වඩාත් ඉහළ තැනක තිබෙනවා. ඒ වගේම කෙටිකතාවත් ඉහළ මට්ටමක පවතිනවා. අලුත් අලුත් අත්හදා බැලීම් කරන තරුණ සහ අලුත් නිර්මාණකරුවන් රාශියක් අද සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ඉන්නවා. ඔවුන් බොහෝ දුරට විදේශීය කෙටිකතා පරිශීලනය කරනවා ඇති කියලා මට හිතෙනවා. ඒකට හේතුව තමයි ඔවුන්ගේ කෙටි කතා ආකෘතිමය සහ තේමාත්මක වශයෙන් ඉතාමත් ඉහළ තැනක පැවතීම. ඒවගේම නවකතාව ගත්තම මම නම් දකින්නේ කවිය සහ කෙටිකතාවට සාපේක්ෂව අඩු වර්ධනයක් තමයි. එපමණක් නොව නවකතාකරණයේ යෙදෙන නවකතාකරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. නැවත නවකතාකරණය වර්ධනය කරන්න ඔවුන් සහ මම උත්සාහ ගන්නවා. නමුත් අනෙක් ශානරයන් දෙකට සාපේක්ෂව තේමාත්මක අතින් සහ අලුත් අත්හදා බැලීම් අතින් නවකතාකරණයේ වර්ධනයේ දුර්වලතාවයක් පවතිනවා.

කවි, කෙටි කතා ලියමින් ඉන්න ඔබ දෙදහස් පහළොව වර්ෂයේ ඔබේ මුල්ම නවකතාව ලියනවා. ඒ අත්දැකීම ඔබට කොහොමද දැනෙන්නේ?

ඔව්.එය බොහෝ කාලයක සිට මගේ හිතේ තිබුණු දෙයක්. මොකද මම ගොඩක් වෙලාවට ලිව්වෙ කවි. මගේ කවි ලිවීමේ කාලය පටන් ගත්තේ පාසල් කාලයෙන්. මම ඉස්සෙල්ලාම එක්දහස් නවසිය අනූ හතේ කෙටි කතාවක් ලියනවා. ඉන්පසු ගෙවෙන කාලය සංක්‍රාන්තික සමයක් වගේ. ඉන් පසුව මගේ පියා ජයකොඩි සෙනෙවිරත්න මට නොයෙකුත් යෝජනා කරනවා දැන් කවි සහ කෙටිකතා ලිය ලියා හිටියා ඇති පුතේ නවකතාවකට යන්න කියලා. නමුත් මගේ උදාසීන ගමනම තමයි ඒකට බලපෑවේ. ඒ කොහොම නමුත් දෙදහස් පහළොවේ දී මට හිතෙනවා නවකතාවක් ලියන්න ඕන කියලා. ඉන්පසු මම නවකතාවක් ලියන්න පටන් ගන්නවා. මටත් වඩා ඒ ගැන සතුටු වුණේ මගේ තාත්තා. පුදුම විදිහට ඉතින් දෙදහස් පහළොව වර්ෂයේ මගෙන් නවකතා දෙකක් එළියට එනවා. ඒක තමයි මගේ නවකතා කලාවේ උප්පත්තිය.

‘සිල්වර් ටිප්ස්’ කියන්නේ සංකීර්ණ මානව සබඳතා සහ මනුෂ්‍ය ස්වභාවයන් පිළිබඳ කතා කරන නවකතාවක්. ඒ සඳහා වස්තු බීජය සහ එකී සමාජ වටපිටා පිළිබඳ අත්දැකීම් ඔබට ලැබුණේ කොහොමද?

මට මෙච්චර කාලයකට බිහි නොවූ ආකාරයේ නවකතාවක් ලියන්න ලොකු උවමනාවක් තිබ්බ සහ මම ඒ වෙනුවෙන් ලොකු කාලයක් ගත්තා. ඒ සඳහා අත්දැකීම් එකතු කරද්දී ඒත් එක්කම මම මගේ කාර්යාල ජීවිතයේ අත්දැකීම් පෙළගස්සව ගත්තා. ඒ වගේම විදේශීය නවකතා ගොඩක් මම කියෙව්වා. ඒ වගේම ඇත්තටම මට උවමනා වුණා ප්‍රධාන චරිතයක් ඉස්මතු නොවෙන විදියේ කතාවක් ගොඩනගන්න. ඉන් පසු එහි ආකෘතිය මොන වගේද ගොඩනගන්න ඕන කියන එක ගැන හිතුවා. ඉන්පසුව මම කතාව ලියන්න පටන් ගත්තා. කතාවේ ප්‍රධාන චරිතය නාමමාත්‍රිකයි. එයා කිසිම අවස්ථාවක සංවාදයක් තුළින් එළියට එන්නේ නැහැ. පාඨකයාට ඔහුව හමුවෙන්නේ නැහැ. ඔහුව හමුවන්නේ අනෙක් අයගේ සංවාද සහ ඔවුන් කියන දේවල් තුළින් සහ ඔවුන්ට සිදුවන සිදුවීම් තුළින්. ඉන්පසු මේ මානව සම්බන්ධතා අම්මලා – තාත්තලා, දුවලා – පුතාලා, සහෝදර – සහෝදරියෝ, රාජකාරීමය සබඳතා හා සිදුවීම් මේ සියල්ල එක්තැන් කරලා, ඒවා ගැන ගොඩක් හිතලා, ඒ සියල්ල අධ්‍යයනය කරලා තමයි සිල්වර් ටිප්ස් කියන නවකතාව මගේ අතින් ලියවුණේ. ඇත්තටම සිල්වර් ටිප්ස් කියන්නේ මම ගොඩක් හිතලා මගේ පරිකල්පනය මෙහෙයවලා ලියපු නවකතාවක්.

සිල්වර් ටිප්ස් මගින් ඔබ සමාජයට කියන්න උත්සාහ කරන්නේ කුමක්ද?

ඔව් ඒ ඉතාම වැදගත් දෙයක් තමයි. ඉපදුන දවසේ ඉඳලම අපි රැවටෙනවා. අපි දන්නේ නැහැ අපිව පාවිච්චි වෙනවා. ගොඩක් අය අපිව පාවිච්චි කරනවා. විශේෂයෙන්ම පාසල තුළත් අපිව පාවිච්චි වෙනවා. වැඩිහිටි ශිෂ්‍යයෝ එහෙමත් නැත්නම් ගුරුවරු අපිව පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි අපි පොදු ප්‍රවාහන සේවයක යනවා නම් අපිව පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි අපි රැකියාවකට ගිය පසු ඉහළ නිලධාරීන් ඔවුන්ගේ සුඛ විහරණය එහෙමත් නැත්නම් ඔවුන්ගේ පැවැත්ම සඳහා පහළ ඉන්න කොට්ඨාසය පාවිච්චි කරනවා. අපි කඩේකට ගියොත් ඒ කඩේ මුදලාලිත් අපිව පාවිච්චි කරන්න හදනවා. ඊටත් වඩා ඒ වෙළඳසලේ තිබෙන භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන පාරිභෝගිකයෝ පාවිච්චි කරනවා. ඒක තවත් වචනයකින් කිව්වොත් අන්දවනවා. විවිධ ප්‍රචාරණ උපක්‍රම පාවිච්චි කරල පාරිභෝගිකයාව අන්දවනවා. ඉතින් අපේ මේ මුළු ජීවිත කාලය පුරාම එහෙම රැවටි රැවටී, අලුත් ඇඳුම් ඇඳ ගනිමින්, තව කෙනෙක් අන්දවන්න පුළුවන් නම් ඒකත් කරමින් අපි ගත කරනවා. මම මේ සිල්වර් ටිප්ස් කියන නවකතාවෙන් කියන්න උත්සාහ කරේ අපි රැවටෙන, අපි ඇන්දෙන, අපි අන්දවන මේ ස්වභාවය ගැන. ආර්ථිකමය වශයෙන් වෙන්නත් පුළුවන්, ලිංගික වශයෙන් වෙන්න පුළුවන්, සමාජමය වශයෙන් වෙන්න පුළුවන් බහුතරයක් කරන්නේ අද අන්දවන එක. ආර්ථික වශයෙන් ඒක අපිට පේන්නම පවතින දෙයක්. අපි පන්සලකට ගියත් අපිට පේන්නේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනය නෙමෙයි. ගොඩනැඟිලි සහ ඒ ආශ්‍රිතව වාසය කරන සංඝයා වහන්සේලාගේ ලෞකික අරමුණු ඉෂ්ට කර ගන්න දායක දායිකාවන්ගෙන් ඉල්ලන ඉල්ලීම්. බොහෝ පන්සල්වල බුදුහාමුදුරුවන්ගේ දර්ශනය පන්සලේ ඇත්තෙම නැහැ. ඕක තමයි හරිම විදිය සිල්වර් ටිප්ස්වල. තමන් මොන තැනක හිටියත්, මොන තනතුරක හිටියත් අපි නිරන්තරයෙන් රැවටෙනවා සහ පාවිච්චි වෙනවා කියන එක තමයි මම ඒ මගින් කියන්න උත්සාහ කළේ.

කථන, ලිඛිත, සංවාද යොදාගෙන නවකතාවට ආකෘතිමය වෙනසක් කරලා තිබෙනවා. ඒ වෙනස නවකතා කලාවේ ඉදිරි පැවැත්මට කොයිතරම් බලපෑමක් කරයිද?

ඇත්තම කිව්වොත් මම එහෙම අලුත් වෙනසක් කරාද නැද්ද කියන එක මට කියන්න ඕන පාඨකයෝ. මොකද මම උත්සාහ කළේ අලුත් දෙයක් කරන්න. මම ගොඩක් වෙලාවට කෙටිකතාවකින් හරි, කවියකින් හරි, නවකතාවකින් හරි මොකක්ම හරි අලුත් දෙයක් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒකට ලැබෙන ප්‍රතිචාර අනුව ඒක එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

දැන් ඔබ කියනව නම් මම ඒ චරිත ඇතුලෙන් කථන, ලිඛිත, සංවාද ආශ්‍රයෙන් අලුත් දෙයක් කරලා තිබෙනවා කියලා ඒකට බොහෝ විට බලපාන්න ඇත්තේ අර කතා නායකයෙක් එළියට එන්නේ නැති ගතිය වෙන්නත් පුළුවන්. මොකද ඒ කථානායකයා හරි කළු චරිතයක්. බලපු ගොඩක් පාඨකයෝ බනිනව මේ චරිතයට. එහෙම ප්‍රධාන චරිතයක් පාගාගෙන ඉන්න පුළුවන්ද අහනවා. එහෙම ප්‍රධාන චරිතයක් ඒ තරම් කළු වෙන්නේ කොහොමද කියල අහනවා. අන්න ඒ ස්වභාවය වෙන්න පුළුවන් ඒ සඳහා බලපාන්න ඇත්තේ. අනිත් දේ මම උත්සාහ කරන්නේ මේ නවකතාව හරහා අපේ මේ සමාජ තලය විච්ඡේදනය කරලා දාන්න. ඒක දුප්පත් පොහොසත් විදියට නෙමෙයි. හැඟීම්, සමාජ ආකල්ප සහ සමාජයේ පුද්ගලයන් හැසිරෙන විධිය මොන වගේද කියන එක පාඨකයින්ට කියලා දෙන්න. ඉතිං එතකොට පාඨකයන්ට මතක් වෙන්නත් පුළුවන් ඇත්ත නේද මේ සමාජයේම අපි ඉන්නව නේද, අපිටත් මේ වගේ බලපෑම් තිබ්බ නේද කියන එක.

නවකතාකරුවෙක්ට පුළුවන්ද සමාජ ක්‍රමයේ වෙනසක් ඇති කරන්න?

මම සාමාන්‍යයෙන් ඒක නම් පුද්ගලිකව විශ්වාස කරන දෙයක් නෙමේ. නමුත් මම ඕක එකපාරට කියපු ගමන් විවිධ අය ඇයි අරහේ මෙහෙම වුණා, මෙහේ මෙහෙම වුණා, රුසියාවේ උනා ඔන්න ඔහොම කියනවා. නමුත් අපිට සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕන උනත් කලා නිර්මාණයකින් අපිට බැහැ එහෙම වෙනස් කරන්න. කලා නිර්මාණයකින් කරන්න පුළුවන් යම්කිසි මාර්ගයක් පාදලා දෙන එක විතරයි. මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනෙ ඒ ඒ පුද්ගලයන්ගේ හැඟීම් තුළින්. ඒ කියන්නේ අපි කුඩා කාලේ ඉඳලම හිතුවොත් අපි පිරිසිදුව ජීවත් වෙනවා ටොපි කොළයක්වත් අපි පාරට දාන්නේ නැහැ කියලා අන්න ඒක තමයි සමාජ ක්‍රමය වෙනස කියලා කියන්නේ. ඒ මම අදහන විදිය. එහෙම නැතුව සාහිත්‍යවේදියෙකුට හෝ කලාකාරයෙක්ට ගුරුවරයෙක් වගේ කළු ලෑල්ලක් ඉස්සරහට ගිහිල්ලා මේක තමයි වෙන්න ඕනේ, මේක තමයි හරි පාර කියලා කියන්න බැහැ. මම කිසිසේත්ම පුද්ගලිකව නම් සමාජ වෙනසක් කරන්න සාහිත්‍යයට පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැහැ. නමුත් අපිට තියෙනවා යම්කිසි වගකීමක්. ඒ තමයි මේ සමාජය පාඨකයින්ට පෙන්වීම. ඒ කියන්නේ කැඩපතක් ඉස්සරහට ගියා වගේ. මෙන්න මෙතනයි අද ඔයා ඉන්නේ. නමුත් අද ඔයා ඉන්න ඕන මෙතන නෙමෙයි මෙන්න මෙතන කියන එක පෙන්නන්න කලාකාරයෙක්ට පුළුවන්. මම දරන අදහස තමයි ඒ.

සාහිත්‍යයට පිවිසෙන නව පරපුරට දෙන්න තියෙන්නේ මොන වගේ උපදේශයක්ද?

සාහිත්‍යයට පිවිසෙන්න අද ඕන තරම් මාර්ග තිබෙනවා. අපේ කාලේ වගේ නෙවෙයි. අපේ කාලේ තිබුණේ පත්තර විතරයි. පත්තරේක උනත් කවියක් හෝ කෙටිකතාවක් පළකර ගන්නවා කියන එක උපාධියක් ලබනවටත් වඩා අමාරු කාර්යයක්. නමුත් අද එහෙම නැහැ. වර්තමානයේ සමාජ මාධ්‍ය තිබෙනවා. ඕනෑම වචන ටිකක් ඒකෙ අමුණන්න පුළුවන්. ඒකේ මම වැරැද්දක් දකින්නේ නැහැ. අපිත් ඉස්සර ලිව්වා ඒ විධියට. අද අපි ඉන්න තත්ත්වයට එන්න අවුරුදු තිහක් ගියා කියලා හිතුවොත් අද ඉන්න අංකුර කලාකරුවන්ට ඒ තත්ත්වයට එන්න අවුරුදු පහක් වගේ තමයි ගත වෙන්නේ. ඒකට හේතුව වෙන්නේ ඔවුන් නිරන්තරයෙන් මුහුණු පොත හරහා තමන්ගේ නිර්මාණ එළිදක්වනවා. ඒක ඔවුන්ට නිරන්තරයෙන් සිදුවන අභ්‍යාසයක් වෙනවා. ඒ වගේම තමයි ගොඩක් අය ඒකට තමන්ගේ අදහස් කමෙන්ට් කරනවා. ඉතින් ඒ හේතුවෙන් කිසියම් අඩු කාලයකදී යම්කිසි ප්‍රවීණ තත්ත්වයකට එන්න පුළුවන් කියලා මම හිතනවා. ඇත්ත වශයෙන්ම ඒක නිසා වර්තමානය වන විට ලියන කියන අය ඉතාමත් හොඳ තත්ත්වයක ඉන්නවා. ඔන්න වචනයක් කියලා හරි දුර්මුඛ කරන්න හොඳ නැහැ. ඒක නොකළ යුතු අයුතු වැඩක්. ඔවුන් මොනවා ලිව්වත් ඔවුන් දෙස උපේක්ෂාවෙන් බලා හිඳීම තමයි ප්‍රවීණයන්ගේ වගකීම. නමුත් ඔවුන් මොකක්ම හරි නිර්මාණයක් කරලා මට මේ ගැන මොකක් හරි ලියන්න කියලා කිව්වොත් ඒකේ තියෙන එකම එක හොඳම කවියක් හරි අරගෙන ලියල දෙනවා මිසක ඒක ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ.

● චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment