කෘතිය : සරල සිංහල උක්තාඛ්‍යාත පද සම්බන්ධය හෙවත් උක්තාඛ්‍යාත යෝගය (අභ්‍යාස සහිත)

කර්තෘ : ටියුඩර් අමරසේන

ප්‍රකාශනය : සුරස ෆාස්ට් පබ්ලිෂර්ස්

පර බසක් වන ඉංග්‍රීසිය වහරන සිංහලයන් අතින් එහි වියරණ බිඳෙන විට උපහාසයෙන් ඊට සිනාසෙන සිංහලයෝ තම මව්බසේ වියරණ අමු අමුවේ උල්ලංඝනය කරමින් එබස වහරති, නොඑසේ නම් එබස වළඳති, නැතිනම් අනුභව කරති. එහි ඵලවිපාක අපට වත්මන් විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍යවලිනුත්, සාහිත්‍ය, කලා, ශාස්ත්‍රීය ඈ ග්‍රන්ථවලිනුත් ප්‍රකටවෙමින් තිබේ.

සිංහලය තරම් මනරම් බසකට මෙවැන්නක් සිදුවූයේ මන්ද යන්න වෙන ම ගැඹුරින් විමසා බලා ඒ සඳහා පිළියම් සෙවිය යුතු කරුණකි. සිංහල වියරණය පිළිබඳ අවධානයට ලක්කෙරෙන පාඨග්‍රන්ථ පාසල් විෂයමාලා අධ්‍යයනයේ දී භාවිත වුවත්, ඒවා සරල සුගම ලෙසින් සිසුනට අවබෝධ කර දෙන්නට සමත් ගුරුවරුන් මෑත කාලයේ ප්‍රමාණවත් ලෙස බිහිනොවීම ද සිංහල විෂය සිසුනට නීරස කරන්නට හේතු වී තිබේ. තව ද, සිංහල වියරණය සීමා වී තිබෙන්නේ සිංහල විෂයයට අදාළ කාරණා සඳහා පමණි. සිංහල බසින් උගන්නා අනෙක් විෂයයන්ට අදාළ පිළිතුරු පත්‍රවල දී බොහෝවිට සලකා බලනුයේ, ඒ ඒ විෂයයට අදාළ විෂය කරුණු පමණකි. මෙය ද, සිසුන් ඒ සඳහා දුර්මුඛ කිරීමකි.

අපේ ඉපැරණි සශ්‍රීක සාහිත්‍ය යුගවල දී මනරම් ව්‍යක්ත බසක්ව පැවැති සිංහලය විවිධ පරසතුරු උවදුරු හේතුවෙන් භාවිතයෙන් ඈත්වීමත්, එය ප්‍රචලිත කිරීම සඳහා අවැසි විද්‍යායතන සහ ගුරුවරුන් ප්‍රමාණවත් පරිදි බිහි නොවීමත් නිසා එහි පැවැති ප්‍රෞඪත්වය ගිලිහී ගොස් කාලයාගේ ඇවෑමෙන් එය කටවහරට පමණක් සීමා වූ නොදියුණු බසක් බවට පත්විණි.

පසුව එය නඟා සිටුවීම සඳහා කුමාරතුංග මුනිදාස ප්‍රමුඛ හෙළහවුලේ සාමාජිකයන් මෙන් ම, එවක විසූ සිංහල උගත් බොහෝ ලේඛකයන් සහ යතිවරුන් යම් පමණකින් කටයුතු කළ ද, භාෂා නිපුණත්වයෙන් ඌන සාමාන්‍ය ජනයාට එම මග දුරවබෝධවීමත්, භාෂා භාවිතය සඳහා වියරණයක් අනවැසිය යන දුර්මතය සමාජය තුළ ප්‍රචලිතවීමත් සිංහල භාෂාව දිනෙන් දින පරිහානිය කරා ගෙන ගියේ ය. භාෂාවේ වියරණ රීති සරල කර ඒවා දුහුනනට පහදා දෙනු වෙනුවට එහි ඇති ඉස්පිලි පාපිලි වෙනස් කරමින් සම්මත සිංහලය බිඳ දමා අසම්මත සිංහලයක් ගොඩනැගීමට යම් යම් පුද්ගලයන් විසින් ගන්නා ලද අසාර්ථක උත්සාහයන් පදනම් විරහිතව උත්කර්ෂයට නැංවීම ද සිංහල භාෂාවේ පසුගාමීත්වයට බෙහෙවින් බලපෑ කරුණක් වී ය. පසුකාලීනව සිදුවූ විද්‍යුත් හා සමාජ මාධ්‍ය භාවිතයේ වර්ධනයත්, තරගකාරී අධ්‍යාපන ක්‍රමයත්, වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තියත් නිසා පොත්පත් පරිශීලනය කරන පිරිස අඩුවීම ද මෙම ප්‍රවණතාව දෙගුණ තෙගුණ කර තිබේ.

සිංහල වියරණ භාවිතයේ පිරිහීම ගැන මෙතරම් දිගු පූර්විකාවක යෙදුනේ මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ ඒම පිණිස සිංහල භාෂාවට ආදරය කරන, ඒ සඳහා උනන්දුවක් දක්වන අප සැමට විපුල ඵලප්‍රයෝජන ලැබිය හැකි සරල සුගම බසින් ලියැවුණ සිංහල වියරණ ග්‍රන්ථයක් මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති හෙයිනි. ඒ, ප්‍රවීණ ලේඛක ටියුඩර් අමරසේනයන් විසින් සම්පාදිත ‘සරල සිංහල උක්තාඛ්‍යාත පද සම්බන්ධය හෙවත් උක්තාඛ්‍යාත යෝගය (අභ්‍යාස සහිත)’ නම් මාහැඟි කෘතිය යි.

ප්‍රවීණ කවියකු, ලේඛකයකු සහ පරිවර්තකයකු ලෙස අපට මීට පෙර හමුවී ඇති ටියුඩර් අමරසේනයන් නිර්මාණකරණයට පිවිසෙන්නේ 1982 වසරේ දී ‘කාලයයි මේ අවදිවන්නට’ නම් කාව්‍ය සංග්‍රහය පළකරමිනි. ඉන් අනතුරුව, ‘අළුගෝසුවාගේ සිහිනය’ (කාව්‍ය – 1990), ‘කරල් ඇහිඳින්නෝ’ (කාව්‍ය – 2007), ‘ගී ද මෝපසාංගේ ‘සංතෘප්තිය’ සහ වෙනත් ශ්‍රේෂ්ඨ කෙටි කතා’ (පරිවර්තන – 2020), ‘අත් පසුර’ (කාව්‍ය විචාර සංග්‍රහය – 2021), ‘සමනල ගීතය ළමා ගී සරණිය’ (ළමා -2020), ‘රන් දඹ කුමරු’ (ළමා -2020) සහ ‘හණමිටිකාරයාගේ කතාව’ (2020) නමැති සාහිත්‍ය කෘති ඔහු අතින් බිහිවෙයි.

සිංහල භාෂාව පිළිබඳව ඔහු ප්‍රවීණයකු බවට පත්වෙන්නේ පන්තිස් වසක් සිංහල ගුරුවරයකු ලෙස දෙස් විදෙස් පාඨශාලාවල ඉගැන්වීමේ කටයුතුවල යෙදීමෙනි. ඔහු ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කළ 2001 වසරේ දී ඔහුගෙන් සිංහල භාෂාව උගත් අ.පො.ස.(සාමාන්‍ය පෙළ) සිසු සිසුවියන් පනස් දෙදෙනකුගෙන් විසි අට දෙනකු ම විශිෂ්ට සාමාර්ථ ලබාගැනීමත්, අනෙක් සිසුන් සියලුදෙනා ම සම්මාන සාමාර්ථ ලබාගැනීමත්, මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ වික්ටෝරියානු ඉංග්‍රීසි භාෂා පාසලේ ඉගැන්වීම් කටයුතුවල යෙදෙමින් එහි සිසු සිසුවියන්ට සිංහල භාෂාව සඳහා විශිෂ්ට ප්‍රතිඵල අත්කර දෙන්නට හැකිවීමත් සිංහල භාෂාව පිළිබඳව ඔහු තුළ ඇති නිපුනත්වයත්, එම බස සරලව සහ සිත් කාවදින අයුරින් ඉගැන්වීමට ඔහු තුළ ඇති ශක්‍යතාවත් මැනවින් පෙන්නුම් කරන්නකි.

ටියුඩර් අමරසේනයන් සිය සරල සිංහල වියරණ ග්‍රන්ථය ආරම්භ කරන්නේ වාක්‍යයක අදහස් පැහැදිලිවීම සඳහා වැදගත් වන පද සංවිධානයේ සහ ව්‍යාකරණයේ නිරවුල් බවට ඉවහල් වන උක්තාඛ්‍යාත පද සම්බන්ධය පිළිබඳව අපගේ අවධානය යොමු කරවමිනි.

අනතුරුව වචන භේදය, උක්ත පද සහ අනුක්ත පද, පුරුෂ භේදය, කාල භේදය, අප්‍රාණවාචී බහුවචන, සමූහාර්ථවාචී පද, ගෞරවාර්ථ බහුවචන හා ගෞරවාර්ථ පද, නිත්‍ය බහුවචන, නිපාත යෝගය, පුරුෂත්‍රයට අයත් සර්ව නාම හා අන්‍ය නාම, අනියමාර්ථ ප්‍රත්‍ය-උක්ත යෝගය හා අනුක්ත යෝගය, ද්විත්ව උක්තය, ආඛ්‍යාත අධ්‍යාහාරය, අවිනිශ්චිතාර්ථය, අන්තර් වාක්‍ය, ක්‍රියා පද යන සිංහල භාෂාවට අයත් සියලු වියරණ රීති වෙන් වෙන්ව පරිච්ඡේදගත කර සරල සුගම නිරවුල් භාෂා ව්‍යවහාරයකින් යුතුව ඉදිරිපත් කර තිබේ. එසේ ම, ඒ සෑම පරිච්ඡේදයක් අවසානයේ දී ම අදාළ පරිච්ඡේදයේ දී උගත් භාෂා රීතිය පිළිබඳ ලද දැනුම කොපමණ මට්ටමකින් උකහාගෙන ඇත් ද යන්න උරගා බැලීම සඳහා වන සරල අභ්‍යාස පෙළක් ද, පරිච්ඡේද සියල්ල අවසානයේ තවත් පොදු අභ්‍යාස මාලාවක් ද ඔහු ඉදිරිපත් කරයි.

ටියුඩර් අමරසේනයන් සිය කෘතිය අවසන් කර ඇත්තේ වියරණ රීති පමණක් නොව, උක්තාඛ්‍යාත පද සම්බන්ධය පවා නොසලකා හරිමින් මෙරට පුවත්පත් කතුවරුන් සහ ලේඛකයන් විසින් වරින් වර ලියන ලද සාවද්‍ය වාක්‍ය 250ක් උපුටා දක්වමිනි. එහෙත්, ඔහු වෙත ඇති එම වාක්‍ය පළවූ පුවත්පත් ඇතුළු ලේඛන සහ එම ලේඛන සම්පාදනය කළ ලේඛකයන්ගේ තොරතුරු ඔහු මෙහි ඇතුළත් කර නැත. එය සුවිශාල අඩුපාඩුවක් ලෙස අප දකින්නේ, එම තොරතුරුවල මූලාශ්‍ර ඔහු නම් වශයෙන් ම ප්‍රසිද්ධ කළේ නම්, ඉන්පසුව හෝ වගකීමෙන් යුතුව ලේඛන කටයුතුවල යෙදීමට ඔවුන් උත්සුක වනු ඇතැයි අපට සිතෙන හෙයිනි.

උක්තාඛ්‍යාත පද සම්බන්ධය නැති, අක්ෂර වින්‍යාස සහ වියරණ දොස් සහිත වැකි, පාඨ, ලේඛන එසේ ඇතුළත් වෙන්නේ පුවත්පත් ලිපිවල සහ පොත්පත්වල පමණක් නොවේ. මග තොට අප දකින බොහෝ නාමපුවරුවලත්, රජයේ ගැසට්පත්‍ර සහ චක්‍රලේඛවලත් එවැනි දෑ අපට නොඅඩුව දක්නට ලැබේ. සිංහල උගන්නා අපේ දරුවන් නිවැරදි යැයි කියා විශ්වාස කරන්නේ ඔවුන් උදේ හවා දකින මෙම සාවද්‍ය සිංහල භාෂා ව්‍යවහාරය යි. එහෙත්, අවාසනාව වෙන්නේ ඒවා නිවැරදි කරන්නට සමත් වගකිව යුතු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවක් හෝ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයක් අප රටේ නොමැතිකම ය.

එහෙයින්, සිංහල ඉගැන්වීමේ යෙදී සිටින ගුරු භවතුනට සුනිසි මග පෙන්වන අත් පොතක් විය යුතු මෙම කෘතියට කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් තැබූ පසුවදනේ සඳහන් පහත අදහසින් මෙම ලිපිය අවසන් කරනු කැමැත්තෙමු.

‘අද විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, උපාධිධාරීන්, මාධ්‍යවේදීන් පමණක් නොව, ප්‍රවීණ මෙන් ම ආධුනික ලේඛකයෝ ද උක්තාඛ්‍යාත සම්බන්ධය ගැන කිසිදු අවධානයකින් තොරව ලේඛනකරණයෙහි යෙදෙති. එබඳු වැරදි ගැන ඔවුහු කිසිදු තැකීමක් ද නොකරති. මෙය අද දවසේ අපගේ මව්බස මුහුණ දී සිටින බරපතළ තර්ජනයක් බව නොකිවමනා ය. මෙවන් පසුබිමක මෙබඳු කාලෝචිත භාෂා පඨිතයක් රචනා කිරීමට පෙළඹීම අද දවසේ භාෂා ප්‍රේමීන් ලද ජයග්‍රහණයක් සේ සැලකිය හැකි ය.’

● අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment