හීනයක්ද මේ!

ඉස්සර මං හීන දැක්කා. හුඟක් හීන දැක්කා. ලොකු වුණාම කවුරු වෙන්නද ආස කියල ඇහුවාම මං කිව්වෙ ජනාධිපතිතුමා වෙන්න කියල. ජනාධිපති වෙන්න මං හීන දැක්කා හෝඩියේ පන්තියේ ඉඳලාම. ජනපති හීනය දැක දැක ඉද්දි මං එහෙම, මගේ පන්තියේ කොලු රැල කිව්වෙ ලොකු වුණාම දොස්තර කෙනෙක් වෙනවා කියල. නැත්නම් ඉංජිනේරුවෙක් වෙනවා කියල. මට දොස්තර – ඉංජිනේරු හීනෙට වඩා ජනාධිපති හීනය ආවා ඔළුවට. ආවේ කොහොමද කියල මං දන්නෙ නෑ. මට හිතෙන්නෙ ඒ, ජේ.ආර්. හින්දා කියල. ජේ. ආර්. ජනාධිපතිතුමාට උතුමාණන් වහන්සේ කියල අමතන්න නිර්දේශ කළාම වෙන්න ඕන ඒක වුණේ. මං උතුමාණන් වහන්සේට වහ වැටුණා. ඒත් මගේ ජනපති හීනය ඉවර කළෙත් ජනාධිපති උතුමෙක්ම තමයි. මතකනෙ එයා? අර “මගේ වචනය තමයි චක්‍රලේඛය” කියල කියපු එක් කෙනා. අන්න එයා. එයාගෙන් පස්සෙ මං හිතුවෙම නෑ ආපහු ජනාධිපති වෙන්න. ජනාධිපති තියා ජනාධිපති ආරක්ෂකයෙක්වත් වෙන්න හිතුවේ නෑ. ජනාධිපති ආරක්ෂකයෙක් වෙන්න හිතුවා මං චන්ද්‍රිකා මැතිනියගෙ කාලෙ. ඒත් ඒ හීනෙත් ඉවර වුණා පහුගිය සාගතේ කාලෙ. මෑතක ඇහුවොත් කවුරුහරි මගෙන් කවුරු වෙන්නද කැමති කියල මං කියනවා දෙන්නෙක්. එක් කෙනෙක් දොස්තර කෙනෙක්. අනෙක් කෙනා බැංකු නිලධාරියෙක්. හුඟක්ම කැමති මහබැකුවේ නිලධාරියෙක් වෙන්න. ඇයි ඒ? ඇයි ඒ කියල අහන්න එපා. ඒ අයට සල්ලි ලැබෙනවා වක්කඩේ හකුරු හැංගුවා වගේ. නෑ, වක්කඩේ වතුර ගලනවා වගේ.

දැන් දොස්තරලාට ඩැට් ගලනවා තිස්පන්දාහක්. බැංකුවේ අයට වැඩි වෙනවා නිකන්ම සියයට හැත්තෑවක්. බැංකුවේ විතරද වැඩ කරන මිනිස්සු ඉන්නෙ? රාජ්‍ය පරිපාලනයේ නැද්ද පියන්ලා. ඒජී ඔෆිස් එකේ පියන්ලා, ඩ්‍රැයිවර්ලා, සංවර්ධන නිලධාරීන් නැද්ද? තැපැල් කන්තෝරුවේ කොහොමද? පියන්ලා විතරක් නෙවෙයි, පියුම්ලාත් ඉන්නවානෙ ඒකෙ. අර ලියුම් උස්සන පියුම්කාරයොත් ඉන්නවානෙ ඒකෙ. ඒත් බැංකුවේ විතරක් ඉන්නෙ ලොක්කො! හුඟක්ම ලොක්කො වෙලා තියෙන්නෙ නන්දලාල් ලොක්කා ආවාම. සමාවෙන්න සර් ලොක්කා කිව්වාට ලොක්කා! ඇත්ත, ඉස්සර බැංකුවට ආවේ සොක්කො. සොක්කො බැංකුවේ මෝරනකොට ලොක්කො වුණා. ලොක්කන් නට්ටන් වෙයි කියල හිතුවාට ඒක වුණේ නෑ. මතකනෙ ඇලෝසියස්ලා! නට්ටන් වෙලා ඇවිත් ලොක්කො වෙලා ආපහු ගියා. ආපහු යන්න රතුපලස් එළලා තිබුණා. බැංකුවේ කට්ටියගෙ පඩි වැඩි වුණේ පරාටේ නීතිය හින්දා කියල කියනවා අර කළු රැවුල් මාමා. කොයි අත්තත් එකයි පුතේ කියන සියඹලා මාමා. ඒ හින්දා එයා කියන්නෙ ඉස්සරහට එහෙම පඩි වැඩි නොවෙන්න පරාටේ බලතල සීමා කරනවා කියල. හැබැයි යම් කාලයකටලු. මං පරාටේ දන්නෙ නෑ. මං දන්නෙ පරාටා. පරාටා – පරාටේ අතර ලොකු වෙනසකුත් නෑ. නෑ කිව්වාට එහෙමත් නෑ. පඩිපත අතට ලැබෙන කොට වෙනස පේන්නෙ හොඳට.

හීන ගැන දොඩවනවා වැඩිද මං? දොඩවන්න දේකුත් නෑ හීනවල. මේක කාලයේ ප්‍රශ්නයක් පුතා. අද හීනයි ඇත්තයි කියල දකින්න තියෙන්නෙ එකම දෙයක්. හීනෙන් පේන්නෙ ඇහින් දකින දේ. ඇස් දෙක ඇරගෙන දකින්නෙත් හීනෙන් පේන දේ. උදාහරණයකට බලන්න, හිතුවාද අපි හීනෙන්වත් ඇෆ්ගනිස්තානෙට පරදියි කියල. බංගලියො, සිම්බාබ්වේ ඔක්කොම අපට ඉස්සරහින්. සමහර විට නපුරු හීනෙක දකින්න ඇති ඒවා වෙනවා. ඒත් අපි දකිනවා දැන් ඒ නපුරු හීන ඔක්කොම හැබෑ වෙලා. ඒ වගේම තමන් මහන්සි වෙලා හදපු මන්දිරයක් මං හැදුවේ නෑය කියනවාද මොන ගොනෙක්වත්? ඒත් කපුටු කාක් එහෙම කියල තියෙනවා උසාවියේ. එයා කියල නෑ මල්වානෙ රඹුටන් කඩන්න ගියපු කොල්ලො ඒක හැදුවාය කියල. එයා කියල තියෙන්නෙ මාලිගාව එයාගෙ නෙවෙයි කියල. මේවා හැබැහින් වෙන්න පුළුවන් දේද? හැබෑටම හැදුවේ එයාගේ සල්ලිවලින් නම් අතාරිනවාද නිකන් මාලිගාවක්? ඒත් ඒක තේරුණේ නෑ අරගලකාරයන්ට. එවුන් ගිනි තිබ්බා මාලිගාවට. මාලිගාව උන්ගේ නෙවෙයි යකෝ! අපේ කියල දැක්කෙ නැද්ද මාලිමාලා? දැක්කා. දැක්කාට ඕන වුණේ ඒකෙන් වාසියක් ගන්න. අන්න එහෙම තමයි කට්ටිය ලොකුපුටුව ඉල්ලන්නෙ. ඒ විතරක්ද? නග්ගපු විදුලි බිලක් අඩු කරපු කාලයක් තිබුණාද මේ රටේ? තියෙන්න ඇති හීනවල. ඒත් හීනෙන් වෙන්න පුළුවන් දේ ඇත්තට වෙනවා දැන්. ඒක වුණේ කොහොමද? සමාවෙන්නෟ මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්!

හීන හීන විධියට තියෙන්න ඕන කියල මං කියන්නෙ. හීනයයි සැබෑවයි දෙකක් මිසක් එකක් නෙවෙයි. ඒ දෙක එකක් වෙන්න බෑ. ඒ දෙක දෙකක් වෙන්න දෙයියනේ! දැන් සින්ඩරෙල්ලා ඇත්තට ඉන්න ඕනෙද? අරවින්ද – සරෝජිනී පොතේ හිටියාම මදිද! ප්‍රියාට සම්මානයක් දීලාලු. කොච්චර දෙයක්ද ඒක! සුදු පරෙවි රෑන සේ…. මී කැකුණ කැලේ…. ඒත් දැක්කාම ප්‍රියා ඇත්තට ඇත්ත කොච්චර තිත්තද කියල හිතෙනවා. හිතෙන්නෙ නැද්ද එහෙම? ඒත් එතුමාව ගෙන්නලා තිබුණු විධිය හරිද මල්ලි ශාලාවට? කරන්න දෙයක් නෑ. ටෙලි සම්මාන කියන්නෙ මාර්කටින් වැඩක්. තාත්තා කළෙත් විකුණපු එකනෙ සුමතිපාල. ඒත් බැරි වුණාද සුමතිට ධර්මසිරි අයියාට චිත්‍රපටියක් කරන්න සල්ලි දෙන්න? ඒවා එහෙම තමයි මල්ලි! උන් ඔක්කොම යාළුවො! යාළුවො අතරේ සම්මාන බෙදෙන්න ඕන. හුඟක්ම සම්මාන යන චැනල් ගාණ වැඩි වෙනකොට ඒ ගැන නිව්ස් එක යන චැනල් ගාණත් වැඩි වෙනවා. මතකයි ඔය වගේ තව සම්මාන උළෙලක්. ංආ… රයිගමයයි ගම්පොළයයි. ඒ විතරක්යැ, කර්තෘ සංසද උළෙල. හැම චැනලෙටම, හැම පත්තරේටම දෙන්න ජනතා සම්මාන. දින්නත් දිනුම්, පැරදුණත් දිනුම් එතකොට.

මං කියන්නෙ මෙච්චරයි. හීන නෙවෙයි කාරණය. ජීවත් වෙන්න බෑ. හුස්ම ගන්න බෑ. දෙයියම්පා! මට දැනෙනවා මට හුස්ම ගන්න තියෙන ඔක්සිජන් වායුව නැති වෙනවා වගේ. ඔව්, ධර්මෙ අයියා, ඒක තමයි කාරණය. හුස්ම ගන්න වායුව නෑ. හුස්ම හිර වෙනවා දැනෙනවා. කරන වැඩක් නෑ. කරන වැඩක් හරියන්නෙත් නෑ. බලන් ඉන්නවා උඩ බලාගෙන. උඩ බලාගෙන බලන් හිටියා හුඟක් කාලයක්. බෙල්ලත් උලුක් වෙලා දැන්. ඒත් ඊටත් වඩා හුස්ම ගන්න අමාරුයි දැන්. කමක් නෑ, දොස්තරලාට දෙන්න ඒ දෙනවැයි කියපු ගාණ. මගෙ තරහක් නෑ. බැංකුවේ අධිපතිලාටත් ගන්න කියන්න. කිසි විරසකයක් නෑ මගෙ. ඒත් දොස්තරලාට කියන්න හුස්ම ගන්න බෑ කියල අපට. තව වැඩි දවසක් නෑ ජීවත් වෙන්න පුතේ කියල කියන්න. ඔව්, ආයෙත් කියනවා. ධර්මසිරි අයියා, ඔයා කියන එක මුන්ට තේරෙනවාද!

අන්තිමටම කියන්නෙ මේක. මොකක් නමුත් වෙන්න ඕන. ඉක්මනින්ම මොකක් නමුත් වෙයව් දෙයි හාමුදුරුවනේ! තව කල් බලන් ඉන්න බෑ. හීන දකින්න බෑ. ඇත්ත දකින්නත් බෑ. තියෙන තත්ත්වය අමාරුයි. හුඟක් අමාරුයි. හීන එපා. ඇත්තත් එපා. ඇත්ත දැකපල්ලා දියවන්නාවේ ලොක්කනේ. බැරි නම් ඉඩ දීහල්ලා දියවන්නාවට පනින්න!

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment