ජනාධිපති ඇමැති ධුර වෙන් කළේ හරි ක්‍රමයට – දිලුම් අමුණුගම

87

එකම කාර්ය සිදුකරන අමාත්‍යාංශ කිහිපයක් වෙනුවට ඒ සියල්ල ඒකාබද්ධ කර තනි අමාත්‍යාංශයක් ගොඩනැගීමට ජනපති කටයුතු කිරීම අගය කළ යුතු බවත් ඇමැති ධුර ලබාදී සියලු දෙනා සතුටු කිරීමේ ක්‍රමවේදයට තිත තබන්නට කටයුතු කරන බැවින් සියලු දෙනාගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිය යුතු බවත් ආයෝජන ප්‍රවර්ධන ඇමැති දිලුම් අමුණුගම මහතා පැවැසීය.

යම් හෙයකින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට අවස්ථාව නොදී ඇමැතිවරුන් සංඛ්‍යාව වැඩි කළේ නම් තමන්ද එහිදී ඊට එරෙහිව හඬ නගන බවත් මේ අවස්ථාවේ ඒ ආකාර ඇමැති ධුර වැඩිවීමක් සිදුව නොමැති බව තේරුම් ගැනීම වැදගත් බවත් ඒ මහතා කීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනා ඇමැතිවරු විය යුතු බව කියමින් එසේ නොවන්නේ නම් ජනපතිට අපගේ සහය නැතැයි පවසන්නට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බවත් පසුගිය කාලයේ ඒ ආකාරයෙන් සිතූ අය සතුටු කිරීම සඳහා ඇමැති ධුර ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස එකම කාර්ය කිරීමට ඇමැතිවරුන් දෙතුන් දෙනා පත්ව සිටි බවත් ඒ මහතා කීය.

මහනුවරදී පෙරේදා (24දා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.

විදුලි බල මණ්ඩලයේ ආදායම් සහ වියදම් තුලනය කිරීම සඳහා විදුලි බිල වැඩි කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුව ද ඒ පරිදි විදුලි බිල වැඩි කිරීමෙන් ඉදිරියේදී රටේ විදුලි බල මණ්ඩලය හැර වෙනත් කිසිදු අමාත්‍යාංශයක් ඉතිරි නොවනු ඇතැයි ද හෙතම කීය.
සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment