විදුලි බිල වැඩි කිරීමේ වාසිය මහජනයාට මාස කීපයකින් දැනේවි

385

බිල වැඩි කරන්න අත ඉස්සූ නීතිඥ චතුරිකා සේනාරත්න කියයි

විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණයේ වාසිය මහජනතාවට මාස කිහිපයක් යනවිට දැකගන්නට ලැබේවි යැයි මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික නීතිඥ චතුරිකා සේනාරත්න මහත්මිය ‘දිවයින’ට ඊයේ (15 දා) පැවසුවා ය. 02 – පිටුවට

කොමිසමට සහභාගිවීමේ දී ලැබෙන රුපියල් 5000ක මාසික දීමනාවක් තමාට ලැබුණා ද යන්නවත් තමන් නොදන්නා බව ද ඇය කීවා ය.

කොමිසම ස්ථාපිත කළ වකවානුවේ ම විදුලි අර්බුදය සම්බන්ධයෙන් කල්වේලා ඇතිව මහජනතාව දැනුවත් කිරීමට තමා කොමිසම දැනුවත් කළත් ඊට සභාපති ජනක රත්නායක මහතා යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බව ද ඇය කීවා ය.

සභාපතිවරයා හැර කොමිසමේ අනෙකුත් සාමාජිකයන් සිවුදෙනා විදුලිබිල වැඩි කිරීමේ යෝජනාවට එකඟතාවය පළ කළේ ඊයේ (15 දා) සිට ම විදුලිය කප්පාදුව නැවැත්වීමේ එකඟතාවය මත බවත්, තමන් මෙම තීරණයට එළැඹියේ ජනාධිපති, ඇමැති හෝ වෙනත් කිසිවකුගේ උවමනාවන් ඉටු කිරීමට නොවන බවත් ඇය කියා සිටියා ය.

ඉදිරියේ දී සාමාන්‍ය පෙළ විභාගය, සංචාරකයන් පැමිණීම, ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුළු ආර්ථිකයට ඇතිවන වැදගත්කම පැය 24 පුරා විදුලිය ලබාදීම තුළින් මාස කීපයක් යනවිට ජනතාවට ද දැකගත හැකි යැයි ඇය කීවාය.

අහිංසක මිනිසුන් බේරාගැනීමට කටයුතු කළ යුතු යැයි ඇතැමුන් ප්‍රකාශ කළත් එය සත්‍ය තත්ත්වයක් නොවන බවත් ඇය කීවාය. පැවැති තත්ත්වයෙන් විදුලි බිල පවත්වාගෙන යෑමට සිදුවුවහොත් පැය 05ක 06ක දෛනික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බවත් එය වළක්වා ගැනීමට හැකියාව විදුලිබිල වැඩිකිරීම නිසා හැකිවන බවත් ඇය කීවාය.

විදුලිබිල වැඩිකිරීමට තමන් ඇතුළු අනෙකුත් සාමාජිකයන් තිදෙනා ද කැමැති නැති බවත්, නමුත් රටේ ඇතිවන විදුලි අර්බුදය ගැන මනා අධ්‍යනයකින්, අපක්ෂපාතීව සිතා බැලීමේ දී ගතයුතු හොඳම විසඳුම තමන් ඇතුළු සිවුදෙනා ගත් බවත් ඇය කීවාය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment