කාලගුණ විපර්යාස අවම කිරීමට ගත් පියවර උසාවිය සති 6න් ඉල්ලයි

93

ජනපති – කෙහෙළිය ඇතුළු පාර්ශ්ව කීපයකට නියෝග

රට තුළ ඇතිවන කාලගුණ විපර්යාස අවම කිරීම සඳහා ගෙන ඇති පියවර කුමක්දැයි සති හයක් ඇතුළත තම අධිකරණයට සවිස්තරව දැනුම්දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව කිහිපයකට නියෝග කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිඥ කාංචනා බාලචන්ද්‍රන්, නීතිඥ සමන්ති පොන්නම්පෙරුම යන නීතිඥ මණ්ඩලය සමඟ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේය.

එකී පියවර කුමක්දැයි පෙත්සම්කාර පාර්ශ්වයට ද පිටපත් සහිතව දැනුම් දෙන ලෙසට ද නියෝග කළ ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එකී තොරතුරු ලැබීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් නිරීක්‍ෂණ, අධිකරණයට දැනුම් දෙන ලෙසට ද පෙත්සම්කාර පාර්ශවයට වැඩිදුරටත් නියෝග කොට ලබන ජුනි 11 වැනිදා පෙත්සම සලකා බැලීම සඳහා කැඳවීමට ද නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment