කුරුන්දි විහාරයට කඩාවැදුණු බෙදුම්වාදීන්ට පොලිස් බලතලත් දුන්නොත් කොහොමට හිටීවිද?

154

ජානිපෙ නායක විමල් වීරවංශ

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට පෙර දෙමළ ජාතික සන්ධානයට හා එහි ජාතිවාදි බලවේග කුරුන්දි විහාර පුදබිමේ හැසිරෙන ආකාරය බැලු විට 13 බලාත්මක කළහොත් උතුර, නැඟෙනහිර පුරාවිද්‍යා ස්මාරකවලට සිදුවන හානිය සිතා ගන්නට වත් නොහැකි වනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

වීරවංශ මහතා නිකුත් කර ඇති විශේෂ නිවේදනයක මේ බව පවසයි. එහි මෙසේ ද දැක්වේ.

එදා 1987 දී ඊනියා ඉන්දු – ලංකා සාම ගිවිසුම අත්සන් කර 13 වැනි සංශෝධනය සම්මත කිරීම මගින් ප්‍රභාකරන්ට ෆ්‍රෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කර දීමට රජිව් ගාන්ධි පොරොන්දු වූ බව ප්‍රසිද්ධ කරුණකි. ෆ්‍රෙඩරල් රාජ්‍යයක් බිහිකිරීම යනු ඊලාම් රාජ්‍යයේ කලලය පිළිසිඳ ගැනීමකි. එනම් ෆ්‍රෙඩරල් රාජ්‍යයක් බිහිකිරීම වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා පූර්ණ කොන්දේසියකි.

රණවිරුවන් ජීවිත පූජා කරනු ලැබුවේ සහ අත, පය, ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නේ එය වළක්වා ගැනීම සඳහාය. එනම් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටු කිරීම වැළැක්වීම සඳහාය. රණවිරුවන් විසින් අවසානයේදී බෙදුම්වාදීන් යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවේ යුද්ධය මගින් ඉල්ලා සිටි දේ බන්දේසියක තබා පිරිනමන්නටද? වර්තමාන ජනාධිපතිවරයා විසින් උත්සාහ කරනු ලබන්නේ මීට පෙර ජනාධිපතිවරු 7 දෙනෙක් නොකළ දේ කිරීම සඳහා බව ඉතා පැහැදිලිය.

ඒ අනුව රණවිරුවන් 30,000 ක් ජීවිත පූජා කළේ කුමක් සඳහාද? සහ තවත් 29,000 ක් අත, පය, ඇස්, ඉස්, මස්, ලේ, දන් දුන්නේ කුමක් සඳහාද? යන ප්‍රශ්න ඇසීමට සිදුවේ. යුද්ධයට නායකත්වය දුන් හිටපු ජනාධිපතිවරයා ඒ පිළිබඳ නිහඬව සිටීම කනගාටුවට කරුණකි. ඒ නිසා අප සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ මහා පාවාදීමට දායක නොවන ලෙසයි.

කුරුන්දි අශෝක විහාරයෙහි පොකුණ වැවක් බවත් ඒ අවට වගා බිමක් පවතින බවත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පවසන විට “කුරුන්දි අශෝක විහාරයට ඇයි අක්කර 300ක්? වහාම මේ වගාබිම වගා කරන අයට දෙන්න” යැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවසන තරමට ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය පිනවමින් සිටියි. එසේම ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ “කුරුන්දි පුදබිමෙහි හින්දු කෝවිලක් ඉදිකිරීමේ සිහිනයට’ ද ජනාධිපතිවරයා පණ දෙමින් සිටියි.
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment