දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සියදිවි හානිකර ගැනීමක්ද? – මනුෂ්‍ය ඝාතනයක්ද තීරණයට තව සති අටක් ඉල්ලයි

75

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානිකර ගැනීමක්ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන කරුණු නිශ්චිතව තීරණය කිරීම සඳහා තවදුරටත් සති අටක කාලයක් අවශ්‍ය බව තම අධිකරණය විසින් පත්කළ විශේෂඥ පංච පුද්ගල කමිටුව දැනුම් දී ඇතැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉකුත් 04දා විවෘත අධිකරණය හමුවේදී ප්‍රකාශ කළාය.

එම විශේෂඥ කමිටුව පසුගිය 10 වැනිදා ඉදිරිපත් කළ ලිපියක් මගින් ඒ බව දැනුම් දී ඇතැයි ද වැඩිදුරටත් පෙන්වා දුන් අතිරේක මහෙස්ත්‍රාත්වරිය තම අධිකරණය විසින් එම කමිටුව පත්කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත්වී ඇති රජයේ රස පරීක්‍ෂකවරයාගේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති රස පරීක්‍ෂක වාර්තා ඇතුළු ලේඛනවල සහතික පිටපත් වහාම එම කමිටුව වෙත ලබාදෙන ලෙසට ද මහෙස්ත්‍රාත් අධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළාය.

මරණකරු බොරැල්ල පොදු සුසාන භූමියේ නවතා තිබූ කාර් රථය තුළදී සොයා ගන්නා විට ඔහුගේ දෑත් ගැට ගසා තිබූ ටයිපටයේ ඇත්තේ ඔහුගේ දත්වල සලකුණු නොවනා බවට රස පරීක්‍ෂක වාර්තාව අනුව සනාථ කර ඇතැයි පෙන්වා දෙමින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

එම නඩුව ලබන 24 වැනිදා යළි කැඳවීමට ද දින නියම කෙරිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment