මැති සබේ පැරදුණු ගැසට්ටුව – යුක්තියේ දෙවගන මව්බස දිනවයි

286

වැඩි ඡන්ද 112කින් ඉංග්‍රීසිය පරදී
පක්‍ෂව ඡන්දය දුන්නේ චන්දිම විතරයි

නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට අදාළව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) වැඩි ඡන්ද 112කින් පරාජයට පත් විය. එම ගැසට් නිවේදනයට විරුද්ධව මන්ත්‍රීවරුන් 113 දෙනකු ඡන්දය ලබා දුන් අතර පක්ෂව ලැබුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ ඡන්දය පමණි. මෑත කාලයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව සහ විපක්ෂය එක්ව ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි වේ.

අධිකරණ අමාත්‍යංශය විසින් නීති අධ්‍යාපන සභා ආඥාපනත යටතේ නිකුත් කර තිබුණු මෙම අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ ආණ්ඩුවේ පළමු යෝජනාව වශයෙන් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබිණි. සභාව ආරම්භයේ සිටම මේ සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධය එල්ල වූ අතර මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මෙම ගැසට් නිවේදනය සම්මත නොකළ යුතු බව අසුන්වලින් නැගිට කෑකෝ ගසමින් ප්‍රකාශ කළහ.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ගැසට් නිවේදනයට එරෙහිව බෙදීමක් (ඡන්දයක්) ඉල්ලා සිටි අතර ඊට විපක්ෂයේ විමල් වීරවංශ සහ ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රීවරු රැසක් සහාය පළ කළහ. එහිදී ඇති වූ උණුසුම් තත්ත්වයෙන් අනතුරුව කථානායකවරයා විසින් ඡන්දයක් පැවැත්වීමට අදාළ සීනුව නාද කොට ඩිජිටල් ක්‍රමයට ඡන්ද විමසීම සිදු කරනු ලැබීය. එම ඡන්ද විමසීමෙන් නීති විiාල අවසන් විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවට වූ යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය. මෙම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතු වූ සංවාදය මෙසේය.

සුසිල් ප්‍රේමජයන්ත මහතා- මෙම යෝජනාව අපි ඊළඟ සැසියට ඉදිරිපත් කරනවා. ඒ නියමිත කාර්ය පටිපාටිය අනුව.

සජිත් ප්‍රේමදාස මහතා – මෙය ක්‍රමානුකූලව වෙනස් විය යුතුයි. නීති විද්‍යාලයේ අවසන් විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වුවහොත් යම් බමුණුකුලයක් නිර්මාණය වේවි. අද අධ්‍යාපන ක්‍රමයේ බෙදීමක් තිබෙනවා. ඒක නැති කරන්න ඕනා. ඒවා නැති කරලා තමයි මේ ප්‍රතිසංස්කරණය සිදු වෙන්න ඕනෑ. අපි මේකේ කමිටු අවස්ථාවේදී පොදු මතයකට ආවා අද දවසේ මේක ඡන්දයෙන් පරාජය කරලා අලුත් රෙගුලාසියක් ඉදිරිපත් කරන්න. නමුත් මේ අය දැන් මෙතැනට ඇවිත් මේ ගැන කල්මරලා ඒ දරුවන් අනාථ කරන්නයි හදන්නේ. මේක එක පාරටම ක්‍රියාත්මක කළ යුතු නෑ. නමුත් අපි ක්‍රමිකව ඉංග්‍රීසි භාෂාව කරා යා යුතුයි.

විමල් වීරවංශ මහතා- මේ යෝජනාව අලි සබ්රි ඇමැතිතුමා කැබිනට් එකට ගේන දවසේ මමත් වාසුදේව සහ ගම්මන්පිල දෙදෙනාත් පමණක් විරුද්ධ වුණා. නමුත් අපේ මතය නොවෙයි පොදු මතය වුණේ. නීති වෘත්තිය කියන්නේ සමාජයත් එක්ක සෘජුවම ගැටගැහුණු එකක්. අද අපි මේක පරාජය කරමු. අද ගේමු. ඇයි ගේන්නේ නැත්තේ?

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- මේ විභාගය අත ළඟ තිබෙන්නේ. අද මේක කළේ නැතිනම් ඒ ළමයි අනාථ වෙනවා. මේක ඉල්ලා අස්කර ගන්න.

ඩිලාන් පෙරේරා මහතා- මේක කැබිනට් එකේ අනුමත වුණේ නැතිනම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් විභාගය ලියන්න ඕනෑ කියන ගැසට් එක වලංගු නෑනේ. මෙතනදී පරාජය කරන්න ගැසට් එකක් නැතිනම් සිසුන්ට කැමති භාෂාවකින් උත්තර ලියන්න පුළුවන්.

අනුරාධ ජයරත්න මහතා – නීති අධ්‍යාපන සභාවෙන් තමයි මේ කාරණා හදලා තිබෙන්නේ. එහි සභාපති අග්‍රවිනිශ්චයකාරතුමායි. අපි කළේ මේක ඉදිරිපත් කිරීමයි. මේකේ ගැටලුවක් තිබෙනවා නම් අප්‍රේල් මාසේ විභාගයට කලින් නැවත වතාවක් මේක ඉදිරිපත් කරමු.

බන්දුල ගුණවර්ධන මහතා- මොනම හේතුවක් නිසාවත් මෙවර මෙම විභාගය ඉංග්‍රීසියෙන් ලියන්න කියලා අනුමත කරන්නේ නෑ කියන එකයි අමාත්‍යාංශ කාරක සභාවේ මතය. තමන්ගේ මව්භාෂාවෙන් කටයුතු කිරීමේ යුතුකම අපි ආරක්ෂා කරන්න ඕනා.

වීරසුමන වීරසිංහ මහතා- මේක නීතිමය ලියවිල්ලක්. අපි අද මේක වෙනස් නොකළොත් මීළඟ විභාගයේදී දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න වෙනවා. ඒ නිසා අදම මේ වෙනස කරන්න තීන්දුවක් ගන්න.

විමල් වීරවංශ මහතා- මේක සංවේදී ප්‍රශ්නයක්. ඒ විභාගය ලබන සතියේ පැවැත්වෙනවා. මේක ක්‍රියාත්මක කරන්න ගියොත් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න වෙනවා. එතකොට ඒ දරුවෝ අසරණ වෙනවා. අද මේක අරගෙන ඉවර කරන්න. කැබිනට් එකට ආපසු දාන්න. මේක මුදල් රෙගුලාසියක් නොවෙයි.

ජගත් කුමාර මහතා- මේ යෝජනාව අපිට පරාජය කරන්න වෙනවා. අගවිනිසුරු ඇතුළු ඒ සියලු දෙනා සිංහලෙන් ඉගෙන ගෙන ඉංග්‍රීසියෙන් වැඩ කරනවා. අපි ඒ විදිහට කටයුකු කරමු.

කථානායක- කව්රුත් එකම දේයි කියන්නේ.

විපක්ෂ නායක- මේකට බෙදීමක් අවශ්‍යයි. නැත්නම් මේක ක්‍රියාත්මක කරන්න.

අනුරාධ ජයරත්න මහතා- මේකේ වැරැද්දක් තිබෙනවා නම් අපි වෙනස් කරන්නම්. මෙවර විභාගයට අදාළ නොවන ලෙස අපි ඒ වගකීම ගන්නම්.

මහින්ද අමරවීර මහතා- අපි කව්රුවත් ඒ විභාගය ස්වභාෂාවෙන් ලියනවාට විරුද්ධ නෑ. අද මේක ගන්න බැරි නම් අපි හෙට හෝ අනිද්දා අරගෙන ඉවරයක් කරමු. ඒ දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස.

කථානායක- සභානායකතුමා මේ සභාව කරගෙන යන්න.

විපක්ෂනායක- අපි සූදානම් මේ ගැන ඡන්දයකට යන්න.

සුසිල් ප්‍රේමජයන්ත මහතා- අපි මේ ප්‍රශ්නය දිගටම ගෙනියන්න බලාපොරොත්තුවක් නෑ. මේක වෙනස් කරන්නද ඕනා. මේ ගැසට් එක වෙනස් කරන්න අපි විරුද්ධ නෑ. ඔබතුමා කැමති නම් මේක අද අරගෙන ඉවර කරන්න පුළුවන්.

කථානායක- සභානායකතුමා මේ යෝජනාව එහෙනම් සභාවට ඉදිරිපත් කරන්න.

සභානායක- මම පළමු යෝජනාව ඉදිරිපත් කරනවා.

කථානායක- සභාව එකඟද? නෑ. සභාව එකඟ නොවූ නිසා මේ යෝජනාව සම්මත නොවූ බව සඳහන් කරනවා.

(සභාවේ ඝෝෂා)

කථානායක – එහෙනම් ඡන්දයකට යමු. තමන් කැමති විදිහට ඡන්දය භාවිතා කරන්න.

අනුරාධ ජයරත්න මහතා- මේ යෝජනාව ආණ්ඩුව ගෙනාපු එකක් නොවෙයි. වඩා සාධාරණයක් කරන්න තමයි මේ යෝජනාව සභාවට ගෙනාවේ.

ගෙවිඳු කුමාරතුංග මහතා- මේ ගැසට් නිවේදනයට කැබිනට් අනුමැතියක් නෑ. එහෙනම් ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මේක කරපු අයට එරෙහිව ගන්න පියවර මොනවාද?

විමල් වීරවංශ මහතා- දැන් මේ ගැසට් නිවේදනයට විරුද්ධව ආණ්ඩු පක්ෂයේ මෙතන සිටින සියලු දෙනාම ඡන්දය දුන්නා. එහෙනම් මේ යෝජනාව ගෙනාවේ මොන භූතයෙක්ද?
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment