කොමිසම දෙදරයි – ජනක යට කරගෙන විදුලි බිල 66% කින් නග්ගයි – කප්පාදුව නවතී

297

රු.අටට දුන් ඒකකය දැන් රු. 30ක්
ඒකක 90ට අඩු ගෙවල්වල විදුලි බිල 250%කින් නගී
ඒකක 31ත් 60 අතර ඒකකයක් රු.10 සිට රු. 37ට යයි
ඒකක 61-90 අතර ඒකකයක් රු. 16 සිට රු.42ට යයි
ඒකක 30 දක්වා අයගේ ස්ථාවර ගාස්තුව රු. 400ක් කෙරේ
ඒකක 31-60 අතර ස්ථාවර ගාස්තුව රු. 550ක් වෙයි
ඒකක 120ට වැඩියෙන් පාවිච්චි කරන අයගේ ගාස්තුවේ වෙනසක් නෑ
බිලියන 287ක් ජනතාවගේ ගෙල වට හිරවෙයි

මා ප්‍රතික්ෂේප කළ එකට අනිත් තිදෙනා පනතට පිටින් අනුමැතිය දුන්නා
– ජනක රත්නායක කියයි

ජනතාව මත විශාල බරක් පටවමින් විදුලිබල මණ්ඩලය සිදුකළ සියයට හැටහයකින් විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රතික්‍ෂේප කරද්දී එහි සෙසු සාමාජිකයන් තිදෙනා එයට අනුමැතිය ලබා දී තිබේ. නව ගාස්තු සංශෝධනය අද (16 වැනිදා) සිට ක්‍රියාත්මක කරන බවද සඳහන් වෙයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ සියයට 36 ක මිල ඉහළ දැමීමේ යෝජනාව ප්‍රතික්‍ෂේප කළ කොමිසමේ සාමාජිකයන් වන නීතිඥ චතුරිකා විජේසිංහ, ඩග්ලස් නානායක්කාර සහ එස්. ජී. සේනාරත්න යන මහත්ම මහත්මීන් විදුලිබල මණ්ඩලය යෝජනා කළ සියයට 66 ක ගාස්තු සංශෝධනයට එසේ අනුමැතිය ලබා දුන් බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලය ඒ අන්දමට ඉදිරිපත් කරනු ලැබුවේ වාර්ෂිකව රුපියල් බිලියන 287ක අමතර බරක් විදුලි පාරිභෝගිකයා මත පැටවෙන යෝජනාවක් බව ද සභාපතිවරයා පැවසීය.

එම යෝජනාව ලංකා විදුලිබල මණ්ඩල පනතේ සහ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදනවලට අනුව සමාලෝචනය කර සියලු පාර්ශ්වයන්ට නීත්‍යානුකූලව ගාස්තු සංශෝධනය පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාව ලබාදුන් බව ද සභාපතිවරයා පැවසීය.

ඒ අනුව මහජන උපයෝගිතා කොමිසමේ විදුලි ගාස්තු පිළිබඳ අංශය මගින් පුළුල් ලෙස අධ්‍යයනය කර නිර්දේශ කරන ලද ගාස්තු සංශෝධනය පෙරේදා (14 වැනිදා) තමන් ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරුණු බව ද කී සභාපතිවරයා තමන් එම ගාස්තු සංශෝධනයට අනුමැතිය ලබා දීමේදී කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා එම නීත්‍යානුකූල යෝජනාවට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩලය ගෙන ආ අධික ගාස්තු ක්‍රමය අනුමත කළ බව ද පැවසීය.

විදුලිබල මණ්ඩලය මගින් ගෙන ආ යෝජනාවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 288 ක පමණ බරක් පාරිභෝගිකයන් වෙත පටවා තිබුණ ද කොමිසම විසින් සකස් කරන ලද යෝජනාව මගින් ගාස්තු ඉහළ දැමීම සියයට 36 කින් අඩු කරමින් මණ්ඩලයේ අමතර ආදායම රුපියල් බිලියන 142 ක් දක්වා පහත හෙළනු ලැබූ බව ද සභාපතිවරයා කීවේය.

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ගාස්තු සංශෝධන යෝජනාව අනුව ගෘහස්ථ අංශයේ ඒකක 90 වඩා අඩුවෙන් පරිභෝජනය කරන පිරිස්වල විදුලිය ගාස්තුව සියයට 250කින් ඉහළ නැංවෙයි.

විදුලිබල මණ්ඩලය ගෙන ආ ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව මේ අන්දමට අනුමත කිරීම විදුලිබල මණ්ඩල පනතේ 30 වැනි වගන්තියට පටහැනි බව ද කී හෙතෙම කොමිසමේ සාමාජිකයන් තිදෙනා එවැනි නීති විරෝධී තීරණයක් ගනු ලැබුවේ දේශපාලන අධිකාරියේ සහ විදුලිබල මණ්ඩලයේ මෙන්ම විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ බලපෑම්වලට යටත්ව බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම නව සංශෝධනයට අනුව ගෘහස්ථ කාණ්ඩය යටතේ මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 8ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි වන අතර ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට අය කරන රුපියල් 10ක ගාස්තුව රුපියල් 37 දක්වා ඉහළ දැමේ.

එසේම ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි වේ.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව මෙන්ම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 75ක ගාස්තුව කිසිදු වෙනසක් සිදුකර නැත.

නව ගාස්තු සංශෝධනයට අනුව ස්ථාවර ගාස්තු ද ඉහළ යන අතර ඒ අනුව මුල් ඒකක 30 සඳහා ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 650 දක්වාත් ඉහළ දැමීමට නියමිතය.

එමෙන්ම ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වාත්, ඒකක 121 සිට 180 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වාත් වැඩි කෙරෙයි.

ආගමික ස්ථාන හා පුණ්‍යායතන, කර්මාන්ත අංශ, පොදු කාර්යයන්, හෝටල් සහ රාජ්‍ය ආයතන සඳහා අය කළ විදුලි ගාස්තු සහ ස්ථාවර ගාස්තු ද වැඩි කිරීමට ද නියමිතව ඇති අතර කර්මාන්ත අංශය සඳහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයකට අය කළ රුපියල් 20ක ගාස්තුව රුපියල් 26ක් දක්වා ඉහළ දමා ඇත.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment