ආගමික සංස්කෘතීන්ට නිගාදීම හා වරදට දඬුවම!

355

2015 වර්ෂයේ ජනවාරි 7 වන දින ප්‍රංශයේ වේලාවෙන් පෙ.ව. 11.30 ට පමණ, ඇල්ජීරියානු සම්භවයක් ඇති ප්‍රංශ මුස්ලිම් සහෝදරයන් දෙදෙනකු වන සායිඩ් කුආචේ සහ චෙරෙෆ් කුආචේ :(Said Kouachi and Cherif Kouachi) ප්‍රංශයේ පැරීසියේ පිහිටි උපහාසාත්මක සතිපතා පුවත්පතක් වන “චාලි හෙබ්ඩෝ” (Charlie Hebdo) පුවත්පත් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු විය. රයිෆල් සහ වෙනත් ආයුධවලින් සන්නද්ධ වූ ඔවුන් එහි කර්තෘ මණ්ඩලයේ සිටි 12 දෙනකු ඝාතනය කර තවත් 11 දෙනකුට තුවාල සිදු කළේය. තුවක්කුකරුවන් තමන් අරාබි අර්ධද්වීපයේ අල්කයිඩා ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමට අයත් බව හඳුන්වා දුන් අතර ප්‍රහාරයේ වගකීම භාර ගත්තේය. මෙම ප්‍රහාරයෙන් මියගිය අය වූයේ, කාටූන් ශිල්පී, තීරු ලිපි රචක හා ප්‍රකාශන අධ්‍යක්ෂ Stephane Charbonnier (47),, කාටූන් ශිල්පීන් වන Jean Cabut (76), Philippe Honore (73), Tignous (57), Wolinski (80), මූල්‍ය අධ්‍යක්ෂ Bernard Maris (68), සංස්කාරිකා සහ මනෝ විශ්ලේෂිකා Elsa Cayat (54), (ඇය වෙඩි වැදීමෙන් මියගිය එකම කාන්තාව), පිටපත් සංස්කාරක Mustapha Ourrd (60), නඩත්තු සේවක Frederic Boisseau, ආරක්ෂක සේවා පොලිස් නිලධාරී Fredric Brinsolaro (49), Michel Renaud (42) ඔහු සංචාරක ලේඛකයෙක් හා උත්සව සංවිධායකවරයෙකි, Ahmed Merabet (42) පිටත සිටි පොලිස් නිලධාරි. පලාගිය සැකකරුවන් දෙදෙනා ජනවාරි 9 දා ප්‍රංශ පොලිසිය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ඝාතනය විය.

“චාලි හෙබ්ඩෝ” යනු කාටූන්, වාර්තා, විහිළු, විශේෂාංග ආදිය ප්‍රකාශයට පත්කරන හා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් නොකළ යුතු සමහර දේවල් දැඩි ලෙස ප්‍රකාශයට පත් කිරීම ද තම අරමුණු කරගත් සතිපතා පුවත්පතකි. කතෝලික, ඉස්ලාම්, යුදෙව් ආගම්, සමාජයේ කැපී පෙනෙන ප්‍රසිද්ධ පුද්ගලයන්, රාජ්‍ය නායකයන් විවේචනය කිරීම සහ දේශපාලනය, රටක සංස්කෘතියන් විවේචනය කිරීම ද ඔවුන්ගේ අරමුණය.

1960 දී මහාචාර්ය කෝරන් බර්හියර් සහ ෆ්රාන් කොයිස් කුවානා විසින් “හරා – කිරි” Hara – Kiri නමැති මාසික සඟරාවක් පටන් ගත්තේය. 1961 දී එය තහනම් කරන ලදි. පසුව නැවත පටන්ගත් එය 1966 දීත් හය මාසයකට තහනම් කරන ලදි. ප්‍රංශයේ හිටපු ජනාධිපති චාල්ස් ඩිගෝල්ගේ මරණය සමච්චලයට ලක්කිරීම හේතුවෙන් “හරා-කිරි” මාසික සඟරාව තහනම් කළේය. 1970 නොවැම්බරයේදී පුද්ගලයන් 146 දෙනකුට මරු කැඳවූ ක්ලබ් සින්ක් නම් රාත්‍රී සමාජශාලාවේ ගින්නෙන් දින 8 කට පසුව ප්‍රංශයේ හිටපු ජනාධිපති ඩිගෝල් ඔහුගේ උපන් ගම්මානය වන කොලොම්බේ – ලෙස් ඩියුක්ස් එග්ලිසස්හිදී මිය ගියේය. මෙය පිළිබඳව පළවූ පුවත්පත් වාර්තා ආවරණ වංචා කරමින් සඟරාව කවරයක් නිකුත් කළ අතර එහි සිරස්තලය “කොලොම්බේ ඛේදවාචකයක් එක් අයෙක් මියගියේය” යනුවෙන් ප්‍රකාශයට පත් කළේය.

තහනමෙන් පසුව ,Hara – Kiri Hebdo, නමින් එය ආරම්භ කළේය. ඉන් පසුව එය “L’Hebdo Hara-Kiri” ලෙස නම් කළේය. නව “චාලි හෙබ්ඩෝ” ප්‍රකාශනය ආරම්භ වූයේ 1992 ජුලි මාසයේදීය. පළමු කලාපයේ පිටපත් 100,000 ක් අලෙවි විය. 2000 වර්ෂයේදී එහි මාධ්‍යවේදිනියක් වන Mona Chollet “පලස්තීනුවන් ශිෂ්ට නොවන” ලෙස Philipeval ලියූ ලිපියකට විරෝධය දැක්වීම නිසා ඇයව සේවයෙන් පහකරන ලදී. 2008 දී ප්‍රවීන කාටූන් ශිල්පී සිනේගේ කාටූනයක් සම්බන්ධයෙන් මතභේද ඇති වූ අතර යුදෙව් විරෝධී චෝදනාවලට සිනේ නෙරපා හැරි අතර සිනේ පුවත්පතට විරුද්ධව නඩු පැවරූ අතර යුරෝ 90,000 ක වන්දියක් ගෙවීමට පුවත්පතට සිදු විය.

2006 පෙබරවාරි මාසයේ 9 දා ප්‍රකාශනයේ මුහම්මද් නබිනායක තුමාගේ කාටූන් පළ කළේය. ඒවා එතුමාට කරන ලද අපහාසාත්මක කාටූන් 12 කින් සමන්විත විය. එයට ප්‍රතිචාර වශයෙන් ප්‍රංශ ජනාධිපති ‘ජැක් චිරාක්’ ප්‍රකාශික කෝපකිරීම් හෙළා දුටුවේය. “වෙනත් කෙනකුගේ විශ්වාසයන්ට හානි කළ හැකි ඕනෑම දෙයක්, විශේෂයෙන් ආගමික විශ්වාසයන් උපහාසයට ලක්කිරීම සිනහවට ලක් කිරීම වළක්වා ගත යුතුය” යි ඔහු ප්‍රකාශ කළේය.

2007 දී පැරිසිරියේ මහා මුස්ලිම් පල්ලිය ඔවුන්ගේ ආගමික නායකයාට සහ අදහන්නන්ට ප්‍රසිද්ධියේ අපහාස කිරීම පිළිබඳව ප්‍රංශයේ වෛරී කථන නීතිය (France’s Hate Speech laws) යටතේ මෙම පුවත්පතට විරුද්ධව නඩු දැම්මේ පුවත්පතේ පළවූ කාටූන් චිත්‍ර සම්බන්ධයෙනි. නඩු විභාගය පුවත්පතේ පළවූ නිශ්චිත කාටූන් තුනකට එය සීමා වූ අතර මුහම්මද් නබිනායක තුමාගේ හිස්වැස්මේ බෝම්බයක් රැගෙන යන කෙනකු ලෙස ඇඳ තිබූ කාටූනයෙන් ඔවුන් සමච්චලයට ලක්කර ඇත්තේ මුස්ලිම් මූලධර්මවාදීන් බව නඩු විභාගයේදී අනාවරණය විය. 2006 පෙබරවාරි 9 දා පළ කළ ප්‍රකාශනය මතභේදයට තුඩුදී ඇත. එහි මුල් පිටුව (“Mahome de borde Par les Integristes) – ප්‍රංශ භාෂාවෙනි) “මූලධර්මවාදීන් මුහම්මද්ව යටපත් කර ඇත” මාතෘකාව යටතේ “මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්තුමාගේ” කාටූනයක් පළ කළේය. එය එතුමාට ඉතාමත් අපහාස වන ආකාරයෙන් පළකර තිබිණි. 2007 දී නඩු පැවරුවේ මේ සම්බන්ධයෙනි. නඩුවේදී පැරිස් මහ පල්ලියේ සහායට මුස්ලිම් ලෝක ලීගය, ප්‍රංශ ඉස්ලාම් සංවිධානය UOIF පැමිණියේය.

2007 පෙබරවාරියේදී උසාවියට පැමිණි සඟරා ප්‍රකාශක පිලිප් විල් (Philipe Vill) ප්‍රකාශ කළේ “විහිළුවක් තේරුම් ගැනීමට නොහැකි යැයි සිතීම භීතියක්” කියාය. එහෙත් මහ පල්ලියේ නීතිඥ ෆ්රැන්සිස් ෂිපීර්, එම විකට රූප මුස්ලිම් සහ මුස්ලිම් ත්‍රස්තවාදීන් අතර සම්බන්ධයක් ඇති අතර එය නම් කිරීමේදී වර්ගවාදය නමින් හඳුන්වන බව ද කීවේය. 2007 මාර්තු 22 දින ප්‍රකාශකට උසාවිය මගින් නිදහස ලැබිණ. උසාවිය කීවේ කාටූන් තුනෙන් දෙකෙක් මුස්ලිම් ඉස්ලාම් ප්‍රහාරයක් නොව මුස්ලිම් වර්ගවාදය ගැන බවය.

2011 නොවැම්බරයේදී චාලි හෙබ්ඩෝ කාර්යාලයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ඉන් ඔවුන්ගේ වෙබ් අඩවියේ සංස්කාරක මැදිරි සහ පරිගණක බොහෝ විනාශ විය. 2012 සැප්තැම්බරයේදී පුවත්පත මුහම්මද්තුමාගේ කාටූන් මාලාවක් විකට රූප මගින් ප්‍රකාශයට පත් කළේය. මෙයට එරෙහිව මුස්ලිම් රටවල් 20 ක් පමණ තම රටවල තිබූ ප්‍රංශ තානාපති කාර්යාල, ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථාන සහ ජාත්‍යන්තර පාසල් වසා දැම්මේය. මේ අතර ප්‍රංශයේ කැරලි මර්දන පොලිසිය චාලි හෙබ්ඩෝ කාර්යාලයට ආරක්ෂාව ලබාදුනි.

විවිධ ආගමික මතවාද දේශපාලනික සංස්කෘතික කරුණු සාකච්ඡා කළ ද එම සඟරාව ප්‍රමුඛත්වය ලබා දෙන්නේ කාටූන් වලටය. කිසිදු පුද්ගලයකුට හෝ ආගමික නායකයකුට ගෞරව නොදැක්වීම එම සඟරාවේ සාමාන්‍ය සම්ප්‍රදායයි. විශේෂයෙන් සිය පුවත්පතේ ජනප්‍රියත්වය උදෙසා ආගමික ශාස්තෘවරුන්ට අපහාස කරන්නා වූ කාටූන් පළකිරීම ඔවුන් නිරතුරුවම සිදුකරයි. චාලි හෙබ්ඩෝ පුවත්පත නිතර නිතරම මුහම්මද්තුමා ගැන පළකරන ලද කාටූන් ශිෂ්ඨ සමාජය පිළිකුල් කරයි. ඔවුන්ගේ එම අසික්කිත ගණයේ කාටූන් තවත් රටක ජාතික පුවත්පතක හෝ උපුටා පළකිරීමටවත් නොහැකිය. ඒ කාටූන් ගැන වචනවලින්වත් විග්‍රහ කිරීමටවත් බැරි තරමට ඒවා ඉතාමත් ජුගුප්සාජනකය. ලොවම පිළිගත් ශෘස්තෘවරයකුට මෙවැනි කාටූන් ඇඳීම ශිෂ්ට සමාජය කිසිසේත්ම අනුමත කරන්නේ ද නැත.

චාලි හෙබ්ඩෝ පුවත්පතේ විවේචන හා විචාර අතිශය කර්කශ වන අතර දැඩි අපහාසයෙන් සමන්විතය. බොහෝ ප්‍රංශ වැසියෝ මේ සඟරාව පිළිබඳව දක්වන්නේ අප්‍රසන්න හැඟීමකි. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව චාලි හෙබ්ඩෝ පුවත්පත් මුස්ලිම් කාන්තාවන් පීඩනයට පත්වන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, හිජාබය අනිවාර්ය කිරීම, නිදහස, බලහත්කාර විවාහ සහ පහරදීම වැනි ක්‍රියාවන් විවේචනය කරමින් ඔවුන් කාටූන් පළ කළේය. එමෙන්ම ගල්ගසා මැරීම, කස පහරදීම, බෙල්ල කැපීම, බහු විවාහයන් වැනි දේ පුවත්පත විවේචනය කළේය. ඉස්ලාම් ප්‍රජාවන්ගේ හඬට අනුකම්පා කිරීම සමග සාධාරණකාමී හඬක් ලෙස මෙය පුවත්පත පෙන්වා දුන්නේය. එහෙත් ඔවුන්ගේ ලිපි හා කාටූන් මුස්ලිම් ප්‍රජාවගේ මෙන්ම වෙනත් වෙනත් ආගමික කණ්ඩායම්වල ද අප්‍රසාදයට භාජනය විය.

ඉන්දියාවේ “මින්ට්” (Mint) පුවත්පත චාලි හෙබ්ඩෝහි පිටපත්වල ඡායාරූප ඔවුන්ගේ කවරයේ පළ කළ නමුත් පාඨකයන්ගේ දෝෂාරෝපණ ලැබීම නිසා සමාව අයැද සිටියේය. “හින්දු” පුවත්පත ද චාලි හෙබ්ඩෝහි පිටපත් අතැතිව සිටින ඇතැම් පුද්ගලයන්ගේ ඡායාරූප පුවත්පතේ පළ කිරීමෙන් පසු පැමිණි විරෝධතා නිසා සමාව අයැද සිටියේය. තුර්කියේ Yeni Akit පුවත්පත “මුස්ලිම්වරුන් කුපිත කළ පුවත්පතට ප්‍රහාරයක්” යනුවෙන් ලිපි පළ කළේය. Turkye පුවත්පත “අපගේ නබිතුමාට අපහාස කළ පුවත්පතට ප්‍රහාරයක්” නමින් ලිපි පළ කළේය. ඇෆ්ගනිස්ථානය මෙම ප්‍රහාරය හැඳින්වූයේ “අගෞරවනීය කාටූන් සඳහා දඬුවම්” නමිනි.

චාලි හෙබ්ඩෝ මුහම්මද් නබිනායකතුමාගේ මතභේදාත්මක කාටූන් නිරූපණ සඳහා ලෝව පුරා පිළිකුලට භාජනය වූ පුවත්පතක් විය. ඉස්ලාමීය නායකයන් මෙන්ම මුහම්මද්තුමා ගැන ද විහිළු කළ චාලි හෙබ්ඩෝගේ කාටූන් කෙරෙහි ඇති වෛරය මෙම සංහාරයේ ප්‍රධාන චේතනාව ලෙස සැලකේ. මෙම ප්‍රහාරය ආගමික නායකයාට අපහාස කළ මාධ්‍ය ආයතනය වසා දැමීමට කරන ලද උත්සාහයක් ලෙස ද සැලකේ. චාලි හෙබ්ඩෝ පුවත්පතට එල්ල වූ ත්‍රස්තවාදී ක්‍රියාව ද සාමකාමී ලොවක් පතන ජනතාව අනුමත කරන්නේ නැත. ඒ සමගම ලෝකයේ ජනාදරයට පත් වී ඇති ආගමික නායකයකුට කාටූන් මගින් ඉතාමත් අපහාසාත්මක ලෙස පෙන්වා දීම ද කිසිවෙක් අනුමත කරන්නේ ද නැත. චාලි හෙබ්ඩෝ කර්තෘ මණ්ඩලයට තම ජීවිත මගින් වන්දි ගෙවීමට සිදුවූයේ ඔවුන්ගේ එම අපහාසාත්මක ක්‍රියාව නිසාය.
රුවන් තරස්වින්

advertistmentadvertistment
advertistmentadvertistment