මාලිගාවත්ත වටරවුමේ අශ්වයා.. ඊළඟ වටරවුමේ උකුස්සා …

දෙදෙනාම සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ උගත්තු

එකලස් කිරීමේ කලාවේ පුරෝගාමියා ස්පාඤ්ඤ ජාතික චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ

ලංකාවේ කතාබහක් ඇති වන්නේ වටරවුම් දෙකේ නිර්මාණ නිසා

හැඩතල එක එක විදිහට මැවිය හැකිය. සැකසිය හැකිය. මලක පෙත්තක් වුවද හැඩ තලයකි. එතරම්ම සියුම් නොවූවද පරිකල්පිත මනස මැවිමේ කලාව ආරම්භක ස්ථානය ලෙස සැලකිය හැකිය. එතැනින් මැවෙන්නේ මිනිසාගේ මනෝභාවයන්හි උපදින නිර්මාණයන්ය.

වටරවුම් දෙකක් නිසා අද අප හැඩතල මැවීම් ගැන කතා කරන්නට මුල පුරමු. හැඩතල එක්කාසු කොට එකලස් කිරිමේ කලාවක් අපට දැනෙන්නට මවා ඇත්තේ , තරුණයින් දෙදෙනෙකි. ඒ ප්‍රගීත් මනෝහන්ස සහ භාෂිත් රණවීරය.

ප්‍රගීත් ලෝහ කොටස් එකතු කර මාලිගාවත්ත වටරවුමේ ලෝහ අශ්වයෙක් නිමවා තිබේ. මත්තල ගුවන් තොටුපොළ ඉදිරිපිට නිර්මාණය කර ඇති අති විශාල ප්‍රමාණයේ මොණරා ද ප්‍රගීත් ගේ නිමැවුමකි.

මාලිගාවත්ත වට රවුම පසු කර කොටහේන දෙසට යනවිට හමුවන ඊ ළඟ වට රවුටමේ හමු වන්නේ විශාල උකුස්සෙකි. ඒ කෘතියේ නිර්මාණකරුවා භාෂිත් රණවීරය.

ඇඹීම හා හෑරීම ….

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් දෙදෙනකු වන ප්‍රගීත් සහ භාෂිත් ගේ මෙම නිර්මාණ ඔස්සේ’ අපේ රටේ එකලස් කලාව කලඑළි බසින ලද්දේය. ලංකාවේ එකලස් කිරීමේ කලාව පිළිබඳව කතාබහ ඇරඹෙන්නේ ද මේ හරහාය.

එකලස් කිරීමේ කලාවේ පුරෝගාමීයා ලෙස සැලකෙන්නේ ස්පාඤ්ඤ ජාතික චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝය. 1942 බයිසිකල් සීට් එකක් හා බයිසිකල් හැඬලයක් එකලස් කරමින් නිර්මාණය කළ බුල්ස් හෙඩ් කෘතිය ලෝකයේ මූර්ති නිර්මාණ ශිල්පීන්ට මූර්ති ශිල්පය පිළිබඳව අලුතින් හිතන්නට මංපෙත් විවිර කළේය. මූර්ති ශිල්පයේදී භාවිත කරන මූලික මාවත් දෙක සේ පිළිගැනුණේ කාවින්ස් හා මොඩ්ලින්ය. නැත්නම් හාරා මතු කිරීම හා ඇඹීමය.

එකලස් කලාවේ දියුණුව සඳහා කාර්මික විප්ලවයත් සමග සොබාදහමේ හැඩතලවලින් වියුක්ත වූ නව හැඩතල ලෝකයට බිහි වීම ද හේතු වී තිබේ. යන්ත්‍ර සූත්‍ර සඳහා මිනිසා නිර්මාණය කළ දැති රෝද, ලීවර හා යන්ත්‍ර සූත්‍රවල හැඩයන් බොහෝමයක් සොබා දහමින් වියුක්ත වූ එවැනි හැඩතලයන්ය.

ලෝකයේ එකලස් කලාකෘතිවලට හොඳ තැනක්..

එකලස් කිරීමේ කලාව, කලාවක් ලෙස මතුකරමින් ඒ ගැන කතිකාවක් ඇති කළ ප්‍රගීත් , මේ ගැන කතා කරන්නේ මෙලෙසය.

මගේ තාත්තා චිත්‍ර ගුරුවරයෙක්. එයා 9 වසරේ පොතේ පාඩම කරනකොට පිකාසෝගේ බුල්ස් හෙඩ් ගැන දවසක් කියලා දුන්නා. එක මගේ හිතේ තැන්පත් වෙලා තිබුණා. මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට තමයි ආයෙත් බුල්ස් හෙඩ් ගැන අදහස මගේ ඔළුවට ආවේ. විශ්වවිද්‍යාලයේ හැම පැවරුමක් සඳහාම මම මේ විදිහේ එකලස් කිරීමේ නිර්මාණ කළා. පැවරුමක් දුන්නාම අහළ පහළ තියෙන යකඩ එක් කරලා නිර්මාණ කළා. වඩු වැඩ, මැටි වැඩ, යකඩ වැඩ වගේ දේවල් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවට පදනම් ඉගැන්වීම් ලෙස ඇතුළත්ව තිබුණාට, යකඩ එකලස් කරලා මේ වගේ නිර්මාණ කිරීම ගැන විශ්වවිද්‍යාලයේ ඉගැන්නුවේ නෑ. මම ඇත්තටම මගේ නිබන්ධනය කළෙත් එසෙම්බල් ආර්ට් නැත්නම් මේ එකලස් කිරීමේ කලාව ගැන. රාමුවෙන් පිට මම වැඩ කරලා තිබුණේ. විශ්වවිද්‍යාලයේ එකලස් කිරීමේ කලාව විෂයක් ලෙස උගන්වන්නේ නෑ. ඒත් නිර්මාණයක් කිරීමේදී තමන්ට කැමති ආකාරයේ අමුද්‍රව්‍ය යොදාගෙන එය කරන්න නිදහස තියෙනවා. ඒ නිසා මට රාමුවෙන් පිට වැඩ කරන්න හැකියාව ලැබුණා. මේක මේ වෙනකොට ලෝකයේ ප්‍රචලිත කලාවක් නිසා මගේ ඒවා කලා කෘතියක් නොවෙයි කියලා බැහැර කරන්න බැරි වෙන්න ඇති. පිකාසෝගෙන් පටන් අරන් විවිධ රටවල, විවිධ කලාකරුවෝ මේ කලාව දියුණු තලයකට අරන් ඇවිල්ලා තියෙනවා. උද්‍යාන මූර්ති විදිහට නිර්මාණ කළ දැවැන්ත එකලස් කලා කෘති ලෝකයේ තියෙනවා.

දුණු කොල ටොන් විසිහතක් …..

මාලිගාවත්තේ අශ්වයා නිර්මාණය කළේ මම. මත්තල මොණරා නිර්මාණය කරන්න මට දුනුකොල ටොන් විසි හතක් ගියා.

චිත්‍රයක් අඳින, මූර්තියක් අඹනකොට ශිල්පියාගේ අතට හසු වෙන්නේ සුමට දේවල්ය. පින්සල, තීන්ත, මැටි මේ හැම දෙයක්ම සෞම්‍යයය. එත් එකලස් කිරීමේ නිර්මාණයක් සිදු කිරීම ඉතාම කර්කෂ අත්දැකීමක් වීම නොවැලැක්විය හැකිය. නිර්මාණයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස විවිධ හැඩවල යකඩ සපයා ගත යුතුය. ඒවා සොයා තෝරාගැනීම සඳහා යකඩ ගොඩවල නැඟිය යුතුය. පෑස්සීමේදී එන ආර්ථ එක දරා ගතයුතුය, ඇතැම් සමහර යකඩ කපන්නට අවශ්‍යය. පෑස්සිය නොහැකි ලෝහ සඳහා වෙනත් විකල්ප සෙවිය යුතුය. නිර්මාණය කර හමාර වන තුරු විඳින්න තියෙන්නේ ඒ වගේ අත්දැකීම් පරම්පරාවකි. සියලු කර්කෂ අත්දැකීම් විඳගෙන නිර්මාණය කිරීම සඳහා සිත යොමු කරන්නේ විශිෂ්ට කෘතියක් කිරීම පිළිබඳ වුවමනාව හා අපේක්ෂාවය.

උකුස්සාගේ හිමිකරු

උකුස්සා තවත් එකලස් කළ කලා නිර්මාණයකි. වාහන ප්ලග්වලින් නිර්මාණය කර ඇති උකුස්සා නිමැවූ භාෂිත් ඔහුගේ ප්‍රවිෂ්ටය ගැන කියා සිටියේ මෙලෙසය.

“මගේ අත්දැකීම් අනුව මේ කලාව තේරුම් ගන්න පුළුවන් අය ලංකාවේ අඩුයි. ලංකාවේ විවිධ ශීල්පීන් විවිධ මට්ටමින් එකලස් කිරීමේ කලාව කරලා තිබුණා. ඒ වුණත් ලංකාවේ මිනිසුන්ට දැනෙන්න ඉස්සල්ලාම වැඩක් කළේ ප්‍රගීත් මනෝහන්ස. ඔහු මාලිගාවත්තේ වටරවුම සඳහා නිර්මාණය කරපු යකඩ අශ්වයා සහ මත්තල ගුවන්තොටුපොළ ඉදිරිපිට නිර්මාණ කරපු මොණරා නිසා තමයි ලංකාවේ මිනිසුන්ට මේ කලාව ඇස ගැටුණේ. ඔහුගේ නිර්මාණ දැකලා තමයි මමත් මේ කලාවට ආකර්ෂණය වුණේ. එතකොට මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගන්නවා. පස්සේ කාලෙක මාලිගාවත්තේ වටරවුමට එහා වටරවුමේ ප්ලග්වලින් උකුස්සෙක් නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා.

නිර්මාණවලට යෙදුවේ අලුත්ම නට්

වට රවුම් දෙකකින් මැවුණු නිමැවුම්කරුවන් දෙදෙනෙක්

මම හදපු බුදු පිළිමය ගොඩාක් ඇගයීමට ලක් වුණු නිර්මාණයක්. ඒ නිර්මාණයට නට් කිලෝ 23ක් විතර ගියා. පංචිකාවත්තෙන් අලුත්ම නට් තමයි මම කිලෝ ගාණට ගත්තේ.
දවසක් මම වැඩක් කර කර ඉන්නකොට මගේ යාළුවෙක් ඇවිල්ලා එතැන තිබුණ සයිස් තුනක එකක් උඩ එකක් හිටින විදිහට තියලා තිබුණා. ඒකෙන් මම බුදු හාමුදුරුවන්ගේ අක්බමරු කොණ්ඩයේ ස්වභාවය දැක්කා. ඒ වෙලාවේ තමයි මේ බුදු පිළිමය ගැන අදහස මට පහළ වුණේ. එකලස් කිරීමේ කලා කෘති නිර්මාණයක් කිරීම ඉතා දුෂ්කර ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. අපි වෘත්තීයමය පෑස්සුම්කරුවෝ නොමෙයි. ඒ නිසා පාස්සන්න ගියාම සෑහෙන්න ප්‍රශන එනවා. ඒ නිසා මේ කලාවේ රැඳලා ඉන්න කැමති පිරිස අඩුයි. මගෙත් එක්ක විශ්වවිද්‍යාලයෙන් 19 දෙනෙක් අවුට් වුණා. ඒ අයගෙන් එකලස් කිරීමේ කලාව කරන්නේ මමත් තව දෙන්නෙකුත් විතරයි. මට විශ්වවිද්‍යාලයේ දී සංජය ගී කියනගේ හම්බ වුණා. දෙවනියට ප්‍රගීත් මනෝහන්ස. ඊට අමතරව ජාත්‍යන්තර තලයේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇසුරු කරනවා.

මගේ අම්මා චිත්‍ර ඇඳලා තියෙනවා. තාත්තා කලාවට සම්බන්ධ නෑ. නමුත් මගේ මනසේ මනඃකල්පිත රූප මැවෙනවා. මම නිර්මාණය කරන්නේ ඒවා.

යුරෝපයේ ඉල්ලුම

මේ නිර්මාණ සඳහා පිළිගැනීම තියෙන්නේ යුරෝපය හා ඇමරිකාව වගේ රටවලයි. එකලස් කලාව කියන්නේ මිල අධික නිර්මාණ විශේෂයක්. ඇතැම්විට පන්සලක හදන බුදු පිළිමයකට කෝටි ගාණක වියදමක් යන්න පුළුවන්. සමහරවිට මේ එකලස් කිරීමේ කලා නිර්මාණයකට ඊටත් වැඩිය වැය වෙන්න පුළුවන්. ලංකාවේ මේ නිර්මාණවලට පිළිගැනීමක නැත්තේ ඒ මිල අධිකකම නිසායි. කලා කෘතියක ගැනුම්කරුවෝ වෙන්න හොඳ රසිකත්වයක් තියෙන අය ඉන්න එපැයි. ලංකාවේ කොළඹ අවට සිටින ධනවත් අය අතර ඒ රසිකත්වය, කලා කෘති ගැන ඥානය වර්ධනය වෙලා තියෙනවා. ඒත් ඒ පිරිස අල්පයයි.”

උද්‍යානවලත්, ගෘහ අලංකරණය සඳහාත්, කලා ගාරවලත් දකින්නට ලැබෙන එකලස් කළ කලා කෘති විකිනෙන්නේ ඉහළ මිල ගණන්වලටය. භාෂිත් රණවීර පවසන්නේ මේ කෘතින් සඳහා ඉහළ මිලක් ලබා දෙන්නටත් වාණිජ කලාවක් ලෙස ප්‍රචලිත කරන්නටත් මූලික වී තිබෙන්නේ ප්‍රගීත් මනෝහන්සය. ඉන්දියාව, තායිලන්තය, මාලදිවයින, ඔස්ටේ්‍රලියාව, එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක ප්‍රගීත් මනෝහන්ස ප්‍රදර්ශන පවත්වා තිබේ. ඒ බොහෝ අවස්ථාවල ඔහුගේ නිර්මාණ ඉතා ඉහළ මිල ගනණ්වලට අලෙවි වී ඇත. එකලස් කලා කෘතියක වටිනාකම ගැන ප්‍රගීත් මනෝහන්ස දරන්නේ අපූරු අදහසකි.

වටිනාකමක් ඇති නිර්මාණයක් නම්,…

වටිනාකම තියෙන්නේ මෙටීරියල් එකේ නෙමේ. නිර්මාණවල ලොකු, පොඩි කියලා මිල තීරණය කරන්නත් බෑ. එය තීරණය වන්නේ නිර්මාණකරුගේ නිර්මාණාත්මක වෙහෙස හා කුසලතාව මත. ඒ අනුව සමහර කෘතියක් මිල කරන්න බැරි වෙන්නත් පුළුවන්. මම නිර්මාණය කරලා විකුණපු ඇතැම් නිර්මාණ තියා ගන්න තිබුණා නම් කියලා හිතුණ වෙලාවල් තියෙනවා. යම් ආර්ථික පසුබිමක් හදා ගන්නකම් මම වැඩ කරලා කෘතීන් විකුණනවා. ඊට පස්සේ නිර්මාණය කරන කෘතීන් මම විකුණන්නේ නෑ. තියා ගන්නවා. එකලස් කලාව ලංකාවේ ප්‍රචලිත කරන්න හෝ එහි මූලිකයා වෙන්න මට වුවමණාවක් තිබුණෙත් නෑ. ලංකාවේ පෙරලියක් කරන්න වුවමණාවක් තිබුණේත් නෑ. මම වැඩ කළා. තවමත් වැඩ කරගෙන යනවා. සමාජයෙන් මට ලැබෙන්න දෙයක් තියෙනවා නම් එදාට ඒක මට හම්බ වෙයි. ඒ හැරෙන්න හීනයක් හෝ ලොකු බලාපොරොත්තුවක් නෑ.

මූණක් හැදුවට ඒක නිර්මාණයක් වෙන්නේ නෑ. ඒ මූණේ හැඟීම් ප්‍රකාශනය එළියට මතු කරන්න ඕනෑ. බැලූ බැල්මටම නිර්මාණය පේන්න ඕනෑ. මෙටීරියල් එක එහෙමත් නැතිනම් නිර්මාණයට යොදා ගන්නා අමුද්‍රව්‍ය පේන්න ගත්තොත් නිර්මාණකරුවා ෆේල්. හරකෙක් හැදුවා නම් ඉස්සල්ලා හරකව තමයි පේන්න ඕනෑ. ඒක හදලා තිබෙන ද්‍රව්‍ය මුලින් පෙනිලා ඊට පස්සේ හරකාගේ රූපය පේන්න බෑ. ඒක තමයි එකලස් කෘතියක මූලික හරය.”

ප්‍රගීත් සහ භාෂිත් මූලික හරය ආරක්ෂා කරමින් නිර්මාණ බිහි කර ඇති බව අපි අත්විදිමු. ඊට හොඳම සාක්ෂිය අපේ දෑසය. මෙවන් කලාකරුවන් රැක ගැනීම ජාතියේ වගකීමක් වන්නේ මොවුන් ලෝකය සමග ගනුදෙනුවකට කියාපු මොළකරුවන් වීමය. ආර්ථික විශේෂඥයින් පුන පුනා කියා සිටින්නේ දේශීය නිෂ්පාදන ලෝකයට විකුණා ඩොලර් උපයා රට ණය බරින් නිදහස් කරමු කියාය. ඒ මේ මොළවලින් බිහි වන නිර්මාණ,මිස පතෝල වට්ටක්කා නොවේය. ලෝකයට මේ නිෂ්පාදන විකුණන්නට නම් මේ රටේ’ පාලකයින්ට ඥානය තිබිය යුතුය. තමන්ගේ රටේ නිර්මාණකරුවන්ට කොන්ද කෙලින් තියාගෙන නිදහසේ නිර්මාණ බිහිකරන්නටත් ලෝකය පුරා ඒවා ප්‍රචලිත කරන්නටත් අවශ්‍ය පරිසරය ගොඩනඟන්නටත් උවමනාව තිබිය යුතුය. රට දියුණු වන්නේ එවිටය.

තව තවත් නිර්මාණ බිහිකරන්න… කලාව කිසිදා නොනැසෙයි… ලෝකයෙන් ඇගයිම් ලැබෙන්නට වාසනාවක් ඇති ඔබ දෙපළට ලොව හිනි පෙත්තටම යා හැකි වනු ඇත.

සමන්තී වීරසේකර
විශේෂ ස්තුතිය – ප්‍රියන්ජිත්
ආලෝකබණ්ඩාර මහතාට

advertistmentadvertistment
advertistmentadvertistment