අවුරුද්දට සාප්පු සවාරි ගොස් සාම්බු ගැසීම

සුපිරි කඩවලින් බඩු උස්සන ගෑණු පිරිමි වැහි වැහැලා

ආර්ථික අහේනිය නිසා පමණක් නොව වාහන තදබදය, දැඩි අව් රස්නය, අධික උෂ්ණත්වය මෙන්ම සහරාන් බිය වැනි විවිධ හේතු නිසා බොහෝ අය මේ උත්සව සමයේ ඇඳුම් ආයිත්තම් හෝ වෙනත් බඩු බාහිරාදිය මිලට ගැනීමට නගරයට ඒමට මඳක් මැළිකමක් දක්වයි. එහෙත් තොග වෙළෙන්දා ඒ අඩුව පුරවමින් කොළඹ පිටකොටුවට, මහරගම පමුණුවට, කිරිබත්ගොඩට, නුවරට හා තවත් එවන් ප්‍රධාන ආර්ථික නගරවලට පැමිණ බඩු තොග මිලදී ගෙන තම ගමට ගොස් ඒවා සිල්ලරට විකිණීමට ප්‍රවණතාවක් දක්වන බව අපට පෙනේ.

සාමන්‍ය පාරිභෝගිකයන්, සිල්ලර වෙළෙන්දන්, තොග වෙළෙන්දන් හැරුණුවිට බජාර් එකට හෙවත් අවුරුදු වෙළෙඳපොළට . සුපරි වෙළෙඳ සල්වලට . සාප්පුවලට . තොග හා සිල්ලර වෙළෙඳසලට . ග්‍රොසරියට . කඩපිලට හා සතිපොළට බහින තවත් කණ්ඩායම් කීපයක්ම සිටී. ඔවුන් ද බජාර් එකට බහින්නේ පාරිභෝගිකයාගේ වෙසිනි. සාම්බුකාරයා, අල්ලෙ වාසි ගහන්නා, ලිස්ට් දමන්නා වශයෙන් කඩසාප්පු හිමියන්, පොලිසියේ මහත්වරුන් මෙන්ම වීීදියේ, බජාර් එකේ ජීවත් වන්නන් විසින් මොවුන්ව හඳුන්වනු ලබයි.

තාක්ෂණය දියුණු මේ කාලයේ මොනතරම් නවීන ස්වයංක්‍රීය CCTV කැමරා, පරිගණක කේත බාර් කෝඩ් තිබුණ ද ඒ සියල්ල මඟ හැර තම රාජකාරිය කර ගැනීමට මුන්ට ඇත්තේ පුදුම හැකියාවකි. ඇස් කුලීකාරයන්ව ද ඔවුන් තකන්නේ නැත.

ඇස් කුලීකාරයා

ඇස් කුලීකාරයා යනු, කාටවත් නොදැනී කාටවත් අසුනොවන ලෙස සෙනඟ අතර ගැවසෙමින් සියල්ල නිරීක්ෂණය කරන්නායි. මෙවැනි ඇස් කුලීකාරයන්ට ද මේ උත්සව සමයේ හොඳ ඉල්ලුමක් ඇත. ඔවුන්ගේ රාජකාරිය වන්නේ සාප්පුව හෝ වෙළෙඳසල තුළ හෝ ඒ අවට රැඳෙමින් සාප්පුවට යන එන පාරිභෝගිකයන්ගේ ක්‍රියාකලාපය දෙස විමසිල්ලෙන් බලා සිට යම් අවර වැඩක්, සොරකමක් කරන්නේ නම් වහාම ඒ බව ආරක්ෂක නිලධාරියාට හෝ පාලක පක්ෂයට දැනුම් දීමයි. ඒ සඳහා ඔවුනට කෑම බීම සහිතව දිනකට හොඳ ගාණක් ගෙවනු ලබයි. නමුත් මොන තරම් දක්ෂ, මොනතරම් ආවේක්ෂණශීලි ඇස් කුලීකාරයන් සිටිය ද ඒ සැමගේ ඇස් වසා ගේම ගහන්නට බහුතරයක් සාම්බුකාරයන් අතිදක්ෂය.

සාම්බුවා

සාම්බුවා හෙවත් සාම්බුකාරයෝ ලෙස වෙළෙඳ ව්‍යාපාරික සමාජයේ හැඳින්වෙන, මේ මගඩිකාරයන් තම ප්‍රධාන ජීවිකාව හා ආදායම් මාර්ගය කර ගෙන ඇත්තේ කඩසාප්පුවලට පැමිණ හොරකම් කිරීමයි.

සාම්බු ගහනවා යන වචනය කුමන බාෂාවෙන් බිඳී ආවක්දැයි අප නොදන්නා අතර එහි ළඟම තේරුම ඉණේ ගහනවා, බඩතුරේ ඔබා ගන්නවා, යටිමඩි ගහගන්නවා වැනි අරුතකි. ඉංග්‍රීසියෙන් මෙයට hop lifting කියා කියයි. ඔබා ගැනීම, දෙකකුල් අස්සේ ගසා සඟවා ගැනීම, ඇඳුමක් අස්සේ රිංගවා වසං කර ගැනීමත් සාම්බු කලාවේ ප්‍රභේදයකි.

අල්ලේ වාසිකාරයා

මේ අල්ලේ වාසි ගැහිල්ල අමුතුම ගේමකි. එය හැමෝටම කළ නොහැක. කඩසාප්පුවලට ගොස් එහි අයකැමිවරු මුළා කොට ඔවුන්ගේ මනස ව්‍යාකූල කර මුදල් වංචා කිරීම මෙහි ක්‍රමවේදයයි. අල්ලේ වාසිකාරයා මුලින්ම කරන්නේ ලොකු මුදල් නෝට්ටුවක් කැෂියර්ට පේන්න සාක්කුවෙන් එළියට ඇද යම් භාණ්ඩයක් ඉල්ලා සිටීමයි. ඒ සමගම ඔහු විවිධ අමතර කතා කියමින් කැෂියර්ව මුළා කර සිත වෙනතකට යොමු කර හෙමින් සීරුවේ යළිත් අර ලොකු නෝට්ටුව තමාගේ සාක්කුවේ හැර වෙනත් තැනක සඟවා ගනී. ඔහුගේ කතාවට අසුවුණ කැෂියර් අර පුද්ගලයා ඉල්ලූ භාණ්ඩයත් සරිලන ඉතුරු මුදලත් ලබාදෙන්නේ තමාට ලොකු නෝට්ටුව ලැබුණා යැයි සිතා ය. ඉතුරු මුදල සහ භාණ්ඩය අතට ගන්නා හොරා එතැනික් මාරු වෙන්නේ විදුලි වේගයකිනි. දෙමටගොඩ, මරදාන, පංචිකාවත්ත, ආමර් වීදිය පැත්තේ තරුණ මුස්ලිම් කොල්ලෝ සෙට් එකක් අල්ලේ වාසි ගැසීම සඳහා අලුතින් බිහිවී ඇති අතර ඔවුන් මේ වැඩේ සඳහා රට පුරා සංචාරය කරන්නේ ත්‍රීවීලරයකිනි.

අල්ලේ වාසි ගැහිල්ලට සමාන හෝ ආසන්න තේරුමක් දෙන වචනයක් අපට හොයා ගන්නට බැරි වූයේ සමහරවිට ඒ ඉංග්‍රීසි බස කතා කරන එංගලන්තයේ හෝ යුරෝපයේ වෙනත් රටක මේ අල්ලේ වාසිකාරයන් නැති නිසා විය යුතුය.

සාම්බු ගහන පවුල්

තනි තනියෙන් මෙන්ම කුඩා කණ්ඩායම් ලෙස කල්ලි හැදී කඩ සාප්පුවලට මොවුහු පැමිණෙති. එකම පවුලේ අයගෙන් සැදි කුඩා පිරිස් කීපයක් ද මෙලෙස ඉතා සංවිධානාත්මකව නගරයට පැමිණ සාම්බු සොරකමේ යෙදෙන බව

නගරාශ්‍රිත ව්‍යාපාරිකයෝ දනිති. අපට දැනගන්නට ලැබුණු පරිදි මව, මාමා, ලොකු පුතා හා දියණියකගෙන් සැදුණු මේ එක් සාම්බු පවුලක් පදිංචිව සිටියේ යක්ක නෙල්ලිගහමුල නම් ගමේ කුලියට ගත් නිවසකය. ඔවුන්ගේ මුල් ගම මාතර, මිරිස්ස පැත්තේ බව දන්නෝ දන්නා අතර උත්සව සමයට ඔවුන් කිරුළපන පැත්තේ කුඩා නිවසක් කුලියට ගනී.

එකල පැරණි මොරිස් මයිනර් කාරයක නැඟී නගරයට ආ මොවුන් අද වනවිට ජපානයේ නිෂ්පාදිත වෑන් රථයක හිමිකාරත්වය දරයි. පුතා විසින් පදවන වෑන් රථයේ නගරයට එන ඔවුන් කාර්යබහුල සෙනඟ වැඩි සාප්පුවක් ඉදිරියේ තම වාහනය නවතා එම ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වෙයි. එතැන සීයක හමාරක් පිරිස හිටියත් ඒ කාටත් හොරා රෙදි පීස් එකක්, බ්ලවුස් හෝ ටීෂර්ට් බන්ඩලයක් සොරා ගැනීමට යන්නේ විනාඩි කීපයකි. මොවුන්ගේ ප්‍රධානම ක්‍රමවේදය වන්නේ රෙදි පොදිය දෙකකුල් අතරේ රඳවා ගැනීමයි. ඒ සඳහා ඉදිරිපත් වන්නේ රියැදුරු ලෙස සරමක් කමිසයක් ඇඳගෙන එන හතළිස් විය පැන්න ලොකු පුතායි, අම්මා, මාමා හා තරුණ රූමත් දුව හැසිරෙන්නේ මහ පරිමාණ රෙදි වෙළෙන්දන් හෝ ගාමන්ට් එකක හිමිකරුවන් ලෙසිනි. අම්මා හා දුව රෙදිපිළි තෝරදදී මාමා විසින් සැමගේ ඇස් වසා රෙදි පොදියක් හෝ පීස් එකක් පුතාගේ දෙකකුල් අස්සේ ඔබයි. ඒ සඳහා පුතා සරම මඳක් ඉහළට පිටු පස්සෙන් ඔසවා ගෙන සැදී පැහැදී සිටී. සෑහෙන බරක් ඇති ප්‍රමාණයෙන් ද තරමක විශාල මෙවන් පොදියක් තම දෙපා අතරේ රුවාගෙන අඩි කීපයක් ඇවිද ගොස් රථයට නැඟීමට මොහු අතිදක්‍ෂය. දෙකකුල් අස්සේ පමණක් නොව, ඉණතුරේ කමිසය අස්සේ රැගෙන එන ලොකු මල්ලක පවා මොවුන් බඩු සොරකම් කොට හීන් සැරේ පලායන්නේ කඩේ ඉන්නා බටු මීයන්ටත් හොරෙනි.

පවුල් වශයෙන් මෙන්ම ජෝඩු ජෝඩු ලෙස ද පැමිණෙන සාම්බු යුවළවල් ගැන අපට අසන්නට ලැබුණි. බොහෝවිට මොවුන් තරුණ හෝ තාරුණ්‍යය ඉක්මවන මැදි වියට ආසන්න අයයි. විදුලි භාණ්ඩ හෝ ඉලෙක්ට්‍රොනික බඩු ඇති සාප්පු, ස්වර්ණාභරණසල්, හාඩ්වෙයාර්, ග්‍රොසරි සුපිරි වෙළෙඳසල් ආදී ස්ථාන මොවුනගේ ඉලක්ක කලාප වෙයි. වැදගත් ලෙස ඇඳපැලඳ බඩු තෝරන මුවාවෙන් මුන් ව්‍යාපාරික ස්ථානයට ඇතුළුව කෙසේ හෝ වටිනා දෙයක් සාම්බුවේ ගසා ගන’. මෙසේ හොරකම් කරද්දී අසුවන අවස්ථා ද එමටය.

දැක්කොත් බුවා

“දැක්කොත් බුවා . නොදැක්කොත් එබුවා ඌ තමයි සාම්බුවා” කියා අපූරු කියමනක් වීදි භාෂාවේ ඇත.

එම න්‍යාය එළියට එන්නේ මෙසේ සාම්බු ගසන්නට ගොස් හසුවන අවස්ථා වලදීයි.

බුවා යනු, චණ්ඩියා හෝ අයියා යන අර්ථය දෙන වීදී වචනයක් බව අපි දනිමු.

දැක්කොත් බුවා යනු, සාම්බුකරු යම් දෙයක් බඩතුරේ ඔබා ගනිද්දී හෝ උරයක දාගන්නට තැත් කරද්දී කඩහිමියා හෝ සේවකයෙක් දැක කෑ ගසන්නට යද්දී ඔවුන්ට වඩා වැඩි සද්දයක් දාමින් සාම්බුකරු බුවා වෙන්නට යෑමයි.

“ අරි.. අරි.. පොඩි විහිළුවක් කළේ. අපි හොරු නෙමෙයි මල්ලී.. අරිද කීයද ගාණ.. ඕන්නං ෂල්ලි දෙන්නං.. බොරු ටෝක්ස් එපා අරිද.. අපිත් මේ බජාර් එකේ තමයි..

මෙවැනි බුවා පාට් දමා ඔහු කෙසේ හෝ තට්ටු (මාරු වෙන්නට) වෙන්නට බලයි. නොදැක්කොත් එබුවා යනු, යම් හෙයකින් මේ හොරකම සිදුවනු කිසිවෙක් නොදැක්කොත් සැණින් එම භාණ්ඩය තම ඇඳුමක් අස්සේ හෝ මල්ලක ඔබා ගැනීමයි. එසේ ඔබා ගන්නා සාම්බුකරු එතැනින් ‘බ්ලාන්ස්’ වෙන්නේ නයා හුඹහට ඇදෙනවාටත් වඩා වේගයෙනි.

මෙම සාම්බුකාරයන් අතටම අසුවන අවස්ථා එමට බව අපි කලින් කීවෙමු. එසේ වුණු අවස්ථා ගැන වැල්ලවත්තේ සුපිරි සාප්පුවක වෙළෙඳ සේවකයෙක් තම අදහස් දැක්වූයේ මෙසේය.

‘උන් මාර වැඩකාරයෝ අයියා.. ගානට ඇස් වහලයි වැඩේ දෙන්නේ.. හැබැයි අපිට මාට්ටු වුණොත් ඉතින් ගුටි තමයි.. ආයි දෙකක් නැහැ. ඇඳුම් ගලවල කඩේ ඉස්සරහ දණ ගස්සනවා ටොකු පූජාව කෙළවරක් නැහැ. හොරකම ලොකු එකක් නං හොඳටම නෙළල පොලිසියට භාර දෙනවා. මේ කාලේ අපි හොඳ සිහි කල්පනාවෙන් ඉන්නේ.. දැන් වැඩිපුරම ගෑනු තමයි මේව කරන්නේ. දැක්කම කියන්නම බැහැ හොරකමට එනවයි කියලා.

ඔහු කියන අන්දමට සාම්බුකාරයන් අසුවුණහොත් ලැබෙන දඬුවම් නිමක් නැත. කළුඅග්ගල, වග කියන ගම පැත්තෙන් ත්‍රීරෝද රියක නැඟ නගරයට එන මෙවන් සාම්බු පවුලක්ම අද හිරගෙදර ලගින්නේ දෙහිවල නගරයේ ස්වර්ණාභරණසලකට ගොස් බඩු ගන්න මුවාවෙන් මුදු තට්ටුවක් ( මුදු රඳවන වෙල්වට් රෙදි ඇතුරූ පැතලි පෙට්ටියක්) සොරකම් කරගෙන යන්නට ගොස් අසු වූ නිසාය. මෙම පවුල වඩාත් ප්‍රසිද්ධ රත්ත්‍රන් බඩු ඉස්සීම සම්බන්ධවයි.

අම්බලන්ගොඩ, ගාල්ල, මාතර වැනි නගරවල ද සාම්බු කාරයෝ සැරිසරති. මේ අය වැඩිදෙනෙක් තරුණයෝය. උන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය වියදම සොයාගැනීම, හවසට අරක්කු බී ජොලි කිරීම ආදියට බරපැන සොයාගැනීමයි. ඒ සඳහා ඔවුහු මෙසේ සාප්පු සවාරියේ යෙදෙති.

දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා

“සාම්බු විරා” ලෙස සමාජය හඳුන්වන සාම්බු රජෙක් තම අත්දැකීම් විස්තර කළේ මෙසේය.

“ ඉස්සෙල්ලම බිග් මැච් කාලේ ජොලියට තමයි අපි මේ වැඩේ කරන්න පටන් ගත්තේ. පස්සේ අපි ඒකටම හුරු වුණා. අපිත් එක්ක හැමදාම උදේට කොල්ලො හත් අට දෙනෙක් සෙට් වෙනවා. අපි බඩු ගන්න යන විදිහට සාප්පුවෙන් සාප්පුවට, කඩෙන් කඩේට යනවා. මුදලාලිගේ හරි, වැඩ කරන අයගේ හරි ඇස් වහල තියෙන දෙයක් සාම්බුවේ ගහ ගන්නවා.

මුලදි අපි වැඩිපුරම ටාගට් කළේ වටිනාකමෙන් වැඩි ප්‍රමාණයෙන් පොඩි දේවල්. ඒ කියන්නේ බැටරි පෙට්ටි, ගම් ටියුබ් පැකට්, පෑන් බන්ඩල් වගේ සිල්ලර දේවල්. පස්සේ වැඩේ හුරු වණාට පස්සෙ රත්තරන් මාල, වළලු, ඇන්ටික් බඩුවලට කොටන්න ගත්තා.

අපි කල්ලිය රට වටේම යනවා. පාමංකඩ දසපාල තමයි මුදලාලිව කතාවට මාට්ටු කර ගන්නේ. දසපාල ලස්සන හැන්ඩියා. ඌ තමයි කෙල්ලන්ට ටෝක් කරන්නේ. ඒ අස්සේ පොඩි චූලා, මලියා, වෙත්තේ වගේ උන් පුළුපුළුවන් දේ ඔබා ගන්නවා.

දිසා වැඩිපුරම දක්‍ෂ ඇන්ටික් බඩුවලට ගේම දෙන්නයි චූලාගෙ ඉණේ බය නැතුව කිලෝ දහයක් පහළොවක් ගහන්න පුළුවන්. ඌ ඒවත් එක්ක කිසි ගානක් නැතිව හැතැම්ම පහක් හරි දුවයි.

පොලිසියට අහුවෙලා නැද්ද කියා මා ඇසූ විට ඔහු දුන් උත්තරය,

“ඇයි නැත්තේ රෑ ඉසේ කෙස් ගානට හැබැයි ගොඩක් වෙලාවට අපට දෙක තුනක් ඇනලා කූඩුවෙ තියන් ඉඳල පහුවෙනිදට එළියට දානව. බැරිම තැන තමයි රිමාන්ඩ් කරල උසාවි දාන්නෙ. ලොකු ලොකු වැඩ කරල මාට්ටු වුණොත් චාන්ස් එකක නැහැ, හතර හන්දි කඩල තමයි පස්ස බලන්නෙ.

හැබැයි වැරුද්ද භාර අරන් ගත්ත බඩු දුන්නොත් වැඩිය ගහන්නෙ නැහැ. සස්පිසන් (සැකපිට) (suspicion) දාලා ඇතුළට යවනව සුමාන දෙකකට. එතැනින් නිදහස් කරනව.

ගාල්ලේ පදිංචි ශාම් කියන චරිතය

අනුගමනය කළේ අමුතුම සාම්බු ක්‍රමවේදයකි. කඩවසම් පෙනුමක් ඇති ඔහු නිතරම ඉන්නේ ක්‍රීඩකයකු මෙන් උඩු කයට ටී ෂර්ටයක් දමා පහළට බොටම් එකක් ඇඳගෙනය. සාප්පු සවාරියේ යන ඔහුගේ එම බොටම් කලිසමේ යට කොටස කකුලේ පහළ (ancle) තබා හිර කර තදින් බැඳ ඇත. එමෙන්ම ඔහුගේ බොටම් කලිසමේ සාක්කුවල අඩියක්ද නැත. සාප්පුවට යන ශාම් පොඩි පොඩි වටිනා දේ සාක්කුවට ඔබා ගනිද්දී ඒවා වැටෙන්නේ කලිසම් පතුලටයි. ඉන් පසු වටයක් ගසා හීන් සීරුවේ ඔහු එළියට පැමිණ ආරක්‍ෂිත ස්ථානයකට ගොස් බඩු එළියට ගෙන අඩු මිලකට විකුණා දමයි.

ගම්පහ, යාගොඩ සිට කෝච්චියේ සිට දිනපතා කොළඹ එන සරත් වඩා ජනප්‍රිය කැල්ක්‍යුලේටර් සහ ජංගම දුරකථන සාම්බු කරුවෙක් ලෙසිනි. ඔහු කරන්නේ සාප්පුවකට ඇතුළුවු විගස තමා අත රැඳි ලොකු දිනපොත හෝ ෆයිල් කවරය කැෂියර් මේසය මත ඇති කැල්කි්‍යුලේටරය හෝ ජංගම දුරකථනය වැසෙන ලෙස ඒ මත තැබීමයි. ඉන්පසු කුමක් හෝ මෙහි නැතැයි සිතිය හැකි දෙයක් අසා එය නැති බව කඩෙන් කී විට නැවත තම දිනපොත රැගෙන කඩෙන් පිටවී යයි. ඔහුගේ දිනපොත සමගම කඩේ කැෂියර් එක මත තිබූ කුඩා භාණ්ඩය ද පිටව ගොස් ඇති බව කඩ හිමියා දැන ගන්න විට සරත් බොහෝ දුර ගිහින්ය.

ලිස්ට් දාන්නෝ

කඩවලට හොරකමේ එන පිරිස් තව විවිධ ක්‍රමවේද අනුගමනය කරති. ලිස්ට් ක්‍රමය ඉන් එකකි. මේ මගඩියට බොහෝ විට අසුවන්නේ ඉලෙක්ටි්‍රකල් බඩු සාප්පුවල, සිල්ලර කඩවලට හෝ ග්‍රොසරිවල අයයි.

විවිධ වර්ගවලට අයත් බඩු ලැයිස්තුවක් ඔවුන් අතේ අරගෙන එයි. සමහරවිට එය පැදුරු කඩමාල්ලක් තරම් දිග ලිස්ට් එකකි.

අද නම් හොඳ කන්දිරිය තමයි සිතන කඩ හිමියාත් පිස්සු හැදී කලබලයෙන් ලිස්ට් එකේ ඉල්ලා ඇති බඩු නිකුත් කරයි. කෙසේ හෝ සක්කරයාගේ පුතා වයිමාටවත් ලබා දිය නොහැකි අයිටමයක් දෙකක්ද මෙම ලිස්ට් එකේ අඩංගුව ඇත. ඒවා සොයා ගෙන ඒමට කඩහිමියා අල්ලපු කඩේට ගියත් එහෙත් නැත. ඒනිසා,

“අපි ඒක හොයාගෙන එනකං ඔයා මේ ටික පැක් කරල බිල දාලා තියන්න කියා පාරිභෝගිකයා ඉවත්ව යයි. ඒ යෑමත් සමගම ඌ කඩේ අයගේ ඇස් වසා වටිනා එක් භාණ්ඩයක් සාම්බුවේ ගසා ගෙන හෝ තමන් රැගෙන ආ මල්ලක ඔබා ගෙන ගොස් ඇති බව තේරුම් යන්නේ සාම්බුකරු බොහෝ දුරක් ගිය පසුයි.

පොත් හොරු

නගරබද සැරිසරන තව තරුණ පිරිසක් හුරුවී සිටින්නේ පොත් සාප්පුවලට ගොස් වටිනා පොත් පත් ඉණේ ගසා ගෙන ඒමටයි. ඔවුන් මෙතැම්පිටමින් හෙවත් අයිස්වලට හුරුවූ අය බව මම දිනිමි. විශේෂයෙන්ම විදේශිකයන්ට ලොකු මිලකට අලෙවි කළ හැකි සංචාරක මඟ පෙන්වන පොත් (guide books) ලංකාවට ආවේණික කුරුල්ලන්ගේ පොත්, සමනළුන්ගේ හා සර්පයින්ගේ පොත් වැනි දේ ඔවුහු උස්සති. කමිසය උඩින් දාගෙන පොත් සාප්පුවට ඇතුළුව පොතක් දෙකක් ඉණේ ගසා ගෙන එන විට අසුවන්නේ ඉතාම අඩුවෙනි.

සාමාන්‍යයෙන් මෙවැනි හොරුන් බඩුත් එක්ක අසු වුණු විට පොලීසි ගානේ ගොස් කරදර විඳීමට සාප්පු හිමිකරුවන් හෝ කළමනාකරුවන් මහන්සි වන්නේ නැත. හැඩි දැඩි ආරක්‍ෂක නිලධාරියෙක් ලවා පහර කීපයක් එල්ල කොට තවත් එවන් සුළු දඬුවමක් දී හොරාව පිටත් කර එවයි. එමෙන්ම ඔහුගේ අතේ මිටේ සාක්කුවේ ඇති සෑම සතයක්ම අසල ඇති පිං කැටේට හෝ ආධාර සඳහා එකතු කරන වීදුරු පෙට්ටියට ඔහු ලවාම දැමීමත් කරනු ලබයි.

යම් දිනෙක ඔබ දිවයිනේ ප්‍රසිද්ධ පොත්හලකට ගොඩවී එහි ඉන්නා කලමනාකරුවෙක්ගෙන් මේ ගැන විමසුව හොත් ඔවුන් මොනවට සාක්‍ෂි දරනු ඇත.

ටැග් කැඩීම

බාර් කෝඩ් සෙන්සර් සහිත ප්ලාස්ටික් ටැග් කෑලි ඇමිණූ ඇඳුම් ඇති හතර වටේ වීඩියෝ කැමරා සවිකැර ඇති සුඛෝපභෝගී මහ පරිමාණ කඩ සාප්පු අද නගරවල ඔබ දකින සුලබ දසුනකි. බොහෝ අය සිතන්නේ සාම්බුකාරයන් මේවාට ඇතුළු වීමට බය බවයි.

නමුත් අපට විස්තර රැසක් ලබා දුන් ’“ගල්කිස්සේ දණ්ඩාට් කියන අන්දමට කලින් මෙවන් සාප්පුවක වැඩ කර දැන් ඉවත් වී ඇති එක් තරුණියක් හා ඇගේ පෙම්වතාත් එකී ටැග් අරින අන්දමත් කැෂියර් එක මත ඇති යන්ත්‍රයට හොරෙන් ඒවා පන්නන අන්දමත් දන්නා නිසා අධි වටිනාකමෙන් යුත් ඇඳුම් ඉතා සුක්‍ෂ්මව ටැග් ඉවත් කර කාටත් හොරෙන් පන්නා ගෙන යෑමට පුරුදු වී සිටී. ඇයත් ඇගේ පෙම්වතාත් තද බල ලෙස හෙරොයින් මත් කුඩට ඇබ්බැහි වී සිටී. මේ ක්‍රමයට සාම්බු ගහන අය තව කීප දෙනෙක්ම අද බිහි වී ඇත.

බොහෝ විට එසේ ටැග් ඉවත් කරන්නේ එකී සාප්පු වල ඇති ෆිටෝන් කාමර ඇතුළේදීය.

හතර වටේ මනාව ආවරණය කරන ලද මෙම “හරිද බලන කාමර තුළ නොකළ හැකි දෙයක් නැත. සදාචාරයට විරුද්ධ නිසා ඒවාට රූපවාහිනි කැමරා සවි නොකරයි.

ඉතා මෑතකදී මේ උත්සව සමයේම මහරගම . පමුණුව පාරේ සුපිරි තොග වෙළෙඳසලකට පැමිණි රූමත් තරුණියක් කුඩා තුවායක් පමණක් මිලදී ගෙන පිටව යද්දී දොරටුව අසල සිටි ආරක්‍ෂක නිලධාරිනියකට සැක සිතී ඒ තරුණියව පරීක්‍ෂාවට ලක් කර ඇත. පුදුමයක මහත ඇය සාමාන්‍ය තරුණියක් නොව බැගී තුන්කාලේ කාකි කලිසමට යටින් ඉතා වටිනා කාන්තා යට කලිසම් ( panties) තිහකට වඩා ඇඳ සිටින්නියක බව නිලධාරිනියට පෙනී ගිය අතර ඒවා සියල්ල මෙම සාප්පුවෙන් සොරකම් කොට හරිද බලන කාමරේදි එක පිට එක ඇඳගත් ඒවා බව හෙළිවිය.

එක පිට එක සාම්බු ගසා අසුවීම නිසාත් බොහෝ සාප්පුවල මොවුනගේ ඡායාරූප ප්‍රදර්ශනය කර ඇති නිසාත් සමහර සාම්බුකාරයන්ට ඒ සාප්පු වලට යෑමටත් නගරයේ සංචරණය කිරීමටත් බාධා පැමිණේ. ඒ නිසා ඔවුන් කරන්නේ උදේම නැඟිට ඈත නගර බලා ගොස් සාම්බු ගසා යළි තම ගමට නගරයට පැමිණීමයි.

තමන්ට පොලීසියෙන් කරදර බව බොහෝ සාම්බුකරුවන් පැවසුව ද සාම්බුකරු පවසන්නේ මෙවන් දෙයකි.

“ මට නම් අවට පොලිස්සි කීපයකින් නෝ ප්‍රොබ්ලම්. හැම මහත්තයෙක්මත් නෙවේ හැබැයි, අපරාධ අංසයේ කීපදෙනෙක්, අයි ආර් සී බලන මහත්තුරු කීපදෙනෙක් මට කියල තියෙන්නේ කරන දෙයක් සේප් එකේ කර ගනිං. මාට්ටුවෙලා නං එන්ඩ එපා කියලයි.

මාන කොකා කියන පරිදි ඔහුගේ හොඳම කස්ටමර්ලාද එකී පොලිස් මහත්තුරුය. කොකා සාම්බු ගහන බඩු අතරින් ඉස්තරම් ඩෙනිම්, සුවඳ විලවුන්, ඔරලෝසු, බෙල්ට්, කාන්තා ඇඳුම් වැනි දේ රැගෙන ඔහු කෙළින්ම යන්නේ අර කී මහත්තුරු හමුවීමටයි. මහත්තුරු ඒවා කොකාගෙන් ලබා ගන්නේ කුණු කොල්ලයට වන අතර කොකාද වාද විවාද නොකර ඉල්ලන ගාණටම ඒවා දෙන්නේ අනාගත වාසි තකාගෙනයි. වැටත් නියරත් ගොයම් කළ මේ කාලයේ සාප්පු හිමියන් අනුගමනය කළ යුත්තේ තමාගේ දේ තමා රැකගත යුතුයි යන න්‍යාය බව මතක් කළ යුතුය. මේ කෙසේ වෙතත් මේ උත්සව සමයේ ඔබ සැම දෙනා මගඩිකරුවන්ගෙන් බේරී සිටිවා යැයි පතමු.

මිත්‍ර ශ්‍රී කරුණානායක
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment