ඉංජිනේරු සංස්ථාවේ 1417 ක් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට භාණ්ඩාගාරයෙන් මිලියන 3764ක්

235

ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් එක්දහස් හාරසිය දාහත් දෙනකු ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන තුන්දහස් හත්සීය හැටහතරක මුදලක් සංස්ථාවට ලබාදී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මහාභාණ්ඩාගාරය එම මුළු මුදලම සංස්ථාවට ලබාදුන් බව ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතිඥ රත්නසිරි කළුපහන මහතා ‘දිවයින’ ට පැවසීය.

කොරෝනා වසංගතය මෙරට පැතිරීමත් සමග මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ කඩා වැටීමකට ලක්වූ බවත් සේවක වැටුප් ගෙවීමේ සිට සංස්ථාවේ සමස්ත ක්‍රියාවලියම අඩපණව ගිය බවත් සභාපතිවරයා සඳහන් කළේය. ඇති වූ තත්ත්වය හමුවේ එවකට ඉංජිනේරු සංස්ථාව භාරව සිටි ඇමැති ප්‍රසන්න රණතුංග මහතා හා සංස්ථා පාලනාධිකාරිය එක්ව සේවක කැමැත්ත මත ඔවුන්ට ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනාවක් ගෙනා බවද සභාපතිවරයා පැවසීය. ඒ අනුව ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේදී එම සේවකයන්ට වන්දි ගෙවීම සඳහා මුදල් සොයා ගැනීමේ ගැටලුව මතුවූ බවත් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයට යාබද සංස්ථාවට අයත් අක්කර දාහතක ඉඩම විකිණීමට සැරසීමේදී ජනාධිපතිවරයා මැදිහත් වී මහාභාණ්ඩාගාරය හරහා අදාළ සම්පූර්ණ මුදල සංස්ථාවට ලබාදුන් බවත් ඒ මහතා කීය.

ඒ අනුව විශ්‍රාම ගිය, ඉල්ලා අස්වූ සියලු සේවකයන්ට හා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යන සියලු දෙනාට වන්දි ඇතුළු සියලු ගෙවීම් සිදුකිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවද සභාපතිවරයා පැවසීය. මෙහිදී සංස්ථාවේ වැඩබලන සාමාන්‍යාධිකාරී වරලත් ඉංජිනේරු ප්‍රසාද් අමරසූරිය මහතා ඇතුළු පාලනාධිකාරියට මෙන්ම මහාභාණ්ඩාගාරයට ද ස්තුතිය පිරිනමන බව කළුපහන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment