මහාචාර්ය ගුණරුවන්ගෙන් අනතුරු ඇඟවීමක් !

3684

බංකොළොත් ශ්‍රී ලංකාව අතිශය තීරණාත්මක ජාත්‍යන්තර බල අරගලයක පැටලී ඇත. පටලවා ඇති බවටද චෝදනා කළ හැක. අර්බුදකාරී තත්ත්වය තවදුරටත් තිව්‍ර වෙමින් පවතී. ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාව ඇමෙරිකාව නායකත්වය දෙන ඉන්දියාව සාමාජිකත්වය දරන බල කඳවුරේ සහ චීනයේ සදාකාලික ණයගැති භාවයකට පත් කර ඇත. පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය මහත් ආඩම්බරයෙන් මාධ්‍යයට නිකුත් කළ නිවේදනයකින් හෙළිකළේ මහජනතාව පත්කර ඇති විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ නිරුවතයි. එම තත්ත්වයට පසුගිය දශක තුනක කාලයක පත්වූ සියලුම ආණ්ඩු වගකිව යුතුය. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළ ආකාරයට මෙවර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70%ක් ලබා දීමට එකඟත්වය පළ කර තිබූ චීන රජය එයින් 1/3ක් මින් පෙර ලබා දී තිබූ අතර ඉතිරි 2/3ක ප්‍රමාණය ද ලබා දී ඇත. ඒ අනුව මේ වන විටත් ආරම්භ කර ඇති නිල ඇඳුම් බෙදාහැරීමේ කටයුතු කඩිනම් කර ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට පෙර නිල ඇඳුම් බෙදා අවසන් කිරීම රජයේ අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර ඇත.

රජයේ පාසල්වල සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු සිසුවියන් මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සඳහා මෙම නිල ඇඳුම් ප්‍රදානය කෙරේ. ඉන්දියාව, චීනය, ජපානය, ඇමෙරිකාව සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන පමණක් නොව ඉන්දියාවේ ප්‍රාන්තයක් වන තමිල්නාඩුවේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ බෙහෙත් ලබා ගැනීමේ තත්ත්වයට ශ්‍රී ලංකාව පත්වී ඇත. අස්ථාවර දේශපාලනික පසුබිමක් තුළ කඩාවැටුන ආර්ථික සහ සමාජීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව බල කඳවුරු දෙකෙහිම උපායමාර්ගයන්ට යටත් වී ඇත. විදේශීය බලවේග සමඟ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෑතකදී ආන්දෝලනාත්මක ඇමෙරිකානු MCC ගිවිසුමට අදාළව නොබියව කරුණු දැක්වූ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගෙන් වර්තමාන අභියෝග සම්බන්ධයෙන් අදහස් විමසීමක් මෙම ලියුම්කරු විසින් කරන ලදී. එතුමා අවධාරණය කළ විදේශීය උපාය මාර්ග ඉතාමත් සංකීර්ණය. නමුත් එළිපිටම ක්‍රියාත්මකය. ගුණරුවන් වාර්තාව නොවන්නට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඇමෙරිකානු ඩොලර් 480 වටිනා එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව තිබිණි. යහපාලන රජය එය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණ බව රටට අමතක නැත.

මෙම ලියුම්කරු 2019 ඔක්තෝබර් 30 අරලියගහ මන්දිරයේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැත්වූ මාධ්‍ය හමුවකදී MCC ගිවිසුම අත්සන් කිරීමට අවස්ථාවක් තිබේදැයි ප්‍රශ්න කළ විට, එය අනිවාර්යෙන්ම 2019 නොවැම්බර් ජනාධිපතිවරණයට පෙර සිදු කරන බව නොපැකිළිව පැවසීය.

ප්‍රශ්නය: ජෝ බයිඩන් ජනාධිපතිවරයා පත්කළ ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ ප්‍රධානියා වන විලියම් ජෝශප් බර්න්ස් කොළඹට පැමිණීම ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර: නීත්‍යනුකූලව නියමිත වීසා බලපත්‍ර රැගෙන ලංකාවට ඒමට කිසිවකුට බාධාවක් තිබිය නොහැකියි. ඔබ සඳහන් කරනුයේ එවැනි කිසිදු අවසරයක් හෝ නීත්‍යනුකූලභාවයක් නොමැතිව පැමිණීමක් සිදු වී ඇති බව නම්, එය ඉතා අවදානම් තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. වර්ධනය වෙමින් පවතින තත්ත්වය ඉදිරියේ දී ජාතික ස්වෛරීත්වයට පවා එල්ල කළ හැකි අවදානම අවධාරණ කරයි. එවැනි තත්ත්වයක් ඇති විය හැකියි.

ප්‍රශ්නය: MCC ගිවිසුම වික්‍රමසිංහ – රාජපක්ෂ රජය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් තිබේද ?

පිළිතුර: ඒ හැකියාව සියලු රජයන්ට තිබුණි. කමිටුව ලෙස අප පෙන්වා දුන්නේ (අ) ගිවිසුමේ කොන්දේසිවල තිබූ ජාතික ස්වෛරීත්වයට හානිදායක විය හැකි කොන්දේසි, (ආ) ගිවිසුමට අදාළ ව්‍යාපෘති ප්‍රමුඛතාවට ගෙන තිබූ විශ්ලේෂණාත්මක ක්‍රමවේදයේ ගැටලු, (ඇ) යෝජිත ක්‍රමවේදයේ ශ්‍රී ලංකා රාජ්‍ය පාලනයෙන් බැහැරව ස්ථාපනය කිරීමට යෝජිතව තිබූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහය (ඈ) ව්‍යාපෘති නිමැවුම්වල අයිතිය සම්බන්ධව නිරීක්ෂණය කළ ගැටලු (ඉ) ව්‍යාපෘති ඔස්සේ ඉන් ඔබ්බට දියත් වීමට ඉඩ ඇතැයි බොහෝ අංශ විසින් පෙන්වා දෙනු ලැබ තිබූ හානිකර බලපෑම්, (ඊ) ඒ වන විට (19 වැනි සංශෝධනය යටතේ) පැවැති නීතිමය තත්ත්වය අනුව ඇතිවිය හැකිව තිබූ තත්ත්වය, (උ) ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තු ගොස් අනුමැතිය ලබා ගැනීම වෙනුවට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පාර්ලිමේන්තු අනුමැතියට යෑමට කර තිබූ සැලැස්ම, (ඌ) අනුමැතිය නොලැබුණහොත් අත්සන් කළ ගිවිසුම එසේම තිබුණ ද අදාළ ප්‍රතිපාදනයන් නොලැබීමේ අවදානම, (එ) පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණහොත් ඒ තුළින් ඉහත සඳහන් හානිකර විය හැකි තත්ත්වයන් සහිත ගිවිසුමක් රටේ නීතිය බවට පත් වීමට තිබූ ඉඩකඩ සහ (ඒ) හා තවත් එවැනි කරුණුයි. අපගේ නිර්දේශයන් / නිරීක්ෂණයන් හි සාරාංශය වූයේ එවැනි හානිදායක විය හැකි තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ විවර කෙරෙන බව පෙනුණු දොරටු වසා දැමීමට අවශ්‍ය සංශෝධනයන් කළ යුතු බව සහ එසේ කළ නොහැකි නම් දෙන ලද ව්‍යුහය හා රාමුව යටතේ ගිවිසුම අත්සන් කළහොත් රටේ ස්වෛරීත්වයට අහිතකර බලපෑම් ඇති නොවනු ඇතැයි අපට පැවසිය නොහැකි බව යි.

ප්‍රශ්නය: සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් තත්ත්වය කුමක් වේවිද ?

පිළිතුර: කිව නොහැක. එය ඇත්තේ ආණ්ඩුව, පාර්ලිමේන්තුව හා මහජනතාව අතේ යි.

ප්‍රශ්නය: ‘කෝඩ්’ සංවිධානය ලෙස ඇමෙරිකාව, ජපානය, ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව බංකොළොත් ශ්‍රී ලංකාවට කරන බලපෑම ඔබ දකින්නේ කෙලෙසද?

පිළිතුර: ශ්‍රී ලංකාව බංකොළොත් කළ අය එහි වගකීම දැරිය යුතු ය. ණය වූ විට පවුලකට හෝ ගෙදරකට ස්වෛරීත්වයක් නැත. රටකට වුව ද තත්ත්වය එයයි. මේ තත්ත්වය පාවිච්චි කර අපගේ සම්පත් කොල්ලකෑමට හා අපගේ දේශය තුළ විවිධ ණය හිමියන්ගේ ආධිපත්‍යය පැතිරීමට ඒ බලවේගවලට දැන් දොරටු විවර වී ඇත. දැන් අපි දණින් වැටී සිටිමු. ස්වෛරීත්වය රැක ගනිමින් ඉන් ගොඩ ඒමට නම් සියලු දෙනාම බලවත් කැපකිරීමක් උපාය මාර්ගික ප්‍රවේශයක් ඔස්සේ ධෛර්යයෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙයි.

ප්‍රශ්නය: ‘කෝඩ්’ – චීන ගැටුමේ දී ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග මොනවද ?

පිළිතුර: ශ්‍රී ලංකාව අපගේ විදේශ ප්‍රතිපත්තිය හා ජාතික ආර්ථික ප්‍රතිපත්තිය දේශීය ස්වෛරීත්ව දෘෂ්ටියකින් අවසන් වරට ක්‍රියාත්මක කරන ලද්දේ 1970-1977 සිරිමාවෝ රජය විසිනි. ඉන් පසු තිබූ සියලු රජයන් අඩු වැඩි වශයෙන් මේ අංශ දෙක දුර්වල කිරීමට වගකිව යුතු ය. සැබෑ ලෙස මේ ජාත්‍යන්තර බල අරගලය අතර නොසැලී සිටීමට නම් ආර්ථික ස්වෛරීත්වය රැක ගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. අපි එය 1977 සිටම අමතක කර නව ලිබරල් ආර්ථික දෘෂ්ටිය අනුව ස්වෛරීත්ව ආර්ථිකයකින් බැහැරට ගමන් කළෙමු. එහි භයානක ප්‍රතිඵලයක් ලෙස මෙම බල අරගලය තුළ අප තැලී පොඩි වී යෑමට ඇති ඉඩකඩ ඉතා ඉහළයි. අපගේ මර්මස්ථාන ඉලක්ක කරගෙන විවිධ ආයෝජන ව්‍යාපෘති ඔස්සේ ආර්ථික ආක්‍රමණයක් සහ ඒ තුළින් ඒ අය වෙත අපගේ සදාකාලික ගැති බවක් උදා කර ගැනීමට බල කඳවුරු කටයුතු කරනු ඇති.

ප්‍රශ්නය: ඉන්දියාවේ භූමිකාව කුමක්ද (ජනාධිපතිවරයා මෑතකදී (මාර්තු 03) චීන වරාය තෙල් ටැංකි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන්නේය.)

පිළිතුර: ඉතා අවදානම් තත්ත්වයක්. එක් බල කඳවුරකට ඉඩ නොදීමට, අනෙක් බල කඳවුර ඉදිරියට ඒමට, ප්‍රයත්න කරනු ඇත. එය අප විසින් 1977න් පසු කළමනාකරණය කිරීමට උත්සාහ කළ බව පෙනුණේ දෙපාර්ශ්වයටම දොළපිදේනි දෙමිනි. එය අසාර්ථකයි. ඒ තුළ දෙපාර්ශ්වයම අතෘප්තිකරයි. අන් පාර්ශ්වයට වැඩිපුර සැලකුවා යැයි දෙපාර්ශ්වයම සිතා තව වැඩිපුර ඉල්ලනු ඇත. සිරිමාවෝ මැතිනිය ඒ සියලු පාර්ශ්වයන් කළමනාකරණය කළේ කාටවත් කිසිවක් නොදීමේ ප්‍රතිපත්තිය දැඩිව අනුගමනය කරමින් හා ඒ බව දෙතුන් පාර්ශ්වයටම පෙන්වමින් සැබෑ නොබැඳි පිළිවෙත ඔස්සේ ය. එවිට සියලු පාර්ශ්ව තමන්ගේ හතුරාට ශ්‍රී ලංකාවේ තැනක් නොලැබෙන බව තහවුරුව දැන ගන්නා නිසා සැවොම සතුටු වෙති. 1977න් පසුව, අපට මේ පිළිවෙත අනුගමනය කිරීමට නොහැකි වූයේ දුරදක්නා කමක් නොමැති වීම නිසා ද, නැතිනම් ස්වෛරීත්වය රැකීමට කිසිදු උවමනාවක් නොතිබූ නිසා ද යන්න බරපතළ ප්‍රශ්නයකි. තෙල් ටැංකි වේවා – යුගදනවි වේවා – සුලං බල ව්‍යාපෘතිය වේවා – බටහිර පර්යන්තය වේවා – හම්බන්තොට වරාය බදු දීම වේවා – මේ සියල්ල අපගේ ස්වෛරීත්වය අවදානමේ හෙළන පියවර බව නම් පැහැදිලි ය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතකදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. ඒ මීට පෙර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් තුනකට (1987 ජුලි 29, 2003 පෙබරවාරි 07 සහ 2017 අප්‍රේල් 26) යටත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි. ජනාධිපතිවරයාගේ එම තීරණය අනිවාර්යෙන්ම දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ලංකා – ඉන්දියන් තෙල් සමාගම දී සිටින ක්‍රියාදාමයෙන් එපිට තත්ත්වයක් බව වටහා ගත යුතුය. ඊට අවශ්‍ය වාතාවරණය ඇතිකිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා හිටපු නාවික හමුදාපතිවරයකු වූ අද්මිරාල් රවී විජේගුණරත්න අදාළ ආයතනයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත. හත් දෙනකුගෙන් සමන්විත අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළුව ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් හතර දෙනකු සහ ඉන්දීය නියෝජිතයන් තුන් දෙනකු ඇත. උපක්‍රමික ඉන්දීය තෙල් තොග ත්‍රිකුණාමලයේ ගබඩා කිරීම යෝජිත ක්‍රියාදාමයේ අරමුණයි.

මෙය රටට ඩොලර් ගලන ව්‍යාපෘතියක් බව රජය අවධාරණය කර ඇත. මෙහිදී අක්කර 827 භූමියක විසිරී ඇති තෙල් ටැංකි සංකීරණය – ඉහළ (ටැංකි 85) සහ පහළ (ටැංකි 14) ලෙස කොටස් දෙකකට බෙදා ඇත. මීට වසර 100 පෙර ගොඩනඟා ඇති ටැංකි 100 සමන්විත මෙම සංකීර්ණයේ 91 ටැංකිය 1941 අප්‍රේල් මාසයේ ජපාන හමුදා එල්ල කළ ප්‍රහාරයකදී විනාශ විය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරය හෙබවූ ආණ්ඩුව 2003 පෙබරවාරි 07 අත්සන් කළ ගිවිසුම අනුව තෙල් ටැංකි සංකීර්ණය වසර 35 කට බදු දී ඇත. ඇත්ත වශයෙන්ම 2015-2019 යහපාලන ආණ්ඩුවට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූ, නමුත් කළ නොහැකි වූ වැඩ කොටස සම්පූර්ණ කර ගැනීමට දැන් අවස්ථාවක් ඇත. මෙම ලියුම්කරු 1987, 2003 සහ 2017 ගිවිසුම් සමග ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් යෝජිත සංසන්දනය කළ අතර ආයෝජක ඉන්දියාවේ උපාය මාර්ගය ඉතාමත් පැහැදිලිය. ප්‍රධාන වෙනස 1987 සහ 2003 දෙපාර්ශ්වය ගිවිසුම්ගත වන විට ඉන්දියාව ඇමෙරිකාව තර්ජනයක් ලෙස සැලකීමත්, වර්තමානයේ ඉන්දියාව ඇමෙරිකාව සමඟ එක බල කඳවුරක වීමත්ය.

‘කෝඩ්’ සංවිධානයේ සාමාජිකයෙකි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් රුසියාවට එරෙහිව කළ යෝජනාවට පක්ෂව ඡන්දය නොදීම වෙනමම සැලකිය යුතු කාරණාවකි. ඉන්දියාව, චීනය, පාකිස්ථානය, වියට්නාමය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව රුසියාවට එරෙහිව ඡන්දය දීමෙන් වැළකී සිටීම බටහිර කඳවුරට එක්තරා ආකාරයක අභියෝගයකි. නමුත් අවසන් කියවීමේදී ඉන්දියාව ඉතාමත් පැහැදිලිව ඇමෙරිකාව නායකත්වය දෙන කණ්ඩායමේ ප්‍රබලයකු බව තේරුම් ගැනීමට අපහසු නැත. ඇමෙරිකාවට චීනය ප්‍රශ්නයක් නැතහොත් තර්ජනයක් වූයේ නැත්තම් මේ වනවිට යැංකි නායකත්වයේ අංක එකේ හතුරෙකු බවට ඉන්දියාව පත්වී හමාරය. ඉන්දියාව මෙම තත්ත්වයට අනිවාර්යෙන්ම සංවේදීය.

පසුගිය දශක කීපය තුළ ඉතාමත් වගකීම් විරහිත ආකාරයට ක්‍රියාකළ දේශපාලන නායකත්වය ශ්‍රී ලංකාව කිසිදු ආකාරයකින් ගැළවිය නොහැකි උගුලක සිර කර ඇත. මහාචාර්ය ගුණරුවන් අවධාරණය කළ විදේශීය බලවේගවලට සම්පූර්ණයෙන්ම නතුවීම භයානක යථාර්ථයකි. තවදුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික-දේශපාලනික – සමාජීය අර්බුදය ශ්‍රී ලංකාව විදේශීය අත පෙවීම්වලට තෝතැන්නකි. හම්බන්තොට වරාය 2017 දී වසර 99 කට චීනයට බදු දෙන රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් යහපාලන ආණ්ඩුව, ඉන්දියාවට හම්බන්තොට තෙල් ටැංකි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව උදා කර ඇත. චීනය සහ ‘කෝඩ්’ සංවිධානයේ රටවල් ශ්‍රී ලංකාව තුළ කර ඇති ආයෝජන/උපායමාර්ගික ආයෝජන සහ සහන සැලසීම් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව විදේශීය බලවේගවලට සම්පූර්ණයෙන්ම නතුවී ඇති බවයි.

පාසල් නිළ ඇඳුම් අවශ්‍යතාවය පවා චීනයෙන් පිනට ලබා ගන්නා රටකට අධ්‍යාපන අමාත්‍යවරයකුගේ අවශ්‍යතාවයක් තිබෙනවාද යන ප්‍රශ්නය විමසා බැලිය යුතු වන්නේ දරුවන්ට දිවා ආහාරය ලබා දීමට මුළු ලෝකයෙන්ම ආධාර ඉල්ලන රටක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇති අවස්ථාවකදීය. රජයේ රෝහල්වල විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ජපානයෙන් ඩීසල් පිනට ලබාගත් ශ්‍රී ලංකාව විදේශයන්ට නතුවීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත. ඇමෙරිකානු ඩොලර් බිලියන 53 ක පමණ ණය කන්දකට යටවී සිටින ශ්‍රී ලංකාව තව දුරටත් ණය වෙමින්, විදේශ බලවේගවලට යට වෙමින් සිටියි.

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් පළාත් පාලන ඡන්දය ලබා ගැනීමට සටන් කරමින් සිටින විපක්ෂයේ කණ්ඩායම් සමස්ත අර්බුදය සහ අභියෝගය වටහාගත යුතුය. ශ්‍රී ලංකාව මුහුණ දෙන තර්ජනයට සංවේදී විය යුතුය. රට දැන් පත්වී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට සැබෑ වැඩ පිළිවෙළක් පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට නැති බව අවධාරණය කළ යුතුමය. පක්ෂ, විපක්ෂ දෙපාර්ශ්වයම සහ වලත්ත දේශපාලන ක්‍රමය තමන්ගේ වාසියට හරවා ගත් පාර්ලිමේන්තුවෙන් පිටත හොර රැළ තව දුරටත් උපරිම ලෙස තමන්ට වාසි සලසා ගනිමින් සිටී.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment