බෙහෙත් ඉල්ලූ මවට පුතුගෙන් පොලුපහර – මව මරුට පුතු අත්අඩංගුවට

971

ඖෂධ ඉල්ලා හඬනැගූ මවට පුතා යකඩ පොල්ලකින් පහර දී ඇය මරා දමා ඇතැයි ගම්පොල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගම්පොළ රත්මල්කඩුව ග්‍රාම සේවා වසමේ නෙල්ලිගොඩවත්තේ පදිංචි නල්ලකරුපන් කන්නම්මා නැමැති හැට පස් හැවිරිදි පස්දරු මවකි.

ඇයගේ දෙවන පුතු අතින් ඇය මෙසේ ඝාතනයට ලක්ව ඇත. තිස් හතර හැවිරිදි මෙම සැකකාර පුතු විවාහකයකු වන අතර ඔහුගේ බිරිඳ විදේශගතව සිටී.

අට හැවිරිදි එකම දියණිය සමඟ මෙම නිවසේ ඔහු පදිංචිව සිටි අතර රෝගී තත්ත්වයේ සිටින ඔහුගේ මවද එම නිවසේ සිට ඇත.

සෙනසුරාදා (05) දින මෙම සැකකරු ගම්පොළ නගරයට පැමිණි අවස්ථාවේ මව ඔහුට ඖෂධ වර්ගයක් රැගෙන එන ලෙස පවසා තිබේ. නමුත් මොහු බීමත්ව එදින රාත්‍රි නිවසට පැමිණියද ඖෂධ රැගෙන නොආ නිසා මව ඔහුට දොස් පවරා තිබේ. එයින් කුපිත වූ මොහු මවට මෙසේ පහරදී තිබේ.

මොහුගේ අට හැවිරිදි දියණිය පොලිසිය වෙත පවසා ඇත්තේ පියා ආච්චිට යකඩ පොල්ලකින් පහර දුන් බවයි. නමුත් සැකකරු පවසන්නේ ඇයට පුටුවකින් පහර දුන් බවයි.

කෙසේ නමුත් මෙම නිවස අසල වෙනත් නිවාසද නොමැති අතර ඉතා දුෂ්කර ප්‍රදේශයක මෙම නිවස පිහිටා තිබේ. පහර කෑමට ලක් වූ මව රාත්‍රිය එළිවනතුරු නිවසේ තබාගෙන ඇති අතර පසුදා මෙම කාන්තාවගේ තවත් පුතෙකු එම මව ගම්පොළ රෝහලට රැගෙන ගොස් තිබේ.

එහිදී ඇය ඊයේ පෙරවරුවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. සැකකරු මේ බව නොදන්න අතර එම අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇති පොලිසිය එම ප්‍රදේශයට ගොස් සැකකරු පලායෑමට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙහි මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැත්වීම සඳහා ගම්පොල වැඩ බලන මහෙස්ත්‍රාත් තුසිතා කුමාරි දිසානායක මහත්මිය එම ස්ථානයට පැමිණි අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර මහනුවර මහරෝහල වෙත රැගෙන යන ලෙස පොලිසිය වෙත දැනුම් දුන්නාය.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රන්ජන් අබේවංශ පොලිස් පරීක්ෂක ජයන්ත උප පොලිස් පරීක්ෂක දසනායක, පොලිස් සැරයන් 45203 දුනුකාර, පොලිස් සැරයන් රණමෙරමුල්ල 47185 සරත් කුමාර පොලිස් කොස්තාපල් 85583 චානක විමලසේන ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් පොලිස් සැරයන් 12642 රත්නායක පොලිස් සැරයන් 20191 හේරත් යන නිලධාරීහු පරීක්ෂණ පැවත්වූහ.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment