ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඇමෙරිකානු ව්‍යාපෘතියේ ප්‍රබලත්වය තක්සේරු කිරීමට දිය හැකි සුදුසුම උදාහරණය මීට වසර ගණනාවකට පෙර එවකට රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කළ ප්‍රකාශයයි. එනම් 2014/2015 මියන්මාරයේ, නයිජීරියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 585 වියදම් කළ බවයි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කළ විමසුමට පිළිතුරක් ලැබුණේ නැත. මෙම ඇමෙරිකානු ආයෝජනය සම්බන්ධයෙන් එවකට විපක්ෂයේ මන්ත්‍රීවරු වන කාංචන විජේසේකර සහ ෂෙහාන් සේමසිංහ ප්‍රශ්න කළේය. අද කාංචන කැබිනට් ඇමැතිවරයෙකි. ෂෙහාන් මුදල් රාජ්‍ය ඇමතිය. අද වනතුරු ශ්‍රී ලංකාව මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් කර නැත. ඇමෙරිකානු ව්‍යාපෘතිය විමසා බැලිය යුතු වන්නේ චීනය ක්‍රියාත්මක කර ඇති සමස්ත ශ්‍රී ලංකා මෙහෙයුම සහ ඉන්දීය ව්‍යාප්තිය ද සැලකිල්ලට ගනිමිනි.

විමසුම යුතුකම සිවිල් සංවිධානයේ ප්‍රධානි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ/ජාතික ලැයිස්තුව) ගෙවිඳු කුමාරතුංග මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ කරන ‘මැදිහත්වීම‘ සම්බන්ධයෙන් මැති සබයේ අවධානය යොමු කළේය. ඒ රටේ ඉහළම අධිකරණයේ විනිසුරුවරුන් ඇතුළුව අධිකරණ පද්ධතිය තුළ යුක්තිය ඉටුකරන අනෙකුත් පුද්ගලයන් ඇමෙරිකානු බදු ගෙවන්නන්ගේ වියදමින් විදේශ පුහුණුවීම් ලබාදීමේ/ලබා ගැනීමේ ගැටලුකාරී තත්ත්වය අවධානයට ලක්කිරීමෙනි.

එතුමා අවධාරණය කළේ එවැනි විදේශ පුහුණු වීම් අත්‍යවශ්‍ය නම් ශ්‍රී ලංකා රජය එම අවශ්‍යතාව අර්බුදකාරී මූල්‍ය තත්ත්වය තුළ පවා දැරිය යුතු බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය දිගින් දිගටම ඇමෙරිකානු මූල්‍ය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාරතුංග ප්‍රශ්න කළේය. එවැනි ‘ආයෝජන’ නීති පද්ධතියේ ස්වාධීනත්වයට බලපෑම් ඇතිකර හැකි ආකාරය ඔහු පෙන්වා දුන්නේය.

තමන් නවක මන්ත්‍රීවරයෙකු ලෙස 2020 අගෝස්තු මහා මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරන ලද තමන් සහභාගි වූ පළමුවන පුහුණු වැඩමුළුවට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ඇමෙරිකාව බවද කුමාරතුංග මන්ත්‍රීවරයා මතක් කළේය.

යහපාලන කථානායක කරු ජයසූරිය වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ප්‍රසාද් කාරියවසම් (ජුලි 2014-අගෝස්තු 2017) තමන්ගේ පාර්ලිමේන්තු උපදේශක ලෙස පත්කරගැනීම ද ප්‍රශ්න කළේය. ඒ කලක් විදේශ ලේකම් ලෙසද කටයුතු කළ රාජ්‍යතාන්ත්‍රිකයා ද ඇමෙරිකානු බදු ගෙවන්නන්ට බරක් වීම නිසාය.

පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය නිවැරදිව විමසීමකට ලක් කළහොත් ඇමෙරිකානු ආයෝජන ගොන්න වතුරේ බව අමුතුවෙන් කිව යුතු නැත. මෛත්‍රිපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ යහපාලන කාලය තුළ (2015-2019) සහ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු කාලයේ (2019-2022) සහ දැනට ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කළ යුතු වන්නේ ශ්‍රී ලංකාව 17 වෙනි වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ හතර ගාතෙන් වැටී ඇති බව ද සිහියේ තබාගෙනය. මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ අතිශය ආන්දෝලනාත්මක යෝජනාවලිය අවධාරණයේ කළේ පාර්ලිමේන්තුවේ අසමත්භාවයයි.

ඇමෙරිකානු ව්‍යාපෘති ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක USAID ආයතනයේ මූල්‍ය අනුග්‍රහය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) සහය ද ඇතිවය. එයද ඇමෙරිකානු මූල්‍ය ශක්තිය මත ක්‍රියාත්මක ව්‍යාපෘතියකි. ඇත්ත වශයෙන්ම ඇමෙරිකානු මැදිහත්වීම/මූල්‍ය දායකත්වය නොමැතිව පාර්ලිමේන්තුවට කිසි කටයුත්තකට අත ගැසීමට නොහැකි තරමට තත්ත්වය බරපතළය.

ආබාධිත ප්‍රජාවටත් ඇමෙරිකාවේම පිහිටයි

USAID ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ NDI ආයතනයේ සහභාගිත්වෙයෙන් ආබාධිත සහිත ප්‍රජාව මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දෙසැම්බර් 1 දින මාධ්‍ය හමුවක් පැවැත්විණි. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්වූ කණ්ඩායම) ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. පසුගිය සැප්තැම්බර් 06 වන දින පිහිටුවනු ලැබූ එම සංසදයේ කණ්ඩායම ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන පිරිසක් එවැනි කටයුත්තකට අත ගැසීමේ වරදක් නැත.

ආබාධිත සහිත ප්‍රජාව වෙනුවෙන් රට තුළ තවමත් සාධාරණය ඉටු වී නොමැති බව හිටපු අමාත්‍ය අලහප්පෙරුම ප්‍රකාශ කළේය. ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා පාර්ලිමේන්තුව හරහා තෝරාගැනීමේ ජන්දයට විපක්ෂය වෙනුවෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ එරෙහිව තරග කළ අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙවැනි ව්‍යාපෘතියකට එකතු වීම සැබවින්ම ප්‍රශ්නයකි.

සමස්ත රටම බංකොලොත් කිරීමට විධායකය සහ ව්‍යවස්ථාදායකය වගකිවයුතු බව රටේ ඉහළම අධිකරණය තීරණය කර ඇති පසුබිම තුළ අබාධිත ප්‍රජාවට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් වෙනමම තරු පහේ හෝටලයක සාකච්ජා කිරීම නිශ්ඵල ක්‍රියාවකි. ඒ අවස්ථාවත් USAID ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් කිරීමට සිදුවීම අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව ආයතනයක් ලෙස අසාර්ථක වී ඇති බව නොවේද?

යහපාලන ආණ්ඩුවේ කෙරුවාව (2015-2019) සහ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ අනුවණ තීන්දු තීරණ හේතුවෙන් සමස්ත රටම ආබාධිත තත්ත්වයකට පත්වී ඇති බව පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට අමුතුවෙන් කිව යුතු නැත. රට බංකොලොත් වී ඇති තත්ත්වය තුළ ආබාධිත සහිත පුද්ගලයන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත පෙනී සිටින බවට අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුවට ප්‍රමුඛතා හඳුනාගැනීමට වුවමනාවක් නොමැති බවයි. නැතහොත් මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ආයතනයේ අවශ්‍යතා මත කිසිදු තේරුමක් නොමැති ව්‍යාපෘතිවලට කාලය නාස්ති කර දමන බවයි.

ආබාධිත ප්‍රජාවට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අවංක උනන්දුවක් තිබුණානම් USAID ආයතනයේ මූල්‍ය අනුග්‍රහය යටතේ වෝටර්ස් එජ් හෝටලයේ දිවා ආහාරය සමඟ මාධ්‍ය සාකච්ජාවක් 2023 දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සිදු වන්නේ නැත. ඇත්ත තිත්තය. අමිහිරිය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිගත යුතුය. ඇත්ත වශයෙන්ම ආබාධිත ප්‍රජාවට සාධාරණය සිදු නොවූ බව ප්‍රකාශ කිරීමට මාධ්‍ය හමුවක් පැවැත්වීමට කිසිසේත් අවශ්‍ය නැත. ඒ ආබාධිතයන් ඇතුළුව සමස්ත

ශ්‍රී ලාංකික ප්‍රජාවම අසාධාරණයට ලක් කර ඇති බැවිනි. රට බංකොලොත් වීම සම්බන්ධයෙන් අධිකරණය නොවැම්බර් 14 වන දුන් ප්‍රබල තීන්දුව අවධාරණය කළේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ විධායකය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු ක්‍රියාකර ඇති වගකීම් විරහිත ආකාරයයි.

2024 අයවැයෙන් වෙන් කළ මුදලින් මිලදී ගැනීමට නියමිත බස් රථ 600 න් කීපයක් ආබාධිත සහිත පුද්ගලයන් වෙනුවෙන් වෙන් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සහ එන වසරේ පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයේදී ඔවුන්ට විශේෂ ජන්ද පත්‍රිකාවක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක වූ පොරොන්දුව පිළිබඳව සාකච්ජා කිරීම තේරුමක් නැත. සමස්තයක් ලෙස ආබාධිත සහිත පුද්ගලයන් ඔවුන්ගේ පවුල් සමඟ ජීවත් වෙන පසුබිමක් තුළ පාර්ලිමේන්තුව උත්සුක විය යුතු වන්නේ ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දෙන පවුල්වල ජිවන තත්ත්වය යම් ප්‍රමාණයකට නැංවීමයි. තවදුරටත් ඇස්බැන්දුම් වලින් සත්‍යය යටපත් කළ නොහැක.

ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් බස්රථ වෙන්කිරීම විහිළුවකි. මෙවැනි යෝජනා රට බංකොලොත් කළ පසුවවත් පාර්ලිමේන්තුව තම ප්‍රමුඛතා හඳුනාගෙන නැති බවට ප්‍රබල සාක්ෂියකි. පාර්ලිමේන්තු දේශපාලනයේ අදහාගත නොහැකි ලෙස පිරිහීම තුළ අවශ්‍ය වන්නේ ආබාධිත පුද්ගලයින්ට හදිසියේ විශේෂ ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම නොවේ. අවශ්‍යතාව පාර්ලිමේන්තු දේශපාලන තුළ දැන්වත් විශ්වාසය තහවුරු කිරීමයි. පාර්ලිමේන්තුව ජනතාවට සමීප වීමයි. ආබාධිත පුද්ගලයන්ට විශේෂ හැඳුනුම්පතක් නිකුත්කිරීම වර්තමාන තත්ත්වය තුළ ඇත්ත වශයෙන්ම විහිළුවකි. ශ්‍රී ලංකාව දැන්වත් රටේ හදිසි අවශ්‍යතා සහ අත්හැරිය නොහැකි ප්‍රමුඛතා හඳුනාගත යුතුය.

මේ වසරේ මාර්තු මාසයේ තුන්වන සතිය අවසන් වීමට පෙර පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව නියමිතව තිබූ පළාත් පාලන ජන්දය නොපැවැත්වූයේ මහා භාණ්ඩාගාරයට මුදල් නොමැති බවට ප්‍රකාශ කළ ආණ්ඩුව 2024 වසරට ජාතික මැතිවරණයක් පැවැත්වීමට රුපියල් බිලියන 10 ක් මෙවර අයවැයෙන් වෙන් කළ බවට ප්‍රකාශ කර ඇත. සමස්ත ජනතාව දැනටමත් පීඩාවට පත්වී ඇති තත්ත්වය තුළ වැට් බද්ද 15% සිට 18% දක්වා ලබන ජනවාරි 01 දින වැඩිවීම ජනතාවට දරාගත නොහැකි වනු ඇත.

2015 සිට මේ දක්වා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ප්‍රජාව, යුරෝපීය සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රාජ්‍ය නොවන ජාලය ක්‍රියාත්මක කළ වැඩසටහන් හරහා ජනතාවට අත්වූ ප්‍රතිලාභ සම්බන්ධයෙන් පූර්ණ විමසුමක් කළ යුතුය. නිසි අධ්‍යනයක් කළානම් ආබාධිත ප්‍රජාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට තරු පහේ හෝටලයකට එකතු වන්නේ නැත.

මා මිත්‍ර අලහප්පෙරුම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තවත් අපූරු යෝජනාවක් කළේය. ඒ දෙසැම්බර් 04 වන දින ව්‍යවස්ථාව බ්‍රේල් ක්‍රමයට ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ප්‍රකාශයට පත් කිරීමට කළ යෝජනාවයි. විසි එක වරක් සංශෝධනය කර ඇති ව්‍යවස්ථාව විධායකය සහ ව්‍යවස්ථාදායකය තරගයට උල්ලංඝනය කරන රටක ආබාධිත ප්‍රජාවට බ්‍රේල් ක්‍රමයට ව්‍යවස්ථාව ලබාදීම යෝජනා කිරීම ඇත්ත වශයෙන්ම අදහාගත නොහැක. පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ආයතනය ලෙස සමස්ත ජනතාවම ආබාධිත ප්‍රජාවක් ලෙස සලකන බව පැවසීම වුවද වැරදි නැත.

මැතිවරණ කොමිසම කාලයක් තිස්සේ ආබාධිත ජන්ද ප්‍රජාවේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් වැඩකටයුතු රාශියක් කර ඇත. මේ සම්බන්ධයෙන් ඒ කොමිසමට නිසි ගෞරවය හිමිවිය යුතුය. ලියුම්කරු මෙහිදී ප්‍රශ්න කළේ විදේශ මූල්‍ය සම්පත්වලින් ක්‍රියාත්මක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කාරණා පිළිබඳවයි.

ලිංගික හිංසනය මැඬලීමටත් උත්සාහයක්

රැකියා ස්ථානයේ සිදුවෙන ලිංගික හිංසනයන් වැළැක්වීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමට USAID සහ NDI ආයතනවල මැදිහත්වීමෙන් ‘ඔබේ අයිතීන් දැනගන්න‘ යන කෘතිය කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති උත්සවයකදී එළි දැක්විණි. ඒ නොවැම්බර් 29 දිනය. ඒ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ආබාධිත ප්‍රජාවේ අවශ්‍යතා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීමට දිනකට පෙරය.

කාන්තාවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහිව නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා අන්තර්ජාතිකව ක්‍රියාත්මකි‘16 Days Of Activism’ වැඩසටහනට සමගාමීව මෙම කෘතිය එළිදැක්වීම සංවිධානය කර තිබිණි. NDI ආයතනයේ මෙරට අධ්‍යක්ෂ වන අසෝක ඔබේසේකර මෙම අවස්ථාවට සහභාගි විය.

දූෂණය, වංචාව, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා සම්මන්ත්‍රණ, වැඩමුළු සහ පිටරට සවාරි හරහා මර්දනය කළ නොහැකි සේම ලිංගික හිංසනය ද මෙවැනි ක්‍රියාමාර්ග මගින් පාලනය කළ නොහැක. පාර්ලිමේන්තුව තුළ සිදුවන ලිංගික හිංසනය (මෙය ලිංගික අල්ලසක් ලෙස වුවද අර්ථ දැක්විය හැකිය) සම්බන්ධයෙන් 2023 වසරේ කළ චෝදනා, ප්‍රතික්ෂේප කිරීම් සහ පාර්ලිමේන්තු අධිකාරිය කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු නොකර මෙවැනි උත්සව පැවැත්වීමේ තේරුමක් නැත. මෙවැනි ක්‍රියාකාරකම් USAID ආණ්ඩ NDI අවශ්‍යතාවක් පමණද?

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ පාර්ලිමේන්තු නිලධාරිනියක ලිංගික හිංසනය කළ බවට මෑතකදී චෝදනා කළේය. මන්ත්‍රීවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. එය ඔප්පු කළහොත් තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවට පොරොන්දුවක් දී ඇත. විපක්ෂ මන්ත්‍රීවරයා කළ චෝදනාව වරප්‍රසාද කොමිටිය හරහා පරීක්ෂණයකට ලක්කිරීමටද මහාචාර්යවරයා ඉල්ලීමක් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම අතරතුර ඇතිවූ මෙම සිද්ධියට පෙර නොයෙක් තරාතිරමේ පාර්ලිමේන්තු සේවකයන් ගණනාවක් මෙම චෝදනාවට ලක්වී තිබුණු බව අමතක කළ නොහැක.

වසර 2017 සිට 2021 දක්වා ඇමෙරිකාවේ ජනාධිපති වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව 1970 සිට කාන්තාවන් නොයෙකුත් චෝදනා එල්ල කර ඇත. එම චෝදනා අතර ස්ත්‍රී දූෂණය, ලිංගික හිංසනය, අවසර නොමැතිව සිප වැලඳ ගැනීම සහ බලහත්කාරයෙන් ස්පර්ශ කිරීම ඇත. USAID ලංකාවේ ක්‍රියාත්මක කරන මෙවැනි වැඩසටහන් ඇමෙරිකාවේ කරනවාද? නැතහොත් අනෙකුත් දියුණු රටවල කරනවාද?

ජාත්‍යන්තර සහයෝගයෙන් රාජ්‍ය නොවන යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමේ වරදක් නැත. රාජ්‍ය නොවන ආයතන ජාත්‍යන්තරයේ අවධානය දිනාගැනීම විමසීමට ලක් විය යුත්තේ විධායකය සහ ව්‍යවස්ථාදායකය රට බංකොලොත් කර ඇති බව අධිකරණය තීන්දු කර ඇති පසුබිමකය. රාජ්‍ය නොවන සංවිධාන කිසිවෙකුගේ වෛරයට පාත්‍ර විය යුතු නැත. නමුත් පාර්ලිමේන්තුවෙන් අනිවාර්යෙන්ම විය යුතු වගකීම් ඉටු කිරීමට ජාත්‍යන්තර වැඩසටහන් අවශ්‍ය නැත. අවම වශයෙන් ජාත්‍යන්තර මැදිහත්වීම තුළ හෝ තම වගකීම ඉටු කරනවානම් ආර්ථිකය කඩා වැටෙන්න නැත. මීට දිය හැකි හොඳම උදාහරණය 2016 පාර්ලිමේන්තුව සහ USAID අත්සන් කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 13 නැතහොත් රුපියල් බිලියන 1.92 වටිනා යහපාලනය ස්ථාපිත කිරීමේ ගිවිසුමයි. කරු ජයසූරිය කථානායක ලෙස කටයුතු කළ සමයේ මෙම ගිවිසුම ක්‍රියාත්මක කරනවිට එජාප රජය යටතේ මහා බැංකුව දෙවරක් මංකොල්ල කා තිබිණි. වසර තුනක් සඳහා අත්සන් කළ මෙම වැඩසටහන අවසන් වන විට ශ්‍රී ලංකාව 17 වරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ වැඳ වැටෙන තත්ත්වයක සිටි බව රහසක් නොවේ.

කාරක සභා සඳහා ආචාර ධර්ම

USAID සහ NDI මූල්‍ය දායකත්වයෙන් සහ මැදිහත්වීමෙන් මෑතකදී පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජිතයන් සහ අනුයුක්ත කාර්ය මණ්ඩල සාමාජිකයන්ද එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ කාරක සභා ක්‍රියාවලිය අධ්‍යනය කිරීමේ දස දින නිල වැඩසටහනකට සහභාගි විය.

ශ්‍රී ලාංකික නියෝජිත පිරිස 20 දෙනකුගෙන් පමණ සමන්විත වූ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ප්‍රධානි විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර එම කණ්ඩායමෙන් ඉවත් කර තිබිණි. ඒ ඔහුට වීසා නිකුත් කිරීම කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබූ නිසාය. ඇමෙරිකානු තානාපතිවරිය වන ජුලි චන්ග් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කළ බවට චෝදනා කළ වීරසේකර මන්ත්‍රීවරයාට ඇමෙරිකානු තානාපති කාර්යාලය වීසා නිකුත් කළත් කිසිසේත්ම මෙවැනි සංචාරයකට එක්වීමට නොහැකිය.

ඇමෙරිකානු සංචාරයෙන් පසුව පාර්ලිමේන්තු කණ්ඩායම කොළඹට පැමිණීමෙන් පසුව පාර්ලිමේන්තුව නොවැම්බර් 08 වන දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මෙලෙස සඳහන් විය. “…කථානායක තුමන්ගේ අනුමැතිය සහිතව, පාර්ලිමේන්තු මහා ලේකම් කාර්යාලයේ එකඟත්වයෙන්, කාරක සභා සඳහා ආචාරධර්ම සහ නීති සමුදායක් හඳුන්වාදීමට යෝජනා කිරීමටද මෙම කණ්ඩායම එකඟ වූහ.”

පාර්ලිමේන්තුව ගමන්කරන මාර්ගය පිළිබඳව මැති සබය සංවේදී විය යුතුය.

යහපාලන කාලය ආරම්භයේ සිට පාර්ලිමේන්තුව සහ විදේශීය ආයතන සමඟ සැලකිය යුතු ලෙස සම්බන්ධතා වර්ධනය විය (2015-2019). ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු කාලයේ (2019-2022) එම ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක විය. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ මෙම ලියුම්කරු පාර්ලිමේන්තුවෙන් මෑතකදී (2023 සැප්තැම්බර්) කළ විමසීමකදී පහත සඳහන් ආයතන පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ සංවර්ධන හවුල්කරුවන් ලෙස නම් කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (United Nations Development Programme), ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනම (Westminster Foundation for Democracy), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), NDI ආයතනය , IRI ආයතනයයි (International Republican Institute) සහ ජර්මානු නිදහස සඳහා ෆෙඩ්රික් මනූමන් පදනමයි. ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව එකට වැඩකිරීමේ වරදක් නැත. නමුත් සැලකිය යුතු මූල්‍යමය ආයෝජනයක් කිරීම තුළින් එම ආයතන බලාපොරොත්තු වූ ඉලක්ක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලබා ගත්තාද යන ප්‍රශ්නයට පිළිතුරු විමසා බැලිය යුතුය. පාර්ලිමේන්තුව අන්තයටම පිරිහී ඇති බව අවධාරණය කළ යුතුය. ඒ පාර්ලිමේන්තුවේ මූලික වගකීම් වන මහජන මුදල් පාලනය සහ නීති සම්පාදනය පැහැර හැර ඇති බව සක්සුදක් සේ පැහැදිලි නිසාය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ වර්තමාන සභාපති කරු ජයසූරිය කථානායක ලෙස කටයුතු කළ (2015-2019) සහ වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන (2019 සිට අද දක්වා) කාලය සම්බන්ධයෙන් අවම ලෙස අභ්‍යන්තර විමර්ශනයක් කළ යුතුය.

තවදුරටත් රටට පලදායි නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ තේරුමක් නැත. දැනට ක්‍රියාත්මක පාර්ලිමේන්තු ක්‍රමයේ ප්‍රශ්නයක් නොමැතිනම් පක්ෂ නායකයන්ට ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ හැකිය. පාර්ලිමේන්තුවම සම්මත කළ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ විජය පුවත්පත් සමාගමේ මාධ්‍යවේදියෙකු වන චාමර සම්පත් 2018 ඉදිරිපත් කළ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කළ පාර්ලිමේන්තුවක් ජනතාවට කෙතරම් සංවේදීදැයි තේරුම් ගැනීමට අපහසු නැත. 2023 මුල අභියාචනාධිකරණය පාර්ලිමේන්තුව ගත් ක්‍රියාමාර්ගය වැරදි බවට තීන්දු කළේය. නමුත් අවාසනාවකට රට බංකොලොත් කළ කණ්ඩායම සම්බන්ධයෙන් රටේ ඉහළම අධිකරණය නොවැම්බර් 14, 2023 දුන් තීන්දුව මෙන්ම පාර්ලිමේන්තුව වැරදිකරු කළ අභියාචනාධිකරණය තීන්දුව පිළිබඳව දේශපාලන පක්ෂව නිසි අවධානය යොමු වී නැත. පක්ෂ -විපක්ෂ කණ්ඩායම් තවදුරටත් තම තමන්ගේ ව්‍යාපෘති වලදී සිටිති.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment