රට කරවන්ට නම්….මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ….

නන්දා මාලිනියගේ මෙම ජනප්‍රිය ගී පද පෙළින් ම අප මෙම ලිපිය ආරම්භ කළේ අද වන විට එය මෙරට පාලකයන් ඔවුන්ගේ තේමා පාඨය බවට පත්කරගෙන ඇති නිසාය. මීට දශක ගණනාවකට පෙර ලියැවුණු මෙම ගීතය එදාටත් වඩා හොඳින්ම ගැළපෙන්නේ අද දවසට ය. ගීතය ලියැවෙන කාලයේ රට පාලනය කළ රාජ්‍ය පාලකයන්ට වඩා සිය දහස් ගුණයකින් දැන් සිටින පාලකයන් රාජ්‍ය සම්පත් විකුණා දමන්නේ දේපළ වෙන්දේසිකරුවන්ගේ භූමිකාවට පණපොවමිනි. මීළඟ මැතිවරණය පවත්වන දිනය පිළිබඳ කිසිදු හා හූවක් නැත. ජනතාවගේ අතට බලය පැමිණෙන විට පාලකයන් මේ රටේ දේපළ පමණක් නොව ජනතාවද වහල් සේවයට විකුණා දමා තිබීමට පුළුවන.

ලොව බොහෝ රටවල්වලට පොළොවෙන් ලැබෙන ස්වභාවික සම්පත් හිමිව නැත. නමුත් අපේ රටට නැතැයි කියන්නට දෙයක් නැති තරමටම ස්වභාවික සම්පත් ඇත. එහෙත් මෙරට දියුණු කිරීමට නැති එකම දෙය නම් ඒවා ප්‍රයෝජනයට ගෙන රට දියුණු කිරීමට මොළය ඇති නායකත්වයක් නොමැති වීමයි. බලයට පත්වන හැම නායකයාම බලන්නේ පරම්පරා ගාණකට ඇතිවන තරමට මුදල් හම්බ කිරීමට විනා රට දියුණු කිරීමට නොවේ. අපට ඇති ස්වභාවික සම්පත් කිහිපයක් අපි එකෙන් එක ගෙනහැර දක්වමු.

රට වටේම මුහුද

රටම වෙන්දේසියේ? ඩොලර් හොයන්න හැකි රටක් විකුණා කන්න යන හැඩක්!

ශ්‍රී ලංකාවේ ගොඩබිම භූමි ප්‍රමාණය මෙන් අට ගුණයක් විශාල මුහුදු ප්‍රදේශයක් මෙරට සතුව ඇතත් ඉන් නිසි ඵල ප්‍රයෝජනයක් ගන්නේ නැත. රට වටකර මුහුද තිබුණත් මාළු, කරවල, උම්බලකඩ පවා ගෙන්වන්නේ පිටරටිනි. මාළු මිල ගිනි ගණන්ය. මාලදිවයින ඉතා කුඩා රටක් වුවත් මුහුද ආශ්‍රය කරගෙනම ගොඩ ගිය රටකි. නමුත් මෙරට පාලකයන් කරන්නේ අපේ මුහුදු ප්‍රදේශයේ සිටින මත්ස්‍ය සම්පත විදෙස් රටවලට නෙළා ගෙන යෑමට ඉඩදී බලා සිටීමය. ඊට අමතරව උතුරු පළාතේ තෙල් නිධි පිහිටා ඇතැයි වාර්තා වේ.

මුහුදට අමතරව ඉතාමත් දැකුම්කළු මුහුදු වෙරළක් මෙරටට හිමිය. නමුත් අනවසර ඉදිකිරීම්වලින් දිනෙන් දින එම සුන්දර වෙරළ අසුන්දර වන සිදුවීම් සිදු වනවා විනා එයින් නිසි ඵල ප්‍රයෝජනයක් ලබන ආකාරයක් දකින්නට නැත.

ඒ වෙනුවට කරන්නේ මෙරට සතු ඉතාමත් සුන්දර දූපත්, වෙරළ තීරයන් විදේශීය රටවල් සඳහා බදු දීමය. එයද හිතාගන්නත් බැරි තරම් ඉතාමත් සොච්චං මිල ගණන් වලටය. මෙරට සිටින දක්ෂ ව්‍යවසායකයන් සම්බන්ධ කරගෙන ඔවුන් දිරි ගන්වා සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය දියුණු කරනවා වෙනුවට පත්වන හැම ආණ්ඩුවක්ම කරන්නේ විදෙස් රටවලින් ලැබෙන කොමිස් කුට්ටි වලට වහවැටී රටේ සම්පත් විකුණා දැමීම ය. ඒ ආකාරයෙන් විදෙස් රටවලට ලබා දුන් කල්පිටිය ප්‍රදේශයේ දූපත් බදු ගත් පිරිස් මේ වන තෙක් ඊට අදාළ බදු මුදල් ගෙවා හෝ කිසිදු ව්‍යාපෘතියක් හෝ ආරම්භ කර නැත. ඊට අමතරව මෙරට සුප්‍රසිද්ධ ධනවතුන්ට දේශපාලන හිතවත්කම් මත ඉතාමත් වටිනා භූමි භාගයන් රැසක් ලබා දී ඇත. ඒ කිසිවකින් මෙරට ආර්ථිකයට සත පහක දායකත්වයක් ලැබෙන්නේ නැත.

මෙරටට හිමි තවත් සුවිශේෂී සම්පතක් වන්නේ ස්වභාවික මෙන්ම ආර්ථික අතින් ඉතා ඉහළ වටිනාකම් සහිත වරායන් පිහිටා තිබීමය. කොළඹ, ගාල්ල, හම්බන්තොට, ත්‍රිකුණාමලය ආදී ලෙසින් ඉහළ වටිනාකමක් සහිත වරායන් රැසක් පිහිටා ඇත. මෙරට වරායන්වල වටිනාකම තවත් වැඩිවන්නේ අප රට පිහිටා ඇති භූගෝලීය පිහිටීම නිසාය. ජාත්‍යන්තර මුහුදු සීමාව ආසන්නයේම පිහිටි හම්බන්තොට වරාය මේ වන විට චීන මකරාට බන්දේසියක තබා පුද දී අවසන්ය. ඒ නිකන්ම නොව වරායත් සමග ඉඩම් අක්කර පහළොස් දාහක් ද සමඟය. දේශපාලඥයන් වරාය ඉදි කරන අවස්ථාවේ පැවැසුවේ රට ගොඩගන්නට අප අසලින් යන නැව් වලට තෙල් සහ වතුර දුන්නත් ඇති යැයි කියාය. එහෙව් වටිනාකමක් ඇතැයි කියූ හම්බන්තොට වරාය චීනයට අනූ නව අවුරුද්දට බදු දුන්නේ ඩොලර් බිලියන 1.2 කටය. ඒ චීනයෙන් වරාය ඉදිකිරීමට ලබා ගත් ණය ගෙවා දැමීමට යැයි පවසමිනි. නමුත් ගෙවා දැමූ ණයක් ද නැත. අවසානයේ සිදු වූ එකම දෙය ලැබුණු මුදලින් ණයත් නොගෙවා කා බී විනෝද වී වරායත් සමග අක්කර දහස් ගණනක් චීන කොම්පැනි වලට දී අත පිහිදා ගැනීම පමණි.

හම්බන්තොට වරාය චීනයට ලබා දීම නිසා කොළඹ වරායේ කොටසක් ඉන්දියාවට ලබා දීමට ආණ්ඩුවට සිදුවිය. කොළඹ වරාය පවතින්නේ ලොව හොඳම වරායන් අතරින් 26 වැනි ස්ථානයේය. ඒ ඉන්දියාවටත් වඩා ඉදිරියෙනි. ත්‍රිකුණාමල වරාය ඇමරිකාවෙන් ඉල්ලයි. මත්තල සහ පලාලි ගුවන් තොටවල් තවත් රටකින් ඉල්ලයි. මෙලෙස කුණුකොල්ලයට විකුණා දමන්නේත්, බදු දෙන්නේත් වෙන කිසිවක් නොව රටට ඩොලර් උනන උල්පත් ය. මෙරටට අවශ්‍ය ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ගෙවන්නට නම් ඩොලර් අවශ්‍යය. නමුත් විදෙස් රටවල සමාගම් අතට මෙම ආර්ථික මර්මස්ථාන පත් වූ විට සිදුවන්නේ දැනට ලැබෙන ඩොලර් ටිකක් නොලැබී යෑමය. එම සමාගම් ඔවුන්ගේ ලාභය ගෙන යන්නේ ඩොලර් වලිනි. අප රටට සුළු බදු මුදලක් ලැබුණත් ඒ ලැබෙන්නේ රුපියල් වලිනි. පාලකයන් මේ සත්‍යය තේරුම් නොගන්නේ ඔවුන්ට ඒ පිළිබඳ දැනුවත්භාවයක් නොමැති නිසාද නැතිනම් එම සමාගම්වලින් ලැබෙන වරදාන වරප්‍රසාද හමුවේ දැයි අප නම් නොදනී.

ඛනිජ වැලි නිධි

රට දියුණුවෙන් දියුණුවට පත් කළ හැකි ඛනිජ නිධියක් පුල්මුඩේ ප්‍රදේශයේ පිහිටා ඇත ඊට අමතරව නිලාවැලි, මාරවිල, නාත්තන්ඩිය හලාවත, අම්පාර වැනි මෙරට වෙරළ තීරයන් කිහිපයකම ඉතා වටිනා ඉල්මනයිට්, සිලිකා වැලි රූටයිල්, වැනි ඛනිජ වැලි නිධි පිහිටා ඇත. අදටත් මේවායෙන් අප ප්‍රයෝජන ලබන්නේ ඉතාමත් සුළු වශයෙනි. අප තවමත් මේ සියල්ලක්ම අපනයනය කරන්නේ අමුද්‍රව්‍ය වශයෙන් පමණි.

අද වන විට ගුවන් යානා, අභ්‍යවකාශ යානා මෙන්ම මෝටර් රථ නිෂ්පාදනය ආදී බොහෝ කාර්යයන් සඳහා යොදා ගන්නා ලෝහයක් වන්නේ ටයිටේනියම් ලෝහයයි. මේ ලෝහය නිෂ්පාදනය කරන්නේ ඉල්මනයිට් ඛනිජ වැලි නිස්සාරණය කිරීමෙනි. එවන් ඉහළ වටිනාකමක් සහිත, අගය එකතු කළ නිෂ්පාදන අපනයනයට දශක ගණනක් ගියත් මෙරට පාලකයන් අත තබා නැත. ඒ වෙනුවට ඔවුන් සූදානම් වන්නේ ගෙඩිය පිටින්ම මෙම සම්පත් පිටරටවලට විකුණා දැමීමට ය.

පසුගිය කාලයේ පුල්මුඩේ ප්‍රදේශයේ පිහිටි ඉල්මනයිට් නිධියෙන් විදෙස් නැව් පැමිණ හොර රහසේ ඛනිජ වැලි ඛනිජ වැලි පටවාගෙන ගිය සිදුවීම් රැසක් වාර්තා විය. මේ සියල්ලකම මුලටම සිටින්නේ ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ ආරක්‍ෂක අංශවල නිලධාරීන්ය. ඔවුන්ගේ උදව් උපකාර නැතිව විදෙස් රටක නැවකට මෙරටට පැමිණ ඛනිජ වැලි පටවා ගෙන යා නොහැක. කෙසේ වෙතත් දැන් මේ සියල්ල විකිණීමේ ලැයිස්තුවට ඇතුළත් කර අවසානය.

රට අභ්‍යන්තරයේ පවතින ඛනිජ සම්පත් ප්‍රමාණය ප්‍රයෝජනයට ගත්තත් මේ රට සුරපුරයක් කළ හැක. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දෙක තුනක හැරුණු විට අනෙක් සෑම දිස්ත්‍රික්කයකම මැණික් නිධි පිහිටා ඇත. බුත්තල ප්‍රදේශයේ යපස් නිධියක් පිහිටා ඇත. රන් සහ තඹ නිධි පිහිටා ඇත. නමුත් අද වනතුරු පාලකයන් මේවායින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන ආකාරයක් දක්නට නොලැබේ. ලොව හොඳම මිනිරන් පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේය. තෙතමනයෙන් අඩු ඉතාම පිරිසිදු ඉහළ වටිනාකමකින් යුතු මිනිරන් නිධි රාශියක් විවිධ ප්‍රදේශවල පිහිටා ඇත. නමුත් තවමත් අප ඒවායින් වැඩි හරියක් අපනයනය කරන්නේ අමුද්‍රව්‍ය වශයෙනි. ඉහළ වටිනාකමක් සහිත ග්‍රැෆීන් නිෂ්පාදනය කර අපනයනය කළ හැකිනම් මේ පවතින ණය කන්දෙන් ගොඩ ආ හැක.

පුංචි උදාහරණයක් ලෙස කිරි එළදෙනක සිටින පවුලක ගොවියෙක් කිරි දොවා විකුණනවාට වඩා යෝගට්, කිරි ටොෆී, හෝ වෙනත් රස කැවිලි නිෂ්පාදනය කර විකිණිය හැකිනම් ලැබිය හැකි ලාභය අධිකය. මෙරට සතු ඛනිජ සම්පත් ගත්තත් තත්ත්වය එසේය. අවාසනාවට කරුණ වන්නේ රට පාලනය කරන මෝඩ රැල නිරන්තරව කිරිදෙන, ගොම පොහොර දෙන එළදෙන පිටින්ම එකපාර මස්කඩයට විකුණා දමනවා වැනි ක්‍රියාවන් සිදු කිරීම ය.

ණයට, පිනට කාපු එකාට රස්සාවක් කර ජීවත් විය නොහැක. ඔහු බලන්නේම නිවසේ පවතින කුමක් හෝ දෙයක් විකුණා බඩ වඩා ගැනීමට ය. මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ද ඒ ආකාරයෙනි.

රාජ්‍ය ආයතන

රටම වෙන්දේසියේ? ඩොලර් හොයන්න හැකි රටක් විකුණා කන්න යන හැඩක්!

වත්තේ පිටියේ දේවල් විකුණා අවසන් වූ පසු විකිණීමට පෙළඹෙන්නේ තම නිවෙසේ තිබෙන බඩුමුට්ටු වෙතටය. පාලකයන් ද දැන් එළඹ තිබෙන්නේ එම අවස්ථාවට ය. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සැලසුම වී තිබෙන්නේ රාජ්‍ය ආයතන සියල්ල විකුණා දමා එදා වේල පිරිමසා ගැනීමටය.

ආණ්ඩුව විකුණන්න සැලසුම් කර ඇති ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන ආයතනයක් වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයයි. එමිරේට්ස් ආයතනය මෙම ගුවන් සේවය පාලනය කරන අවධියේ බිලියන ගණනින් ලාභ ලැබූ ආයතනය පාලකයන්ගේ වරදින් ආණ්ඩුවට පවරාගෙන අවුරුද්දක් යන්නටත් මත්තෙන් පාඩු ලබන තත්ත්වයට පත් විය. ඊළඟට ඇත්තේ විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාවය. ප්‍රතිව්‍යුහගතකරණය නමැති ලේබලය අලවා මේ වනවිට විකුණා දැමීමේ පිඹුරුපත් සියල්ල සකසා අවසන්ය.

මාර්ග සංවර්ධන අධිකාරිය ද විකුණා දමන ලැයිස්තුවේ ඇති තවත් එක් ආයතනයකි. අධිවේගී මාර්ග පද්ධතිය ආදායම් ඉපදවිය හැකි මහා ධන උල්පත් ය. ඒ සියල්ල විකුණා දැමීමට සැරසෙන්නේ කුණු කොල්ලයට ය.

ආණ්ඩුව විසින් විකුණා දැමීමට සූදානම් වන ආයතන අතර පාඩු ලබන ආයතන පමණක් නොව පාඩු නොලබන ආයතන ද වේ. ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස්, රාජ්‍ය බැංකු එවැනි ආයතන කිහිපයකි. මේ විකුණා දැමීමට සූදානම් වන ලැයිස්තුවට ආයතන සිය ගණනක් ඇතුළත් වේ. එකෙන් එක ඉදිරිපත් නොකළත් රජය සතු සියලුම ආයතන විකුණා දමා එයින් නිදහස් වීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබේ.

ආණ්ඩුව විසින් විකුණා දැමීමට සූදානම් වන සමහර ආයතන කිසිසේත් විදෙස් රටවල් හෝ පෞද්ගලික අංශය සතු නොවිය යුතු ආයතන වේ. ඒ සන්නිවේදන සහ බලශක්ති අංශවලට අදාල ආයතනයන්ය. නමුත් ආණ්ඩුවට ඒ පිළිබඳ වගේ වගක් නැත. ලොව බොහෝ රටවල එවැනි ක්‍ෂේත්‍ර කිසිසේත් පෞද්ගලික අංශයට සෘජුව හෝ විදෙස් රටවලට ලබා නොදෙන්නේ යුදමය තත්ත්වයක් වැනි හදිසි අවස්ථාවකදී එවැනි පාර්ශ්වයන්ගේ අවසරය ඒ සඳහා ලබා ගත යුතු වන බැවිනි.

ණයට කන්නට පුරුදු වූ එකා ඊළඟට කරන්නේ ගෙදරින් කොටසක් හෝ ඉඩමෙන් කොටසක් බදු දීම ය. නැතිනම් විකුණා දැමීම ය. ආණ්ඩුවක් දැන් එළඹ ඇත්තේ ඒ අවස්ථාවට ය. ඒ රාජ්‍ය ආයතන සතු ඉතා ඉහළ වටිනාකමක් සහිත ස්ථාන කීයකට හෝ විකුණා දැමීමට හෝ හෝටල් දැමීමට යැයි පවසමින් බදු දීමට ය. එවන් අවස්ථාවකට ආසන්නතම උදාහරණය වන්නේ නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල සංචාරක හෝටල් සඳහා ලබාදීමට ජනාධිපතිවරයා බල කිරීමය. ඊට පෙර කොළඹ ප්‍රදේශයේ ඉහළ වටිනාකමක් සහිත ස්ථාන කිහිපයක පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන රාශියක් සංචාරක හෝටල් සඳහා ලබා දුන්නත් සමහර ස්ථානවල අදටත් හැදූ හෝටලයක් නැත.

රටේ පාලනයට මුදල් හිඟ වන අවස්ථාවක් පාසා කුමක් හෝ විකුණා රට ගෙන යා හැක්කේ ටික කාලයක් පමණි. හැමදාමත් විකිණීමට ඉඩකඩම්, දේපළ පැටව් ගහන්නේ නැත. එම සත්‍යය ආණ්ඩුව වටහාගත යුතුය. කීයක් හෝ ලැබුණු ආදායම් මාර්ගයත් විකුණා දැමූ පසු සිදුවන්නේ මහමගට බැස හිඟා කෑම පමණි. තව ටික දිනක් මේ ආකාරයෙන් රට ගෙනගියොත් ආණ්ඩුවට සිදුවන්නේ මිලියන විසිදෙකක් ජනතාවගේ කුස පුරවන්නට ලෝකෙ වටේ හිඟා කෑමටය.

ආණ්ඩුව තවමත් ප්‍රමාද නැත. පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන දැන්වත් පාඩු ලැබීමට හේතු සොයා බලා නිස්කාරනේ පඩි ලබන සේවකයන් පිළිබඳ අධ්‍යයනයක් සිදුකර සේවකයන් හිඟ ආයතනවලට අනුයුක්ත කර මෙරට සතු ඛනිජ සම්පත් නිසි පරිදි ඉහළ වටිනාකමක් ලැබෙන අයුරින් සකස් කර අපනයනය කිරීමෙන් මෙම ණය උගුලෙන් ගැලවිය හැක. ඒ හැර මේ ණය උගුලෙන් ගොඩ ඒමට වෙනත් කිසිදු විකල්පයක් නැත.

හැමදාමත් තේ, පොල්, රබර්, ඇඟලුම් වැනි ක්‍ෂේත්‍රවලින් යැපිය නොහැක. දැනටමත් එම ක්‍ෂේත්‍ර කඩා වැටී අවසන්ය. නව ලොව සමඟ ඉදිරියට යෑමට නම් නව තාක්ෂණය ප්‍රයෝජනයට ගත යුතුමය. නැනෝ තාක්ෂණය මුලින්ම හඳුන්වා දුන් ආසියාතික රට ශ්‍රී ලංකාවය. නමුත් දැන් අප පසුකර බොහෝ ආසියානු රටවල් ඉදිරියට ගොස් හමාරය.

බලයට පත් වූ නායකයන් ප්‍රකාශ කළේ පළමුවත්, දෙවනුවත් තෙවනුවත් තමන්ට වටින්නේ මව්බිම බවය. එසේම රජය සතු සම්පත් කිසිවක් පෞද්ගලීකරණය නොකරන බවත් දුන් ඒවා පවා නැවත පවරා ගන්නා බවත් දේශපාලන වේදිකාවල මහා පුරාජේරු කතා පැවසූහ. නමුත් දැන් කටයුතු කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයටය. ඔවුන් සිතා සිටින්නේ ඔවුන් රටේ භාරකරුවන් නොව අයිතිකරුවන් කියාය.

ලොව බොහෝ රටවල ආණ්ඩු විසින් ව්‍යාපාර කටයුතු නිසි අයුරින් මෙහෙයවන අවස්ථා ඕනෑ තරම් තිබේ. ඔවුන් කිසි විට ඒ සඳහා දේශපාලනය ඈඳාගන්නේ නැත. දේශපාලන හෙන්චයියන් තොගපිටින් පුරවන්නේ නැත. පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන තම රටවැසියන්ට වැඩි වාසි සැලසෙන අයුරින් කටයුතු කරයි. ආයෝජකයකු සම්බන්ධ කර ගත්තත් එසේය. නමුත් මෙරට පාලකයන් තමන්ගේ සාක්කුවට සල්ලි කුට්ටියක් වැටේ නම් රට ගැන නොව තමන් ගැනවත් නොසිතා ඕනෑම දහජරා වැඩක් කරයි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment