මෙරට භීතියෙන් සලිත කළ එල්ටීටීඊ ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් දියත් කළ මෙහෙයුම්වල අවශ්‍යතාවයන්ට අනුව මායිම් ගම්මානවල තරුණ පිරිස් ඒකරාශී කරමින් යුද්ධ පුහුණුව ලබාදී මායිම් ගම්මාන සහ එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් භූමි ආරක්ෂා කිරීම සඳහා නව බලඇණි සමූහයක් පිහිටුවීමේ අවශ්‍යතාවය පැන නැගුණි. ඒ අනුව එම බලඇණි එකතුව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ආරම්භය ලෙස සැලකේ. එවක රටෙහි පැවති ජාතික අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමින් “ස්වාර්ථයට පෙර දේශය” යන ආදර්ශ පාඨය පෙරදැරිව ක්‍රියාත්මක මෙම බලමුළුව රට වෙනුවෙන් වූ සිය මෙහෙවර දිවි හිමියෙන් කැපව ඉටුකර ඇති රෙජිමේන්තුවකි. එදා මෙදා තුර එම අභිමානවත් ගමන් මගෙහි 33 වන සංවත්සරය 2023 නොවැම්බර් මස 01 වන දින සමරනුයේ රෙජිමේන්තු ඉතිහාසය තුළ ප්‍රථම වතාවට යුද්ධ හමුදාධිපතිවරයකු තම රෙජිමේන්තු අධිපති ලෙස පත්වීමේ අභිමානය ද සමඟිනි.

ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ නිහඬ විරුවන්ගේ තිස්තුන් වසරක අභිමානය

1980 දශකය තුළදී ශ්‍රී ලංකාවේ උත්සන්න වෙමින් පැවැති එල්ටීටීඊ ක්‍රියාකාරකම් හේතුවෙන් තර්ජිත මායිම් ගම්මානවල වෙසෙන සිවිල් ජනතාවගේ ආරක්ෂාව සඳහා සහ ආර්ථික මර්මස්ථාන මෙන්ම ප්‍රභූ ආරක්ෂක රාජකාරීන් සැපයීමේ අවශ්‍යතාවය මුල්කර ගනිමින්, එවකට ප්‍රභූ ආරක්ෂක මුර රාජකාරීන් සඳහා යොදවා සිටි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායට අයත් නිලධාරීන් 110 ක් හා සෙසු නිලයින් 3640 ක් ඒකරාශී කොට 1989 වර්ෂයේ නොවැම්බර් මස 01 වන දින පළමු මුර බලඇණිය නමින් නව ඒකකයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව යටතේ ආරම්භ කළද 1990 වර්ෂයේ නොවැම්බර් මස 01 වන දින සිට “ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව” වශයෙන් නව රෙජිමේන්තුවක් ලෙස ස්ථාපිත කරන ලදි. එසේ නව රෙජිමේන්තුවක් වශයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ප්‍රථම රෙජිමේන්තු අධිපති ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් එස්ජීබී ද සිල්වා පත්වීමෙන් අනතුරුව රෙජිමේන්තුව කුරුණෑගල වැහැරවත්ත ප්‍රදේශයේ පිහිටුවන ලදි.

2009 මැයි 19 වන දින වසර 30 ක් පුරා මෙරට පැවති ත්‍රස්තවාදය නිමාවට පත් කරමින්, මව්බිම නිදහස් කොට අනාගත පරපුර වෙත දායාද කරන අවස්ථාව වන විට, මෙම අද්විතීය රෙජිමේන්තුවට අයත් නිලධාරින් 27 හා සෙසුනිලයන් 1161 දෙනකු තම ජීවිත රට ජාතිය වෙනුවෙන් පුද කර තිබුණි. එසේම, තම ශරීර අවයව අහිමි කර ගනිමින් නිලධාරීන් 40 දෙනකු හා සෙසුනිලයින් 1224 දෙනකු ද විවිධ ආබාධිත තත්ත්වයන්ට පත්ව, සෙසුනිලයින් 37 දෙනකු ද යුද්ධයේ දී අතුරුදන්ව ඇත.

ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ නිහඬ විරුවන්ගේ තිස්තුන් වසරක අභිමානය
යුද්ධ හමුදාපති හා වත්මන් රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ
ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ නිහඬ විරුවන්ගේ තිස්තුන් වසරක අභිමානය
ආරක්ෂක බලමුළුවේ ප්‍රථම රෙජිමේන්තු අධිපති බි්‍රගේඩියර් එස්ජීබී ද සිල්වා

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් අතරින්, ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට අභීතව මුහුණ දෙමින් නිර්භීත ලෙස සතුරා හා සටන් කොට තම ප්‍රාණ වායුව මාතෘ භූමිය වෙනුවෙන් පුද කළ පළමු නිලධාරියා ලෙස ලුතිතන් කේ ඒ ජී එම් කොන්දප්පෙරුම සහ සෙසුනිලයින් ලෙස ලාන්ස් කෝප්‍රල් චන්ද්‍රසිරි එම් සහ ලාන්ස් කෝප්‍රල් අනිල් කුමාර එස් එම් යන රණවිරුවන්ගේ නම්, රෙජිමේන්තු ඉතිහාසයට එක්ව ඇත. එමෙන්ම ක්‍රියාන්විතයන්හිදී රෙජිමේන්තුවට අයත් නිලධාරීන් සහ සෙසුනිලයන් විසින් දක්වන ලද ක්‍රියාන්විත දක්ෂතා ඇගයීම සඳහා වීරෝදාර විභූෂණ පදක්කමකින්, රණ වික්‍රම පදක්කම් හයකින්, රණශූර පදක්කම් 193කින් පිදුම් ලබා ඇත.

මෙම අභිමානවත් රෙජිමේන්තුවේ සාමාජිකයින් දක්ෂතා දක්වා ඇත්තේ ක්‍රියාන්විත රාජකාරීන්හිදී පමණක් නොවේ. ඔවුන් තම ජව සම්පන්න තාරුණ්‍යය ක්‍රීඩා අංශයන්හි ද මනා ලෙස හසුරුවමින් දෙස් විදෙස් ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගනිමින් තම රෙජිමේන්තු නාමය ඉහළින්ම තබා ඇත. යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලියේ ශූරතාවය 2023 වර්ෂයද ඇතුළුව 05 වතාවක් ද, අනු ශූරතාවය 04 වතාවක් ද, තුන්වන ස්ථානය 03 වතාවක් ද ලෙස ජයග්‍රහණය කර ඇත. එමෙන්ම පියවර කෝදු තරගාවලියේ ශූරතාවය 05 වතාවක් ද, ජයග්‍රණය කරමින් යුද්ධ හමුදා සරඹ ක්ෂේත්‍රය තුළ එම අංශයේ ප්‍රවීණයින් ඔවුන් බව යළි යළිත් සනාථ කොට ඇත. තවද, යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබීමේ තරගාවලියේ විවෘත අනු ශූරතාවය 03 වතාවක්ද, රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබීමේ තරගාවලියේ ආධුනික ඒ කාණ්ඩයේ ශූරතාවය හා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩිතැබීමේ තරගාවලියේ ආධුනික බී කාණ්ඩයේ ශූරතාවය 01 වතාව බැගින් ද දිනා ඇත. එසේම අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික වෙඩිතැබීමේ තරගාවලියේ ආධුනික ඒ කාණ්ඩයේ ශූරතාවය වතාවක් ද, අනුශූරතාවය 03 වතාවක් ද, අත්පත් කර ගනිමින් සෙබළ මූලික හැකියාවන්හි නිපුණයන් බව තවදුරටත් සනාථ කොට ඇත.

ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ නිහඬ විරුවන්ගේ තිස්තුන් වසරක අභිමානය
සේවා වනිතා ඒකකකය

කායශක්තිය සහ දරාගැනීමේ ශක්තිය මත පදනම් වන අන්තර් රෙජිමේන්තු ශාරීරික යෝග්‍යතා හා සංග්‍රාමික කුසලතා (PACES) තරගාවලියේදී, සෙසු රෙජිමේන්තු අභිබවමින් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම 2022 වර්ෂයේදී ශූරතාවය ජයග්‍රහණය කරන ලදි.

එසේම, යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරගාවලියේ ශූරතාවය 2023 වර්ෂයද ඇතුළුව අඛණ්ඩව වසර 20 ක් ද, අනුශූරතාවය වසර 02 ක් ද, ජයග්‍රහණය කිරීමටත් අන්තර් රෙජිමේන්තු කරාතේ ශූරතාවය වසර 12 ක් ද, අනුශූරතාවය වසර 05 ක් ද, ජයග්‍රහණය කිරීමටත් ජාතික ආරක්ෂක බලමුළුවට හැකියාව ලැබීය. එසේම අන්තර් රෙජිමේන්තු සැහැල්ලු පන්දු ක්‍රිකට්, ලෙදර් පන්දු ක්‍රිකට්, කබඩි, බර එසවීම, සවි එසවීම, එල්ලේ වැනි ක්‍රීඩා තරගාවලින්හිදී ද මෙම රෙජිමේන්තුව ලබා ඇති ජයග්‍රහණ සංඛ්‍යාව අතිමහත්ය.

ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ නිහඬ විරුවන්ගේ තිස්තුන් වසරක අභිමානය

එමෙන්ම මෙම රෙජිමේන්තුවට අයත් ක්‍රීඩකයින්, 2014, 2015, 2016, 2017 සහ 2019 වර්ෂවලදී පැවති දකුණු ආසියාතික සහ අනෙකුත් ජාත්‍යන්තර පාපන්දු සහ කබඩි තරගාවලිවලදී අනුශූරතාවයන් දිනාගත් ශ්‍රී ලාංකීය කණ්ඩායම නියෝජනය කළ අතර 2017, 2018, 2019 වර්ෂවලදී ජාත්‍යන්තර ජූඩෝ තරගාවලින්හි සහ 2019 වර්ෂයේදී කරාතේ කුමිතේ තරගාවලියේ දෙවන ස්ථානය ද, 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා තරගාවලියේ යගුලිය විසි කිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය ද, 2022 වසරේ එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා තරගාවලියේ කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය ද, 2019 වසරේ තායිලන්ත අන්තර් ජාතික ජූඩෝ ශූරතාවලිය කිලෝ ග්‍රෑම් 55 ට අඩු බරපන්තියේ ප්‍රථම ස්ථානය ද, දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සෙබළ ක්‍රීඩකයන්ට හැකිවී ඇති අතර, ඉන් සමස්ත යුද්ධ හමුදාවට සහ මව්බිමට ජාත්‍යන්තර කීර්තිය අත්කර දී ඇත.

ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ නිහඬ විරුවන්ගේ තිස්තුන් වසරක අභිමානය

වසර 33 ක අභිමානවත් ඉතිහාසයක් සහිත මෙම සුවිශේෂී රෙජිමේන්තුව වෙත රෙජිමේන්තු අධිපතිවරුන් 19 දෙනකු සහ මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් 08 දෙනකු නායකත්වය ලබාදී ඇති අතර, ඒ සියලු දෙනාගේම අප්‍රතිහත කැපවීම සහ නිවැරදි නායකත්වය මෙම රෙජිමේන්තුවේ ජයග්‍රහණයන්ට පදනමයි. එමෙන්ම රෙජිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට රෙජිමේන්තු අධිපතිවරයකු ලෙස යුද්ධ හමුදාධිපතිවරයකු පත්වීම, රෙජිමේන්තුව ලබා ඇති ස්වර්ණමය අවස්ථාවක් වන අතර, එමෙන්ම එය එහි සාමාජිකයන් ලද මහඟු වරප්‍රසාදයක් මෙන්ම දුර්ලභ භාග්‍යයකි. වත්මන් යුද්ධ හමුදාධිපති මෙන්ම ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගේ නිවැරදි නායකත්වය සහ ආශිර්වාදය ද මෙම රෙජිමේන්තුවේ සාර්ථකත්වය පිටුපස ඇති යෝධ ශක්තියයි. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව රට ජාතිය ආරක්ෂා කර ගැනීමේ උදාර මෙහෙවරට අනවරත දායකත්වය ලබාදෙමින්, සාඩම්බර සීඝ්‍ර ඉදිරි ගමනක යෙදෙමින් පැවරෙන ඕනෑම රාජකාරියක් නොපිරිහෙළා ඉටු කිරීමට සමත්කම් ඇති රෙජිමේන්තුවකි. මේ වන විට එම බලඇණි සියල්ල දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා, සේනාංක සහ බලසේනා යටතේ ජාතියේ ආරක්ෂකයින් ලෙස මෙන්ම විවිධ ව්‍යසනයන් හමුවේ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් ද ජාතිය ගොඩනැංවීමේ කාර්යභාරය සඳහා ද සිය දායකත්වය උපරිමයෙන් ලබාදෙමින් සිටී.

දිලංක ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment