සිය වතාවක් ලංකාවට ආ ජර්මනියේ ජෝර්ජ්

68
ජෝර්ජ් සියවැනි වතාවට මෙරටට පැමිණි අවස්ථාව

මුලින්ම ආවේ අවු:19දී එතකොට 71 ජවිපෙ කලබල

හොඳට සිංහල ලියන්න කියවන්න පුළුවන් ….

බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු සොල්දාදුවෙක්

ජර්මන් ජාතික ජෝර්ජ් සිලන්ගේ දැන් වයස අවුරුදු හැත්තෑ දෙකකි. ජෝර්ජ්ට සිංහල භාෂාව චතුර ලෙස කථා කිරීමට හැකිය. මොහු ජර්මන් ජාතිකයකු වුවද ශ්‍රී ලංකාවට දැඩි ලෙස ආදරය කරන්නේය. කොටින්ම කිවහොත් ජෝර්ජ් සිය දෙවැනි මව්රට වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී ලංකාවයි. මෙරට වෙරළ තීරයට, පාරිසරික සුන්දරත්වයට මෙන්ම පෞරාණික ස්ථාන නැරඹීමට ඔහු දැඩි කැමැත්තක් දක්වන්නේය. ඒ විතරක් නොව සිංහල කෑම වර්ග රසවිඳීමට දැඩි කැමැත්තක් දක්වන ජෝර්ජ් මෙරටට පළමු වරට පැමිණ ඇත්තේ 1971 වර්ෂයේ දීය. ඒ කාලයේදී ජෝර්ජ් 19 හැවිරිදි වියේ පසුවූ කොලු ගැටයෙකි. ජේර්ජ්ගේ මව්පියන් ඔහුට ඕනෑම රටක සංචාරය කිරීම සඳහා අවසරය ලබා දී තිබුණි.

එදා ගැටවරවියේ පසුවු කොළු ගැටයකු ලෙස පළමු වතාවට මෙරටට පැමිණි ජෝර්ජ් සියවැනි වතාවට ජුලි මස 01 වැනිදින මෙරටට පැමිණියේය. ඔහු කටුනායක ගුවන්තොටුපළේ දි උණුසුම් ලෙස පිළිගැනීමට ගුවන්තොටුපොළ බලධාරීන් විසින් කටයුතු කර තිබුණි. ජෝර්ජ් 1971 වර්ෂයේ දී මෙරටට පැමිණ ඇත්තේ ගොඩබිම් මාර්ගයෙනි. එය හරි අපූරු ගමනකි.

ජර්මනියේ ඉඳලා යුගොස්ලියාව, බල්ගෙරියා, රුමේනියාව ග්‍රීසිය, තුර්කිය යන රටවල් හරහා දුම්රියෙන් හා බස්රථ වලින් ඉරාන දේශසීමාවට ආවා. ඉන්පසු ඇෆ්ගස්තානය හරහා බසයෙන් පාකිස්තානයට ආවා. පකිස්තානයේ සිට ඉන්දියාවට ඇවිත් තමිල්නාන්ඩුව හරහා දුම්රියෙන් රාමේෂ්වරම්වලට ආවා. රමේෂ්වරම්වල ඉඳලා බෝට්ටුවකින් තලෙයි මන්නාරමට ආවා. ජර්මනියේ ඉඳලා ගොඩබිම් මාර්ග හරහා ලංකාවට එන්න මාස පහක් විතර ගියා. ඒ කාලයේ ලංකාව හැඳින්වූයේ සිලෝන් කියලා. ජෝර්ජ් එදා මෙරටට පැමිණි ගමන්මාර්ගය විස්තර කරමින් අපිත් සමග කථාබහට වැටුණේය. ඒ රුහුණු සංචාරක කාර්යාංශයේදීය.

ජෝර්ජ් එදා මෙරට සංචාරය කිරීම සඳහා පැමිණෙන විට රට තුළ තිබී ඇත්තේ කලබලකාරී වාතාවරණයකි. එවකට පැවති සමගි පෙරමුණු රජයට එරෙහිව තරුණයන් විසින් කැරැල්ලක් ආරම්භකොට තිබුණි. මේ නිසා ජෝර්ජ් ටික දිනක් යාපනය නගරයේ හෝටලයක ගත කළේය. ඒ කාලයේදී ඔහු යාපනයේ පෞරාණික ස්ථාන නැරඹීමට යෑමටද අමතක නොකළේය. ඉන්පසු ජෝර්ජ් කොළඹ නගරයට පැමිණ ටික දිනක් කොළඹ නගරයේ ගත කළේය.

යාපනයේ ඉඳලා දුම්රියෙන් තමයි කොළඹ නගරයට ආවේ. ඇත්තටම එය සුන්දර ගමනක්. පාසල් ළමුන් සුදු වතින් සැරසී පාසල්වලට යන දර්ශනය සුන්දර දසුනක් වුණා. ගොවීන් කුඹුරුවල වැඩකරනවා දැක්කා. ඇත්තටම එය ප්‍රියජනක දර්ශනයක්. ඔවුන් දෑත් වනමින් ආචාර කළා. ලංකාව කෙතරම් සුන්දර රටක් ද කියලා මෙරටට පැමිණි පළමු වතාවේදිම මට වටහාගැනීමට හැකිවුණා. ඒ කාලයේ රටපුරා කලබල තිබුණා. නමුත් සුදු ජාතිකයන් මෙරට සංචාරය කිරීම සඳහා පැමිණ සිටියා. දකුණු පළාතේ සංචාරය කිරීම සඳහා මගේ ලොකු ආශාවක් තිබුණා. නමුත් .ජ.වි.පේ කලබල නිසා පොලිසියෙන් අපිට දකුණු පළාතට යන්න දුන්නේ නැහැ. ඉන්දියාවට යන්න කීවා. ලංකාවේ මාසයක් විතර හිටියා. ජ.වි.පේ කලබල තිබුණත් මට කිසිදු කරදරයක් වුණේ නැහැ. පස්සේ තලෙයි මන්නාරමට ඇවිත් බෝට්ටුවකින් රමේෂ්වරම්වලට ගිහින් ඉන්දියාවට ගියා. ඉන්දියාවේ වසර දෙකක් විතර සමාජසේවා ආයතනයක රැකියාව කළා. ඒ කාලයේදී තේරේසා මව්තුමිය හමුවීමට මට අවස්ථාව ලැබුණා. එය මගේ ජීවිතයේ මා ලැබූ ඉතා වැදගත් අවස්ථාවක්. මේ කාලයේ දි ගොඩබිම් මාර්ගය හරහා ජර්මනියට ගොස් වරින්වර ඉන්දියාවට ආවා. ජෝර්ජ් සිය අතීත අත්දැකීම් විස්තර කරමින් කීවේය.

සිය වතාවක් ලංකාවට ආ ජර්මනියේ ජෝර්ජ්
ජෝර්ජ් යොවුන් වියේදී

ජෝර්ජ් මෙරටට පැමිණ පළමු වතාවේම මෙරටට පෙම්බැන්දේය. ඉන්පසු වසර දෙකකට පමණ පසු ජෝර්ජ් 1973 වර්ෂයේදී නැවත මෙරට සංචාරය කිරීම සඳහා පැමිණියේය. එහිදී ඔහුට දකුණු පළාතේ සංචාරය කිරීමට අවස්ථාව උදාවිය. ඒ කාලයේදී හික්කඩුව විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. මේ කාලයේදී මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ අවසාන ගමනාන්තය වූයේ හික්කඩුව නගරයයි. ජෝර්ජ් ද හික්කඩුව නගරයට පැමිණ එහි අසිරිය විඳිමින් සිටියේය. ඒ කාලයේදී ජෝර්ජ් කොණ්ඩය දිගට වවා තිබූ අතර කරාබු පැළඳ සිටියේය. මේ නිසා ලංකාවේ ඇත්තන් ජෝර්ජ් වැනි විදේශීය ජාතිකයන්ට හිපියන් යනුවෙන් නම්පටබැඳ තිබුණි. හික්කඩුව නගරයේදී ජෝර්ජ්ට හරි අපූරු මිත්‍රයකු හඳුනාගැනීමට හැකිවිය. ඔහු ගාමණි යහතුගොඩය. ගාමිණි සංචාරක කර්මාන්තයේ නිරත හෝටල් හිමියෙකි. ජෝර්ජ් අතීත සිද්ධීන් සිහිපත් කරමින් යළිත් අපිත් සමග කථාබහට වැටුණේය.

හික්කඩුව නගරයට ඇවිත් නවාතැන් ගැනීමට ස්ථානයක් සොයමින් ඉන්නකොට තමයි ගාමිණි මහත්තයා හමුවුණේ. ඒ කාලයේ දැන් වගේ හික්කඩුවේ හෝටල් තිබුණේ නැහැ. ගාමිණි මහත්තයා මට නවාතැන් ගැනීම සඳහා කාමරයක් ලබා දුන්නා. එදා ඇතිකරගත් මිතුදමට දැන් වසර පනහක් වෙනවා. ඉන්පසු මම ලංකාවට එනවිට ගෙදර වාගේ එන්නේ ගාමිණි මහතාගේ ගෙදරට. ගාමිණි මහත්තයා හඳුනාගන්නවිට ඔහුට දරුවන් හත්දෙනකු හිටියා. හරියට පඩිපෙළ වගේ. ඒ දරුවන් මට කීවේ ජෝර්ජ් මාම කියලා. අපේ මිතුදම කෙතරම් දි කිවහොත් ඇතැම් අවස්ථාවලදී දරුවන් පාසල් රැගෙන ගියෙත් නැවත රැගෙන ආවේත් මම. ඒ දරුවන් තමයි මට සිංහල හෝඩිය කියලා දුන්නේ. සිංහල අකුරු ලියන්න කියලා දුන්නා. ඒ විදියට තමයි සිංහල භාෂාව ඉගෙන ගත්තේ. සිංහල අකුරු ලියන්නත් පුළුවන්. දැන් ඒ දරුවන් විවාහවෙලා. විවාහ මංගල පහකටම මම ආවා. වර්ෂයේ ලංකාවට එනවිට දුම්රියෙන්, බස්රථයෙන් ගමන් බිමක් යනවිට අපිට සිංහල මිනිස්සු අසුන් පවා ලබා දුන්නා. දැන් නම් එහෙම නැහැ. ලංකාවේ මිනිස්සු ප්‍රියමනාපයි.

ආගන්තුක සත්කාරක අතින් ඉතා හොඳයි. ජෝර්ජ් කීවේය.

ජෝර්ජ් අවිවාහකයෙකි. ඔහු ජර්මනියේ වැඩිහිටි නිවාසයක කාලයක් රැකියාව කළේය. මේ වනවිට විශ්‍රාම සුවයෙන් පසුවන ජෝර්ජ් බ්‍රිතාන්‍ය හමුදාවට බැඳී එහි සොල්දාදුවකු ලෙස සේවය කොට ඇති අයෙකි. ජෝර්ජ් විවාහය, ප්‍රේම සම්බන්ධතා සහ දික්කසාද ගැනද අප සමග කථා කළේය.

මම ගොඩක් නිදහස් අගය කරන කෙනෙක්. ඒ නිසා තමයි විවාහ වුණේ නැත්තේ. මටත් ප්‍රේම සම්බන්ධතා තිබුණා. සමහරවිට මම විවාහවුණා නම් ලංකාවට සිය වතාවක් එන්න බැරිවෙන්නත් තිබුණා. ජර්මනියේ තමයි වැඩිම දික්කසාද සිදුවන්නේ. කසාද බැඳලා අවුරුදු තුන හතරක් යනවිට ගොඩක් අය දික්කසාද වෙනවා. ඇත්තටම එය කනගාටුදායක තත්ත්වයක්. ජෝර්ජ් කීවේය.

ජෝර්ජ්ට තම හොඳම මිතුරා වන ගාමිණි යහතුගොඩ මුණගැසීමත් සමග ඔහුගේ දින චාර්යාවේ වෙනස්කම් ගණනාවක් ඇතිවිය. ඔහු පැළඳ තිබූ කරාබු ගලවා කොණ්ඩය කපා දැමුවේය. ඒ විතරක් නොව අධික ලෙස දුම්පානය කිරීමට හා මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වී සිටි ජෝර්ජ් එවා නවතා දැමුවේය. ජෝර්ජ් මෙරට සංගීතයට දැඩිව ඇලුම් කරන අයෙකි. ඔහු රුක්මනි දේවියගේ හා ඉන්ද්‍රාණි බෝගොඩ ගීතවලට දැඩි ලෙස ඇලුම් කරන්නේය. ‘මැවිලා පෙනේවි රුපේ’ ගීතය ජෝර්ජ් හරි අපූරුවට ගායනා කළේය. ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය පිළිබඳවද ජෝර්ජ් මතක් කළේය. ඔහු ඒ කාලයේ ක්‍රීඩාකළ ක්‍රිකට් ක්‍රීඩකයන්
රැසකගේ නම් කියාගෙන ගියේය. ඒකොයිහැටිවුවද ජෝර්ජ් දැන්නම් ක්‍රිකට්වලට වැඩි කැමැත්තක් නොදක්වන්නේය.

කිරිබත්වලට හා කට්ට සම්බල්වලට, ඉදි ආප්ප, කිරිහොදි පොල්සම්බල් හා කැවුම් පැණි වළලු යන සිංහල ආහාරවලට මම ගොඩක් කැමතියි. මට හොඳට උයන්නත් පුළුවන්. ලංකාවට ආපු පළමු වතාවේ කොළඹ නගරයේ හෝටලයකින් ඉදිආප්ප, කිරිහොදි හා පොල්සම්බල් සමග උදෑසන ආහාර ගත්තා. ලංකාව හරිම ලස්සන රටක් පෞරාණික ස්ථාන නැරඹීමට තමයි මම ගොඩක් කැමති. ලංකාවට ආපු හැම අවස්ථාවකම අනුරාධුපරය, පොළොන්නරුව, සිගිරිය ආදි ප්‍රදේශවල ඇති පෞරාණික ස්ථාන නැරඹීමට යනවා. ලංකාවේ මාර්ග පද්ධතිය දැන් ගොඩක් දියුණුයි. ඒ කාලයට වඩා ලංකාව විශාල සංවර්ධනයක් ලබලා තියෙනවා. සියවැනි වතාවට ලංකාවට පැමිණීමට ලැබීම ගැන සතුටු වෙනවා. ඇතැම් වර්ෂවල දෙවතාවක් පමණ ලංකාවට ආවා. සිංහල අවුරුද්දට ගොඩක් වේලාවට ලංකාවට එනවා.” යැයිද ජෝර්ජ් සීලන් මහතා කිවේය.

ජෝර්ජ් සීලන්ගේ මෙරට හොඳම මිතුරා වන ගාමිණි යහතුගොඩ මහතා ජෝර්ජ් ගැන කීවේ මෙවැනි කථාවකි.

1972 වර්ෂයේ තමයි මම සංචාරක කර්මාන්තය සඳහා යොමුවුණේ. ඒ කාලයේ විදේශීය සංචාරකයන් වැඩිවශයෙන් ලංකාවට ආවේ ඉන්දියාවේ රමේෂ්වරම්වලට ඇවිත් එතන ඉඳලා තලෙයිමන්නාරමට බෝට්ටුවකින් ඇවිත්. හික්කඩුව එම විදේශීය සංචාරකයන්ගේ ගමාන්තයක් වුණා. ජෝර්ජ් මට මුලින්ම හමුවුණේ හික්කඩුව නගරයේ දි. ඔහු නවාතැන් ගැනීමට තැනක් සොයමින් හිටියා. ඒ කාලයේ හික්කඩුවේ තිබුණේ ගෙස්ට් හවුස් 04ක් විතර. මගේ ගෙස්ට් හවුස් එකේ කාමරයක් අරගෙන ජෝර්ජ් එහි නතර වුණේ. ඒ කාලයේ රුපියල් 05ක මුදලකට තමයි කාමරයක් දුන්නේ. පස්සේ අපි දෙදෙනා හොඳ මිතුරන් වුණා විතරක් නෙවෙයි. ජෝර්ජ් අපේ පවුලේ සාමාජිකයෙක් බවට පත්වුණා. මගේ රෙස්ටුරන්ට් එකේ දිනකට විදේශීය සංචාරකයන් 20ක් විතර හිටියා. පස්සේ හෝටලයේ කෑම ඉවීමටත් උදව් කළා. අපේ මිතුදමට දැන් වසර 50ක් වෙනවා. මෙරට පැමිණෙන විට ජෝර්ජ් රැගෙන එන්න කටුනායකට මම යනවා. ඒ විතරක් නෙවෙයි ඇරලවන්නත් මම යන්න ඕන. ඒ තරමට අපි හිතවත්ව සමීපව ආශ්‍රය කරනවා යැයිද ගාමිණි මහතා කීවේය.

ජෝර්ජ් සීලන් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා සහ රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති චන්න සාලිය මෙන්ඩිස් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ද හමුවූහ. එහිදී දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා සහ රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් ජෝර්ජ්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. මෙහිදී ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා සහ රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති චන්න සාලිය මෙන්ඩිස් යන මහත්වරුන් විසින් ජෝර්ජ් සීලන් මහතා වෙත සමරු තිළිණද මෙහිදී පිරිනමනු ලැබීය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment