බුද්ධි නිලධාරීන් මර්දනය කරන පාස්කු ප්‍රහාර මෙහෙයුම

431

මෙරට පළමු ජනාධිපතිවරයා ලෙස 1978 ව්‍යවස්ථාවෙන් බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ධර්මිෂ්ඨ පාලනයට එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය යනු එදා නියපොත්තෙන් කඩා දමන්නට හැකිව තිබුණක් විය. එහෙත් ජයවර්ධන මහතා එය නොකළේය. වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය රටටම විනාශය ගෙන දුන් ශාපයක් බවට පත්වූයේ ඉන් පසුවය. ත‍්‍රස්තවාදය දේශපාලන තුරුම්පුවක් බවට පත්කර ගැනීම නිසා එදා ජේ. ආර්. ජයවර්ධන මහතා එල්.ටී.ටී.ඊ.ය. හමුවේ මුනිවත රැක්කේය. එදා මේ රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ වගේ වගක් එකී පාලනයට තිබුණේම නැත. යුද්ධය පෙරට දමා සියලූම ප‍්‍රශ්නවලින් මඟහැර යෑම පාලකයන්ගේ උපක‍්‍රමය විය. මෙරට පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂයන් පත්වනු තුරුම ජේ. ආර්. ගෙන් පසු බලයට පැමිණි අපේ පාලකයෝ කිසිදු හිරිකිතයක් නැතිව එකී දේශපාලන තුරුම්පුව බලය ලබා ගැනීම සහ රට පාලනය සඳහා යොදා ගත්හ. මෙහිදී රටේ මිනිස්සු ඒ දෙස බලා අපූරු කතාවක් කියන්නට වූහ.

කවුරුත් කීවේ මාරුවෙන් මාරුවට කවුරු කවුරුත් යුද්ධය හිඟන්නාගේ තුවාලය බවට පත්කරගෙන වැජඹෙන බවය. ඒ තුවාලය සුව වූයේ ඉකුත් 2009 වසරේ වසරේ මැයි මස 19 වැනිදාය. එහෙත් එය තවමත් නිට්ඨාවට සුව වී නැත. එසේම තවත් බොහෝ ව්‍යසන රට ඉදිරියේ ඇත. එවන් තත්ත්වයක් තුළ දැන් මේ රට තුළ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? අපේ මජර දේශපාලනය විසින් දැන් අලූත්ම හිඟන්නාගේ තුවාලය බවට සහරාන් හෂීම් ඇතුළු ම්ලේච්ඡ ත‍්‍රස්තවාදීන් 2019-04-21 පාස්කු ඉරිදා දිනයේ එල්ල කළ පාස්කු ප‍්‍රහාරය පත්කරගෙන නොතිබේද? කනගාටුවට කරුණ වන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය එසේ දේශපාලන මෙවලමක් කර ගැනීම සඳහා එයට ගොදුරු වූ මේ රටේ කිතුණු ජනතාව වෙනුවෙන් හ`ඩ නැගූ කතෝලික පල්ලියේ සහායද හිමිවී තිබීමය. පාස්කු ඉරිදා ප‍්‍රහාරය පල්ලියේද සහාය ඇතිව හිඟන්නාගේ තුවාලය බවට පත්කරගෙන මීළඟ දේශපාලන පෙරළියේදී ජනමතය හා ජනමනස සකසන උපක‍්‍රමය ලෙස යොදා ගනිමින් තිබෙන බව පැහැදිලි වන හොඳම අනාවරණය සිදු වූයේ ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදීය. පාර්ලිමේන්තුවේදී පාස්කු ප‍්‍රහාරය පිළිබඳ පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් කළ විවාදයේදී ඒ බව තහවුරු කරනු ලැබුවේ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන හරීන් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ප‍්‍රධානියා වූ සහරාන් හෂීම් සමඟ මෙරට බුද්ධි අංශ සබඳතා පැවත්වූ බව සහරාන්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා සාදියා ප‍්‍රකාශ ලබාදෙමින් පොලිසියට සඳහන් කර ඇතැයි මෙම විවාදයේදී කොහේදෝ යන ලොරියක් ගැනද පවසමින් හරීන් ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා පැවසීය. මනුෂ නානායක්කාර මන්තී‍්‍රවරයා කියා සිටියේ පාස්කු ප‍්‍රහාරයේ තවත් ඝාතකයකු වූ ජමිල් සමඟ හමුදා බුද්ධි අංශ ඍජු සබඳතා පවත්වා ඇති බවය. එකී හෙළිදරව්ව නම් ඔවුන් දෙදෙනා කරනු ලැබුවේ ලොක්යේ ඇති සියලූ ඔත්තු සේවා පරාජය කරන තරමින් සිදු කළ මහා මෙහෙයුමකට අනුව සොයා රහසක් අනාවරණය කරන්නාක් පරිදිය.

බුද්ධි නිලධාරීන් මර්දනය කරන පාස්කු ප්‍රහාර මෙහෙයුම

මෙහිදී දේශපාලන වශයෙන් ඔවුන් දෙදෙනාම කළ ප‍්‍රකාශයන් පිළිබඳ අපට කිසිදු ගැටලූවක් නැත. ඇතැම්විට ඔවුන් මේ කරනුයේ මෙරට මීළඟ දේශපාලන පෙරළිය සඳහා වූ උපක‍්‍රමශීලී ගමන ආරම්භ කිරීම විය හැකිය. එහිදී ඔවුන්ගේ ගමනට මාර්ග බාධක දමා වත්මන් රජය රැක ගැනීමේ වුවමනාවක් ද අපට කිසිසේත්ම නැත. ඉකුත් 2019 වසරේ පැවැති ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාගනු ලැබුවේ ඡන්ද හැටනව ලක්‍ෂයකි. පැහැදිලිවම එකී ඡන්ද හැටනව ලක්‍ෂය තුළ පාස්කු ඉරිදා ප‍්‍රහාරය හමුවේ යහපාලන රජය පිළිබඳ අප‍්‍රසාදයට පත්වූ මෙරට කිතුණු ජනතාවගේ ඡන්ද විශාල ප‍්‍රමාණයක්ද තිබිණි. එය ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි.

අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පාස්කු ප‍්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ කිතුණු ජනතාව වෙනුවෙන් සාධාරණය ඉල්ලා මතු කළ හ`ඩද එවන් තත්ත්වයක් නිර්මාණය කිරීමට ප‍්‍රබල සාධකයන් විය. මීළඟ දේශපාලන පෙරළියකදී ගමන ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට නම් මෙලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඡන්ද මල්ලේ ඇති කිතුණු ඡන්ද ප‍්‍රමාණය ඉවතට ගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතු වන්නකි.

මේ වනවිට පවතින තත්ත්වය තුළ මෙරට දෙමළ ඡන්ද ඇත්තේ වත්මන් රජයෙන් ඉවතට ඇදීය. මුස්ලිම් ඡන්ද ප‍්‍රතිශතයද ආණ්ඩුව තුළ නැත. එම තත්ත්වය තුළ ආණ්ඩුවට හිමිවූ කිතුණු ඡන්ද ප‍්‍රමාණයත් ඉවතට ඇද දැමුවහොත් ආණ්ඩුවේ පරාජය ස්ථිර බව එදා සුදු සැරයටිධාරීන් ලෙස ඇස් කන් පියාගෙන සිට අද පාස්කු ප‍්‍රහාරය පිළිබඳ කිඹුල් කඳුළු හෙළන හරීන් ප‍්‍රනාන්දු, මනුෂ නානායක්කාර ඇතුළු විපක්‍ෂයේ කණ්ඩායම් කල්පනා කරනවා විය හැකිය.

එහිදී ගෝඨාභය රාජපක්‍ෂ බලයට පැමිණියේ බුද්ධි අංශ මඟින් සහරාන් හෂීම් ඇතුළු මිනීමරු අන්තවාදීන් මෙහෙයවීම තුළින් යනුවෙන් මතවාදයක් ජනගත කර රටේ මිනිස්සුන්ගේ ඔලූ සේදීම විශේෂයෙන් මෙරට කිතුණු ජනතාවගේ ඔලූ සේදීම ඔවුන්ගේ උපක‍්‍රමය වී තිබෙන බව බැලූ බැල්මට පෙනෙන්නට ඇත.

දේශපාලන වශයෙන් ගත් කල හරීන් ප‍්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇතුළු විපක්‍ෂයේ එකී උපක‍්‍රමය ඉතාම සාර්ථකය. එහෙත් මෙහිදී ප‍්‍රබලම ප‍්‍රහාරය එල්ල වන්නේ වත්මන් ආණ්ඩුවටද? පරාජයට පත්වන්නේ ආණ්ඩුව පමණක්මද?

හරීන් ප‍්‍රනාන්දුලා මෙසේ පාර්ලිමේන්තුව තුළදී පමණක් වරප‍්‍රසාදවලට මුවා වී මෙවන් දේ ප‍්‍රකාශ කිරීමේදී ඒ පිළිබඳ ගැඹුරින් කල්පනා කර බලනවිට මතුවන ගැටලූව එය වන්නේය.

ඕනෑම අයකුට දේශපාලන බල ලෝබය හමුවේ ඕනෑම කුණු වැඩක් සිදු කළ හැකිය. එයට හොඳම උදාහරණ ඇත්තේද මේ රටේ දේශපාලනය තුළය. එහෙත් මෙවන් දේ සිදුවෙද්දී දරුණුම ප‍්‍රහාරය එල්ලවන්නේ මේ රටේ ජාතික ආරක්‍ෂාවට නම් එය මොනතරම් බරපතළද?.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වෙද්දී මේ රටේ බුද්ධි අංශවල ශක්තිය බිඳ වැටී තිබූ බව ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාම පිළිගත්තේය. එවන් තත්ත්වයක් තුළ අද හරීන් මනූෂ වැන්නන් මේ සිදු කරමින් සිටින්නේ එදා වූ වරද යළි යළිත් කිරීමට පියවර ගැනීම නොවේද?

අද මොවුන් මේ අන්දමට හැසිරෙන්නේ පරාජයට පත්වූ එල්.ටි.ටී.ඊ. ත‍්‍රස්තවාදය යළි ප‍්‍රතිසංවිධානය වීමට විසි වතාවකටත් වඩා උත්සාහ දැරූ රටක සිටිමින්ය. එල්ටීටීඊයේ එකී උත්සාහයයන් සියල්ල වැළකී ගියේ බුද්ධි අංශ අවදියෙන් සිටීම නිසා බව හරීන් ප‍්‍රනාන්දු, මනූෂ නානායක්කාර වැන්නන් නොදැන සිටිනවාද විය නොහැකිය.

එසේම මොවුන් මේ අන්දමට කටයුතු කරන්නේ සහරාන් හෂීම්ලා මතු කළ ඉස්ලාම් අන්තවාදයේ සෙවනැළි අදටත් හොල්මන් කරමින් බරපතළ අවදානමක් ඉදිරියේ රටම පවතින මොහොතකය.

එවන් තත්ත්වයක් තුළ මෙවැනි ප‍්‍රකාශ කිරීම තුළින් බුද්ධි අංශ බිඳ වැටී ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වෙමින් කිසියම් විනාශයක් රට තුළ යළි සිදු වුවහොත් එහි වගකීම භාරගන්නට හරීන් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඇතුළු අද පාස්කු ප‍්‍රහාරය හිඟන්නාගේ තුවාලය බවට පත් කරගෙන සිටින කතෝලික ප්ලිලය සූදානම්ද?

එවැන්නක් සිදු වුවහොත් තාත්තා හීනෙන් කිවේ යැයි ගොඩගැසෙන මළ කඳන් දෙස බලා ඇතැමුන් නම් කියනු ඇත. ඉන් එහා සිදුවන දෙයක් නැත.කෙසේ වෙතත් හරීන් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්තී‍්‍රවරුන් බුද්ධි අංශවලට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේ කළ ප‍්‍රකාශ පට්ටපල් මුසාවාද යැයි නීතිය හා සාමය පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පිළිතුරු කතාවක් කරමින් ඉකුත් බ‍්‍රහස්පතින්දා සාධක සහිතව පාර්ලිමේන්තුවට පැහැදිලි කරනු ලැබීය.

එහිදී පාස්කු ප‍්‍රහාරයේ විමර්ශනවලට අදාළ රහස්‍ය ලේඛන දෙක තුනක් සභාගත කරන්නටද සරත් වීරසේකර මහතා කටයුතු කළේය. එසේ කළ ඔහු හැකිනම් පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලින් ඉවත්වී පිටතදී එකී ප‍්‍රකාශ සිදු කරන්නැයි හරීන් ප‍්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්තී‍්‍රවරුන්ට අභියෝගයක්ද ඉදිරිපත් කළේය.,,එය නිමා වූයේ එසේය. එහෙත් මේ රටේ ජාතික ආරක්‍ෂාව බිල්ලට තබා ඇතැමුන් කරන දේශපාලන කුමන්ත‍්‍රණ නම් ඉදිරියටත් නිමා නොවනු ඇත.

අද විජාතික බලවේගවලටද අවැසිව ඇත්තේ මෙරට බුද්ධි අංශ සහමුලින් විනාශ වනු දැකීමටය. ඔවුන්ගේ ජාත්‍යන්තර භූ දේශපාලනය බාධාවකින් තොරව ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක කිරීමට පහසුම මඟ එය බව ඔවුන් කාලාන්තරයක සිටම වටහාගෙන තිබෙන්නකි.

එසේ තිබියදී දේශපාලන අරමුණු හමුවේ ජාතික ආරක්‍ෂාව බිල්ලට දී ඇතැමුන් මෙසේ බුද්ධි අංශවලට පහර දෙමින් තවත් පැත්තකින් කරමින් සිටිනුයේ එකී ජාත්‍යන්තර බලවේගයන්හි කොන්ත‍්‍රාත්තු ඉටු කිරීම නොවේද?

දේශපාලනය යැයි පවසමින් රට වෙනුවෙන් පෙනී සිටීම පසෙක තබා මෙවන් අලජ්ජී හැසිරීමක යෙදීම මොනතතරම් අශිෂ්ටද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment