අපරාධකරුවන් 42248 ක් සොයා මෙහෙයුම ඇරැඹේ

134

“යුක්තිය මෙහෙයුමේ දෙවැනි අදියර ආරම්භ කරමින් රට පුරා සැඟවී සිටින වරෙන්තුකරුවන් සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 42248 දෙනකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඊයේ (14 වැනිදා) සිට ආරම්භ කර ඇත.

මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන්ගේ උපදෙස් මත මෙම මෙහෙයුම රට පුරා ක්‍රියාත්මක කර තිබේ.

මෙම මෙහෙයුම මගින් රට පුරා සැඟවී සිටින විවෘත වරෙන්තුකරුවන්, ලියාපදිංචි අපරාධකරුවන් (අයි.ආර්.සී) ඇතුළු අපරාධකරුවන් 42248 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම ආරම්භ කර ඇති අතර මේ සම්බන්ධයෙන් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු සියලුම නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

මෙම මෙහෙයුම මගින් විවෘත වරෙන්තුකරුවන් 35505 දෙනකු ඇඟිලි සටහන් මගින් හඳුනාගත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති සැකකරුවන් 42248 ක්, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 2485 ක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම අපරාධකරුවන්ට අදාළ සියලු තොරතුරු අදාළ පොලිස් ස්ථාන මගින් මේ වනවිටත් සොයාගෙන සිටින අතර පැය 24 පුරාම ක්‍රියාත්මක මෙහෙයුම් මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

යුක්තිය මෙහෙයුමේ පළමු අදියර යටතේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ 4600 කට ආසන්න පිරිසක් අතුරින් මේ වන විට 3000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටිති.
හේමන්ත රන්දුණු හා චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment