අංගොඩ කතගේ ඝාතකයන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

730

ගලහිටියාව පාලම අසලින් ඇළට දැමූ හිස අත් පා සෙවීමට පොලිස් නාවික කොට්ඨාසයේ සහාය ගනී

අංගොඩ, රෝහල් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තඹවිට ගුරුගේ ප්‍රදීපා සිල්වා නමැති පනස් දෙහැවිරිදි තිදරු මව ඝාතනය කර ඇයගේ හිස හා අත් පා ශරීරයෙන් වෙන් කොට මළසිරුර වගුරු බිමක දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාර වූ ප්‍රධාන සැකකරු හා ඔහුගේ සගයා තවදුරටත් පැය 48 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කීරීම සඳහා මහර අංක 02 අධිකරණයේ මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය විසින් ඊයේ (03 වැනිදා) සපුගස්කන්ද පොලිසියට අවසර ලබා දෙන ලදි.

පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය මෙසේ අවසර ලබා දුන්නාය. එසේ රඳවා තබා ගෙන ප්‍රශ්න කෙරෙන්නේ පෙරේදා (02දා) නීතිඥයින් මාර්ගයෙන් පොලිසියට භාරවූ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සියඹලාපේ දකුණ, මාහේන පාර පදිංචි ව්‍යාපාරිකයකු වන බී.ජී.සුදීර (53) හා ඔහුගේ සගයා වන සියඹලාපේ දකුණ, සමෘද්ධි මාවතේ පදිංචි කපුවකු බව කියන ජී.ආර්. රෝහිත කුමාර (48) යන දෙදෙනායි.

සපුගස්කන්ද පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.පී. කුලරත්න හා නඩු මෙහෙයුම් අංශයේ සැරයන් චමින්ද (478) යන නිලධාරීන් විසින් සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙරේදා (02දා) පස්වරුවේ පැමිණ කාන්තාව ඝාතනය කළ බව කියන සියඹලාපේ දකුණ නිවෙස හා මෝටර් රථය පරික්ෂා කළහ. කාන්තාවගේ හිස හා අත්පා ගලහිටියාව පාලම අසලින් ඇළට දැමූ බවට සැකකරුවන් ප්‍රකාශ කර තිබෙන නිසා එම කොටස් සෙවීමට පොලිස් නාවික කොට්ඨාසයේ සහාය ලබා ගැනීමට කටයුතු කර තිබෙන බව ද පොලිසිය කීය.

ඉකුත් 27 වැනිදා උදෑසන සිය නිවෙසින් පිට වූ මේ කාන්තාව එදින දහවල් සියඹලාපේ දකුණ පිහිටි ප්‍රධාන සැකකරුට අයත් දෙමහල් නිවෙසට පැමිණි බවට තොරතුරු ලැබී ඇත. එදින දහවල් 11.00 ත් 12.00 ත් අතර කාලයේ එම නිවෙස තුළම ඇය ඝාතනය කොට හිස හා අත් පා ශරීරයෙන් වෙන් කර ඒවා ප්‍රධාන සැකකරුගේ මෝටර් රථයෙන් පසුදින (28 වැනිදා) අලුයම ගලහිටියාව පාරේ තිබෙන පාලම අසලට රැගෙනවිත් එහි ඇළට දැමූ බව සැකකරුවෝ පවසති.

මේ ඝාතනය තමා විසින් සිදු කළ බව පවසන දෙවන සැකකාර කපුවා පසුව දෙදෙනාම එක්වී මළසිරුර උරයක දමා රැගෙන ගොස් ඇළට දමා නුවරඑළියට ගිය බවට ද පවසා තිබේ. දෙවන සැකකාර කපුවා පවසන්නේ දෙදෙනාම ප්‍රධාන සැකකරුගේ මෝටර් රථයෙන් පැමිණ පළමුව කාන්තාව නිවෙස තුළට එනවිට තමා කාන්තාව ඝාතනය කළ බවය. කඩුවෙල සිට කාන්තාව තම මෝටර් රථයෙන් පැමිණ පසුව ඉන් බැස ත්‍රිරෝද රථයකට නැග පැමිණි බවත් පසුව තමා නිවෙසට පැමිණෙන විට තමාට පෙර නිවෙසට ආ කාන්තාව කපුවා විසින් ඝාතනය කර තිබූ බවත් ප්‍රධාන සැකකරු පවසයි.

මේ අතර ඝාතනය සිද්ධියට සම්බන්ධ මෝටර් රථය ද නුවරඑළිය ප්‍රදේශයේ තිබි මහබාගේ පොලිසිය විසින් සොයා ගෙන එම මෝටර් රථය සපුගස්කන්ද පොලිස් ස්ථානයට පෙරේදා පස්වරුවේ භාර දී තිබේ.

මේ කාන්තාව ඉකුත් 27 වැනිදා වෙළෙඳ සලට යන බව පවසා අංගොඩ සිය නිවෙසින් පිටත්ව යෑමෙන් පසුව අතුරුදන්ව තිබිණි. ඊට පසුදින (28 වැනිදා) පස්වරුවේ සියඹලාපේ දකුණ ප්‍රදේශයේ වගුරු බිමක තිබී හිස හා අත්පා නැතිව මළසිරුර හමුවූ අතර පසුව ඇයගේ ඥාතීන් විසින් එම මළසිරුර හඳුනා ගන්නා ලදි.

මේ වනවිට මළ සිරුර රාගම මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙන අතර මෙතෙක් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන දිනයක් තීරණය කර නැත.

මේ පිළිබඳව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඔසිත ලංකා ද සිල්වා, අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක එන්. ඒ. නිශ්ශංක, සැරයන් පෙරේරා (32560), චමින්ද (478), පුෂ්පකුමාර (55713), ගුණසේකර (67646), ජගත් (50820), අමිල (70992) හා කාන්තා සැරයන් ජයකොඩි (6228) යන නිලධාරීන් සමග කැලණිය කොට්ඨාස අපරාධ ස්ථානීය පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.වී. කහටපිටිය මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති.

මේ වැටලීම බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත ජයවර්ධන හා කැලණිය සහකාර පොලිස් අධිකාරි ජී. ගුණතිලක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.

දෙල්ගොඩ ඩබ්ලිව්.ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment