අවිද්‍යාව පෙරවීම

228

ආශාව, ද්වේෂය යටපත් වුව ද අපගේ බොහෝ බෞද්ධයා මෝහය, මුළාව, අවිද්‍යාවෙන් යුක්ත වෙයි. වර්තමානයේ පිරිත් නූල් බඳින්නේ අලංකාරයටයි. මෙය බෞද්ධයාගේ මූළාවයි. මෝඩ කමයි. අවිද්‍යාවයි.

අවුකන බුදු පිළිමය ජීවමාන බුදුරුවකි. දක්ෂ ගල්වඩුවෙකු විසින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ප්‍රකට වන සේ නෙලූ විස්මිත නිර්මාණයකි. එහි බුදු රඳුන්ට කලාත්මක සිවුරක් පොරවා ඇත. ඒ තුළත් උන්වහන්සේ ලොවට දෙසූ අපිස් බව ප්‍රති නිරූපනය කරයි. ඒ එසේ නම් ඊට යළි සිවුරු පෙරවිය යුතු ද? මේ පැනය පැන නැගෙන්නේ පසුගිය දින අසන්නට වූ පුවතක් කරණ කොට ගෙනය. යම් කිසි බෞද්ධයන් පිරිසක් මෙම පිළිම වහන්සේට සිවුරක් පෙරවූහ. බෞද්ධ අබෞද්ධ ලෝ වැසියන්ගේ සිත් පහන් කළ මෙම ප්‍රතිමාවට සිවුරු පෙරවීම බොහෝ දෙනාගේ කථාබහට ලක් වූවා පමණක් නොව සමහර අය ප්‍රකම්පනයට පත් කළහ.

බෞද්ධයා ආමන්ත්‍රණය කරන විට පින්වත්නි යැයි කියයි. පින් ඇති තැනැත්තා යන අර්ථයෙන් යුත් “පින්වත්” යන පදය තද්ධිත නාම පදයකි. බෞද්ධයා පින් ඇත්තෙක් වන්නේ කරුණු කිහිපයක් පදනම් කොට ගෙනය.

බුද්ධෝත්පත්ති කාලයක ඉපදීම.

ශ්‍රී සද්ධර්මය පවතින කාලවකවානුවක ඉපදීම.

මනුෂ්‍යයෙකුව ඉපදීම.

ක්ෂණ සම්පත්තිය හෙවත් අංග සම්පූර්ණ මනුෂ්‍යයෙක්ව ඉපදීම.

මිථ්‍යා දෘෂ්ටිකයකු නොවී සම්‍යක්දෘෂ්ටිව ඉපදීම ඔහු ලද පුණ්‍යවන්තභාවයයි.

මේ විශ්වයෙහි බුද්ධ කියන වචනය ද නොමැති කාල වකවානු පවතියි. එමෙන් ම බුදුවරයෙකුගේ ධර්මය නොමැති කාලවකවානු වෙයි. දහම්සොඩ රජු ලොව පහළ වූ කල සතර පද ගාථාවක් දත් අයෙකු මුළු රාජ්‍යයේම සිටියේ නැත. මනුෂ්‍ය ආත්මභාවය ලබන්නේ දුර්ලභාවය කණ කැස්බෑවා විය සිදුරෙන් බලන්නා සේ දූර්ලභ අවස්ථාවකි. මන්දබුද්ධික නොවී. ලෙඩ ඇදේ නොවැටී, අවයව සම්පූර්ණව මිනිස් ආත්මභාවයක් ලැබීම ද දුර්ලභව ලැබූ දෙයකි. මේ සියල්ල පින් කළ හැකි හේතු වෙයි. බුදු කෙනකුන් ලොව නැති කල,

ශ්‍රී සද්ධර්මය ලොව නැති කල පින් කළ නොහැක.

මේ සියල්ල සම්පූර්ණ වුව ද පින් කරන තැනැත්තා සම්‍යක් දෘෂ්ටිකයකු නොවී මිථ්‍යා දෘෂ්ටිකයකු වී නම් පින්කම් ලෙස කරනුයේ ගොන්කම් ය.

අප සිත තුළ ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මුල් වෙයි. පින්කම් කරද්දී මේ අකුසල් මුල් යටපත් වෙයි. කුසල මුල් වූ අලෝභ, අද්වේෂ, අමෝහ හට ගනියි. පින පිනක් වන්නේ මේ කුසල මූලයන් තුළින් පින කළොත් පමණි. මෙලොව සතුට ලැබෙන්නේ එවිටයි. පරලොව සතුට ලැබෙන්නේ එවිටයි. පිනක් කළා යැයි වඩ වඩාත් සතුටු විය හැක්කේ එවිටයි. බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරන්නේ යම් ක්‍රියාකාරකමක් කොට පසුතැවිලි නොවේ ද, සතුට පිරි මුහුණින් එහි ප්‍රතිඵල භුක්ති විදී ද ඒ ක්‍රියාකාරකම් කරන්න, එසේ වූ දෙය පින් වේ. එසේ නොමැතිව යමක් කොට පසුතැවිලි වීමට සිදු වේනම්, එහි ප්‍රතිඵලය කඳුළු පිරි මුහුණින් භුක්ති විදින්නට සිදු වේනම් එය නොකළ යුතුය යන්නයි. එය පව් වේ. අප කළ යුත්තේ අපට සතුටු විය හැකි. අනුන්ට සතුටු විය හැකි. දිගු කාලීන සතුටක් විදි ය හැකි කටයුතුයි. කථා කළ යුත්තේ එවන් වචනයි. සිතිය යුත්තේ එවන් සිතුවිලියි. තමන්ටත් හිරිහැරයක් වූ අනුන්ට හිරිහැරයක් වූ සිතන සිතන මොහොතක් මොහොතක් පාසා පසුතැවිල්ල, දුක, වේදනාව ලැබෙන කටයුතු නොකළ යුතුයි.

ආශාව, ද්වේෂය යටපත් වුව ද අපගේ බොහෝ බෞද්ධයා මෝහය, මුළාව, අවිද්‍යාවෙන් යුක්ත වෙයි. වර්තමානයේ පිරිත් නූල් බඳින්නේ අලංකාරයටයි. මෙය බෞද්ධයාගේ මූළාවයි. මෝඩ කමයි. අවිද්‍යාවයි.

අවිද්‍යාව යනු නොදැනීමයි. නොවැටහීමයි. අනවබෝධයයි. මුළාව මෝඩකම යනු මෙයයි. අවිද්‍යාව ක්ලේෂයකි. මේ ක්ලේෂය පදනම් කොටගෙන අප පව් කරයි. පින වරදවා හිතයි. පව වරදවා හිතයි. මිථ්‍යාවන්හි නිරත වෙයි. අවිද්‍යාව නිසා අප කරන සමහර පින්කම් හි පින සම්පූර්ණව ලබන්නට අපට හැකියාවක් නැත. අවිද්‍යාව දියුණුවට බාධාවකි.

එහෙයින් සුදනනි. අවිද්‍යා හැර අවබෝධයෙන් පින්කම් කොට සසර ගමන කෙළවර කර ගනිමු.

ඌවේ සියම් මහා නිකායේ මහා ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක ස්ථවිර
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

අවිද්‍යාව පෙරවීම
advertistmentadvertistment
advertistmentadvertistment