ව්‍යපාරිකයෙකුගේ සාර්කත්වයට බලපාන – පළමුවැන්නාධිපති සහ දෙවැන්නාධිපති

85

සල්ලි වළල්ලේ කොටස් කාරයෝ

කිසියම් ස්වයං රැකියාවක් කිරීමට බලපාන භාවයන් කීපයක් තිබේ. ප්‍රථමයෙන්ම ඔහුගේ ආත්මය බලවත් විය යුතුයි. එසේ වන්නට නම් පළමු වෙනි භාවය බලවත් විය යුතුයි. එසේ නැත්නම්, භාවාධිපතිගෙන් ඇතිවන පලාපලය බලවත් විය යුතුයි. දෙවැන්න ධන ස්ථානයයි. ධන ස්ථානය ගැන ඔබේ අවධානය යොමු කළ යුතුයි. තෙවැන්න දේපළ පිළිබඳ නිවාස පිළිබඳ ශක්තිය ඇති කරන සිව්වන භාවයයි. එසේම රැකියාව ගැන කියන දහවනභාවය ද ආත්ම ශක්තියෙන් යුතුව කටයුතු කරන්නාගේ දෛවය හෙළි කරයි. අවසන් වශයෙන් අය ස්ථානය හෙවත් එකොළොස්වැන්නේ ඇති ශක්තිය අපි උරහා බැලිය යුතුයි. මේ උරගා බැලීම කරන්නේ ඒ ඒ භාවයන්ට අධිපතින්ගේ තත්ත්වය අනුවයි. අපි දැන් ඒ සම්බන්ධයෙන් විමසා බලමු.

ප්‍රථමයෙන් අපි පළමුවැනි භාවයේ ශක්තිය උරගා බලමු. පළමුවැනි භාවය අධිපති පළමුවැනි භාවයේ සිටිනවා නම් දියුණුවීමේ වාසනා ගුණය ඔබට හිමිවේ. අන් අය යටතේ රැකියා කිරීමට අපහසුයි. එහි විලෝමය නම් තමන්ගේ රැකියාවක් කිරීම පහසුය. එනිසා උත්සාහයෙන් යුතුව එම රැකියාව දියුණු කර ගැනීමේ භාග්‍ය ඔබට තිබේ. පරාර්ථකාමී ගතිගුණ ඇත. එබැවින් අන්‍යයන්ට උදව් උපකාර කරයි. හොඳ ආත්ම අභිමානයෙන් යුතු චරිතයක් බව පෙනේ.

පළමුවෙනි භාවයේ අධිපති දෙවැනි භාවයේ සිටි නම් ව්‍යාපාර කටයුතු කෙරෙහි උපන් හපන්කමක් ඔබට ඇත. කෙසේ හෝ විවිධ මාර්ග ඔස්සේ ආදායම් එන ක්‍රම ඔබ සකසා ගනී. අන්‍යයන්ට යටත් වී සිටීම නම් අපහසුයි. එනිසා ස්වයං රැකියාවක් ඔබට ඉතා හොඳින් ගැළපේ. ධනය එකතු කර ගැනීමට මෙන්ම එම ධනය ප්‍රවේශම් කර ගැනීමට ද ඔබ දක්ෂයි.

පළමුවෙන භාවාධිපති තුන් වන භාවයේ නම් ඔබ හොඳ නුවණැති අයෙකි. ඒ නුවණ යොදවා ඔබ ඔබේ අරමුණු ජය ගනී. ව්‍යාපාරයක දී නව මාර්ග ඔස්සේ සිතයි. ඒ සිතුවිල්ල ක්‍රියාත්මක වී කර්මය වී දෛවයක් බවට පත් වී ඔබ දියුණුවට පත් වේ. තම පවුලේ අයට මෙන්ම තමාට සමාන නෑ ඈයෝ හෙවත් නැදෑයෝට ද ඔබ ඉතා හිතවත්ය.

පළමුවෙනි භාවාධිපති සිව්වන්නේ සිටී නම් ඔබ හොඳ භාග්‍යවන්තයෙකි. නිවස හොඳින් පවත්වා ගනී. ඉඩකඩම් වුවද වල් බිහිවීමට නොදේ. සුන්දර පරිසරයක් ඔබ නිර්මාණය කරයි. පරාර්ථකාමී ගති ඇත. තම භෞතික සම්පත්තීන් වැඩි වනවිට ඔබ තුළ හොඳ ආත්ම අභිමානයක් ඇතිවේ. එනිසා එම අභිමානය ඔස්සේ පියවරෙන් පියවර ඔබ ඉදිරියට යයි.

පළමුවෙනි භාවාධිපති පස්වැන්නේ නම් පස්වන භාවය අධ්‍යාපනයට සම්බන්ධ භාවයක් නිසා ඔබ ඉගෙනීමට හොඳ කැමැත්තක් දක්වයි. ඒ ඉගෙනීම අනුව ඔබ බුද්ධිය ලබයි. ඒ බුද්ධිය ආයුධයක් සේ ඔබ පාවිච්චි කරමින් මුදල් උපයා ගැනීමට ඔබ දනී. ධන ලාභ මෙන්ම ධන පාඩු ද ඇත. ඒ පාඩු සිදුවන්නේ ඔබගේ හිත හොඳකම නිසාය. එනිසා හිත හොඳකම පාලනය කරන්න.

පළමුවෙනි භාවාධිපති හය වැන්නේ නම් ඔබ ඔබේ සෞඛ්‍ය ගැන මදක් උනන්දු විය යුතුයි. හේතුව හයවන භාවය රෝග ස්ථානය වන නිසයි. රහස් සතුරන් ගැන ද කියවෙන්නේ හයවන භාවයෙනි. නමුත් ඔබ සමඟ හැප්පීමට සතුරන්ට නොහැක. ඔවුන්ට වඩා ඔබ බලවත්ය. ඔබ සාධාරණයි. ඒ සාධාරණකම නිසා ඇතිවන ශක්තිය අනුව ජනාදරයට පත්වී ධනය ඉපයීමට ඔබට හැක.

පළමුවෙනි භාවාධිපති සත්වන භාවයේ නම් ඔබ තම මතය හැම විටම නිවැරදි යැයි සිතයි. එය නම් බොහෝ විට අවාසි සහගත දෙයකි. එනිසා ප්‍රථමයෙන්ම මා ඔබට දෙන අවවාදය නම් ජීවිතය දෙස සමතුලිතව බලන්න. සමතුලිතව බලා ක්‍රියාත්මක වන්න. ජීවිතයේ නැඟීම් වැටීම් දෙකම ඇත.

වරෙක එබ ලොකු ජයග්‍රහණ ලබයි. තවත් වරෙක ඔබ ලොකු පරාජයන් ලබයි. නමුත් ඔබගේ මනස ශක්තිමත් නිසා පරාජයේදී ඔබ අධෛර්යයට පත් නොවී කෙසේ හෝ නැවත නැඟී සිටියි. එය සමාජය තුළ ඇති දියුණුවීමේ චරිත ස්වභාවයයි.

පළමුවෙනි භාවාධිපති අටවන භාවයේ සිටී නම් සෞඛ්‍ය තත්ත්වය ගැන හොඳ උනන්දුවෙන් කටයුතු කරන්න. කෙසේ වුවද අනන්‍යන් සතු ධනය දේපළ වැනි දේ උරුම වීම තුළින් ඔබට ලැබේ. එසේ නැත්නම් අනන්‍යයන්ගේ කීර්තිය නිසා බුද්ධිමය ශක්තිය නිසා ඔබට දියුණු වීමට පුළුවන. ගම්වල ඇති රීතීන් නිසා හෝ පොත්වල ඇති නීතින් නිසා ඔබ සමහර අවස්ථාවලදී අපහසුතාවන්ට පත්වීමට ඉඩ ඇත. එනිසා නිතරම දුරදිග බලා කටයුතු කරන්න.

පළමු භාවාධිපති නවවැනි භාවයේ සිටී නම් නවවන භාවය පුණ්‍ය ස්ථානය නිසා ඔබට පෙර පින් ඇත. පෙර පින් යන්න මංගල කරුණකි. ජීවිතය ගැන ධර්ම සාක්‍ෂි ඇසකින් බලයි. ‘සන්තුට්ඨි පරමං ධනං’ හෙවත් සතුට පරම ධනය නිසා ඔබ ධනවන්තයෙකු හෙවත් ඔබේ හිතේ සතුට ඇති නිසා ඔබ ධනවන්තයෙකු ලෙස හඳුන්වාදීට පුළුවන. යුතුකම් දන්නා පුද්ගලයෙකු බැවින් ජනතාවගේ ආදරයට හා ගෞරවයට පාත්‍රවේ.

පළමු වැන්නාධිපති දහවන භාවයේ සිටීනම් ඔබට රැකියාවෙන් දියුණු වීමට පුළුවන. එම රැකියාව කෙනෙක් යටතේ හෝ වීම වෙනම ගැටලුවකි. වඩාත් ධනවත් වීම සඳහා නම් නෙත් අලුත් අලුත් මාර්ගයන් ඔස්සේ සිතා බැලිය යුතු වුවද ධන සම්පත මෙන්ම මිනිස් සම්පත ද හිමි කර ගැනීමේ වාසනාව ඔබට ඇත.

පළමුවැන්නාධිපති එකොළොස් වැනි භාවයේ සිටී නම් ඔබ නිදහස් අදහස් දරන්නෙකි. එම නිදහස ඔබගේ ව්‍යාපාර කටයුතු කෙරෙහි යොදන නිසා ධනවත් වීමේ වාසනාව ඔබට ඇත. එක් පැත්තකින් පමණක් නොව විවිධ පැති ඔස්සේ ආදායම් ලැබීමේ උපක්‍රමශීලි මනසක් ඔබට ඇත. යුතුකම් ඉටු කරන ගෙදර දොර වාසයට කැමති විවිධ සමාජ සම්බන්ධතා ඇති ඒ සම්බන්ධතා ලාභයට මෙන්ම පාඩුවට ද හේතුවන අයෙකු ලෙස හැඳින්විය හැක.

පළමුවෙනි භාවාධිපති දොළොස් වැනි භාවයේ සිටී නම් ඔබට ආදායම් ඇත. ඒ හා සමාන වියදම් ද ඇත. ඒ නිසා ඔබ තුළ නොසන්සුන් ගතිගුණ ඇත. කෙසේ වුවද අවශ්‍ය තැනට ජලය ගෙන යන ගොවියකු මෙන් අවශ්‍ය භාණ්ඩ සාධන වඩුවෙකු මෙන් විවිධ ආයුධ හදන කම්මල්කරුවෙකු මෙන් ඔබට ද සිතා බලා ජීවිතයේ අභියෝග ජය ගැනීමට හැක. ඔබේ ආයුධය බුද්ධිය ලෙස යොදා ගැන්නේ නම් තම බුද්ධිය ආයුධයක් කරගන්නේ නම් ඔබේ දියුණුව කිසිවකුට වැළැක්විය නොහැක. එනිසා ඉන් හැකිතරම් වැඩ ගන්න.

ධනය ගැන කියවෙන්නේ දෙවැන්නෙනි. ඒ නිසා ඔබේ කේන්ද්‍රයේ දෙවැන්නාධිපතියාගේ තත්ත්වය අනුව ඔබගේ ජීවිතය හැඩ ගැසේ. කෙසේ වුවද අහසේ ඇති තරු දිහා පමණක් විශ්වාසය තබන්නට නම් එපා. බුදු දහමේ සඳහන් ඍතු නියාමය බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය, චිත්ත නියාමය යන නියාම ගැනද සිතන්න. කාලීන ලෙස සහ චරිතමය වශයෙන් මෙම නියාම අඩු වැඩි ලෙස ඔබගේ ජීවිත යාත්‍රාව අපූරුවට යාත්‍රා කර ගැනීමට ඔබට පුළුවන. ජ්‍යොතිෂයෙන් කියවෙන්නේ ඉඟි ගැනයි. සැකිල්ලයි. ඒ සැකිල්ලේ මස්පිඬු පිරවීම අභ්‍යාස කරමින් පස්පිඬු වඩවා අයෝමය පුරුෂයෙකු වීම එසේ නැතිනම් යෝගී ව්‍යායාම කරමින් කයේ පෙනුමට වඩා මනසේ පෙනුම ශක්තිමත් කර ගැනීම මේ සියලුම දේ පුද්ගලයා සතුය. ඔබ සිතා බලමින් දුර්වලතා අඩුකරගෙන ප්‍රබලතා වඩාත් දියුණු කරගෙන ඔබ ඔබේ ගමන් මඟ යන්න.

දෙවැන්නාධිපති ග්‍රහයා පළමුවන භාවයේ සිටීනම් ඔබ වීර්යවන්තයෙකි. ධනවන්තයෙකුවීමේ භාග්‍ය ඔබට ඇත. ඉතා දක්‍ෂ ලෙස නව මං සොයමින් අලුත් අලුත් බලාපොරොත්තු ක්‍රියාත්මක කරමින් ඔබ ව්‍යාපාරික බුද්ධියෙන් යුතුව ඔබේ ගමන යයි.

දෙවැන්නාධිපති දෙවැන්නේ සිටීනම් ඔබ හොඳ නුවණැත්තෙකි. වික්‍රමාන්විත කටයුතුවලට ඉදිරිපත් වන්නෙකි. හොඳ පෞරුෂ ශක්තියක් ඇත. ගෘහ දිවිය යහපත්ය. සමාජයේ ගෞරවයට පාත්‍රවීමේ භාග්‍ය ඔබට ඇත.

දෙවැන්නාධිපති තුන්වන භාවයේ සිටීනම් ඔබට තීක්‍ෂණ නුවණක් ඇත. ඉන් කල්පනාකර ප්‍රයෝග සම්පත්තීන් උපයෝගී කරගෙන ධනවන්තයෙකුවීමේ වාසනාව ඔබට ඇත. ඔබ කිසිදිනක පසුබට නොවන්නෙකි. එනිසා ඔබට දියුණුවීමේ වාසනාව ඇත.

දෙවැන්නාධිපති සිව් වැන්නේ නම් ඔබ නුවණින් ක්‍රියාකර ඉදිරියට යයි. හොඳ පෞරුෂ ශක්තියක් ඇති කරණීයමෙත්ත සුත්‍රයේ පෞරුෂය වඩන කරුණු 14 ඔබගේ දිවිය පුරා පැතිරී ඇත. එනිසා දියුණුවීමේ භාග්‍ය ඔබට ඇත.

දෙවැන්නාධිපති පස්වන භාවයේ නම් ඔබ පවුලට හිතවත්ය. ඔබේ දියුණුවට මෙන්ම පොදුවේ පවුලේ දියුණුවට ද අදාළ වන කටයුතු කරයි. අනුන්ගේ කටයුතු ගැන ද ඔවුන්ගේ දියුණුව ගැන ද ඔබ සිතයි. මෙනිසා ම තමන්ගේ කටයුතුවල දී තරමක පසුබැසීම් ඇතිවේ.

දෙවැන්නාධිපති හවන භාවයේ සිටීනම් නිතර ඉතා පහසුවෙන් ඔබට උදරාබාධ ඇති බව කියවේ. සතුරු කරදර ඇතත් ඒවා ඉක්මවා යමින් දියුණුවීමේ වාසනාව උදාකර ගනී.

දෙවැන්නාධිපති හත්වන ස්ථානයේ සිටීනම් ඔබ තුළ නොසන්සුන් ගති ඇත. නමුත් ඔබට අත් ගුණය ඇත. එය යොදමින් කරන ව්‍යාපාර ගැන උනන්දු වන්නේ නම් ඔබේ දියුණුව කිසිවෙකුට වෙනස් කළ නොහැක.

දෙවැන්නාධිපති අටවන භාවයේ නම් ඔබට උරුමවීම් ඇත. භෞතික හෝ බුද්ධිමය දේපළ ඔබට ඇත. භූමියෙන් මුදල් ඉපයීමේ වාසනාව ඇත. එය ගොවිතැන හෝ ඊට වඩා ඉක්මගිය මැණික් ගැරීම වැනි දේ හෝ විය හැක. කෙසේ වුවද විවාහයෙන්ද මුදල් ලැබීමේ වාසනාව ඇත. ඔබේ දුබලතානය නම් මුදල් රැක ගැනීමේ දුබලකම්ය. එය රැක ගන්නේ නම් ඔබේ දියුණුව කාටවත් වැළැක්විය නොහැක.

දෙවැන්නාධිපති නවවන භාවයේ සිටීනම් ඔබ ඉතාමත් හික්මීමෙන් යුතුව ධනය උපයයි. එම ධනය රැක ගැනීමේ ශූරවත් බව ඔබ තුළ ඇත. කුඩා කල සෞඛ්‍යමය වශයෙන් විවිධ ගැටලු ඇතිවන බව පෙනේ. නමුත් පසුකල ඔබ නිරෝගීමත්ව කායිකව හා මානසික එම නිරෝගී බව ප්‍රකට කරයි. අනාගතයේ ධනවත් වීමේ වාසනාව ඔබට ඇත.

දෙවැන්නාධිපති දහවැන්නේ සිටී නම් වෘත්තීය කටයුතු අනුවම ඔබ දියුණුවට පත්වේ. ඒ ලැබෙන ධනය විවිධ අයුරින් වියදම් කිරීමේ දුබලතා හෙවත් කෙලෙස් ඇති නිසා ඒවා පාලනය කර ගන්න.

දෙවැන්නාධිපති එකොළොස් වැන්නේ සිටීනම් එය යහපත් පිහිටීමකි. ධනස්ථානය සහ අධිෂ්ඨානය අතර ඍජු සම්බන්ධතාව ඔබට සෞභාග්‍ය ගෙනේ. මානසිකවද ඔබ ධනවන්තයෙකු වන බව ජ්‍යොතිෂය කියයි.

දෙවැන්නාධිපති දොළොස්වැ්නේ නම් එතරම් ධනයක් ඇත්තෙකු නොවේ. එවැන්නෙකුට වඩා බලයක් ඔබට ඇත. ගෞරවණීය ලෙස ජීවත් වේ. එනිසා ජනතාව ඔබට ගරු කරයි. ධනය වඩා ජනතාව අතර පිළිගැනීමට ලක්වන බුද්ධිමත් බව ඔබ තුළ ඇත. එය මුදල් කර ගැනීමට ඔබට පුළුවන. එබැවින් ඒ ගැන සිතා කටයුතු කරන්න.

හේළි සරත් රාජකරුණා
විද්‍යා ජ්‍යොතිෂ දලුග්ගල රඹුක්කන
දුරකතනය 0352262837

advertistmentadvertistment
advertistmentadvertistment