මැයි රැලි

183

එජාපය මාලිගාවත්තේ

මැයි රැලි

එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වනු ලබන මැයි දින සැමරුම ‘යළි නොවැටෙන අභිමානවත් රටක්’ යන තේමාවෙන් කොළඹ මාලිගාවත්තේදී මැයි 01 වැනිදා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මැයි දින සැමරුමට 50000කට ආසන්න ජනකායක් සහභාගී වනු ඇතැයි එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

මැයි දිනයේ සංවිධාන කටයුතු එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරුන් දහසකට පවරා තිබෙන බව ද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායකයකු ජනාධිපති ලෙස පක්ෂ මැයි දින රැලියකට එක්වන පළමු අවස්ථාව මෙය බව එම පක්‍ෂය කියයි.

එක්සත් ජාතික පක්ෂ මැයි දිනයට සහභාගී වන ලෙස සියලු පක්ෂවලට විවෘත ආරාධනාවක් කර තිබෙන බව කී එජාප මහලේකම්වරයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු සන්ධානය ගොඩනැඟීමේ මුල් පියවර ලෙස එම පියවර ගත් බව කීය.

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා දැවැන්ත ජන බලයක් ගොඩනැගීමේ මෙහෙයුම අරඹන බව ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.

චමින්ද සිල්වා

පොහොට්ටුව කැම්බල්

මැයි රැලි

‘දිනන රටක් එක ගමනක්’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර මැයි දින රැලිය නිර්භයව පිට්ටනියක දී පවත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පමණක් බවත් එම පක්‍ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.

තම මැයි දින රැලිය සඳහා ජනතාව සහභාගිවේද යන බිය නිසා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්‍ෂ විසින් ඔවුන්ගේ මැයි දින රැලි පැවැත්වීම සඳහා මහා මාර්ග තෝරගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිය මහජන එක්සත් පෙරමුණ හා දේශ විමුක්ති ජනතා පක්‍ෂය ඇතුළු පක්‍ෂ සහ සංවිධාන සමග ඒකාබද්ධව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එරික් ගාමිණී ජිනප්‍රිය

සජබ කොළඹ

මැයි රැලි

‘සමගි රටක් – අනගි හෙටක්’ යන මැයෙන් ජන බලවේගයේ මැයි රැලිය මැයි 1දා කොළඹ චැතැම් වීදියේදී පැවැත්වීමට නියමිතය.

එම පක්ෂයේ මැයි පෙළපාළිය එදින පස්වරු 01.00ට ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයෙන් ආරම්භ කිරීමට නියමිතය.

විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් එම මැයි රැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එහි නායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බව එම පක්ෂය කියයි

අකිත පෙරේරා

ජවිපෙන් රැලි 4ක්

මැයි රැලි

‘රට හදන විසඳුමට ජන බලය එක පෙළට’ තේමාව කරගනිමින් මෙවර මැයි දිනය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මැයි රැලි හතරක් සංවිධානය කර ඇත.

කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුර යන නගර කේන්ද්‍ර කර ගනිමින් මෙම මැයි රැලි සංවිධානය කර තිබේ.

කොළඹදී පැවැත්වෙන මැයි පෙළපාලිය කොළඹ බී. ආර්. සී. පිටියෙන් ආරම්භ කරන අතර සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී රැලිය පැවැත්වීමට තීරණය කර තිබේ.

කොළඹදී පැවැත්වෙන එම මැයි රැලිය සඳහා පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්‍ෂ නියෝජිතයන් රැසක් එක්වීමට නියමිතය.

සුජීව තත්සර

මැයි රැලි

පෙරටුගාමී මැයි රැලිය හයිඩ් පිටියේදී

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැලිය මැයි මස පළමු වැනිදා සවස තුනට කොළඹ හයිඩ් පිටියේ දී පැවැත්වීමට නියමිතය.

‘වැඩකරන ජනතාවනි: ඉන්දියානු අධිපත්‍යවාදය – අයි.එම්.එෆ්. මර උගුල පරදවමු’ යන තේමාව යටතේ එය සංවිධානය කර තිබේ

අනුරාධ හිරිපිටියගේ

මෛත්‍රිලාගේ මැයි රැලිය විජයදාසගේ ප්‍රධානත්වයෙන්

චන්ද්‍රිකාලා සිරිපාලලා රැලිවලට නෑ

මැයි රැලි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය විසින් පවත්වනු ලබන මැයි දින රැලිය ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නගර සභා පිටියේදී මැයි 01දා සවස 02.00ට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එම පාර්ශ්වයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාර්ශ්වය විසින් මැයි රැලියක් පැවැත්වීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් වෙනත් කිසිදු පක්‍ෂයක මැයි රැලියකට සහභාගි නොවීමට ද නිදහස් පක්‍ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පාර්ශ්වය තීරණය කර ඇති බවත් නිදහස් පක්‍ෂ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක මහතා ‘ඉරිදා දිවයින සංග්‍රහය’ට පැවසීය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment