ඉන්දියාව ඇමතීම!

ඇඟට මහා හෝන්දුමාන්දු ගතියක් දැනුණි. මං හිතුවා ගෝ ගෝ ගෝටා සර් හදපු ජොගින්ස් පාත් එකේ ටිකක් ඇවිදලා එන්න. බොටමක්, ඩෙක් ෂූස් දෙකක් මොනවත් නැති හින්දා මං ගෙදරට අඳින පරණ සරමත් කමිසෙත් දාගෙන ජොගින්ස් පාත් ගියා. එහෙම යනවාද? එහෙම යන්න වෙලා. ඒත් ගියාට මොකෝ, ඇවිදින්න කරන්න බෑ. අඩිය දෙක තියන කොටම වැටෙන්න බලනවා. උදේට කෑවාද මං? කෑම නෙවෙයි, තේ එකවත් බිව්වාද? හැබෑට බිව්වෙ නෑ නේද කියල මතක් වුණේ එතකොට. මං ළඟ තිබුණු ජාතික කිරි මණ්ඩලේ කිරි කඩේට ගියේ තිබහත් බඩගින්දරත් ටිකක් නිවාගන්න. මං කිරි කෝප්පෙ තොල ගගා ඉද්දි මෙන්න දන්න කියන කෙනෙක් ළඟ. ඇත්ත වශයෙන් ලොකු අභිමානයක් මට ඇති වුණේ එතුමා දැක්කාම. මේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඊළඟ ජනාධිපති නේද? ඔව්, ළඟ හිටියේ අපේ අනුර කුමාර සහෝදරයා. හැබැයි සහෝදරයා ඇඳලා හිටියේ වෙනදා අඳින සාක්කු තියෙන අත් නවාපු කමිසෙවත් පරණ කළු කලිසමවත් නෙවෙයි, ටයි එකකුයි කෝට් එකකුයි.

“කොහොමද අනුර මහත්තයා?” කියල තව පොඩ්ඩෙන් මට ඇහෙන්න ගියේ. කොහොමහරි මං වචන තෙරපාගෙන “ඉතිං සහෝදරයා….” කියල ඇමතුවා. එතුමා වැඩිය කථා කරන කෙනෙක් නෙවෙයිනෙ, කථා කරන්න දුන්නොත් මිසක. ඉතිං හිනා වෙලා නිකන් හිටියා සහෝදරයා.

“ඇත්ත වශයෙන් අපට ආඩම්බරයි සහෝදරයා ගැන. සීනුව – මාලිමාව ඉන්දියාවට ගියා එහෙනම්!” මං වචන ගලපලා කිව්වා. ඒකටත් එතුමා හිනා වුණා.

“අමුල් එකටත් ගියා කියල දැක්කා අපි,” මං ඊළඟට කියපු දේටත් හිනා වුණා එතුමා. හිනා වෙලා විතරක් වැඩක් නැති හින්දා මං උත්තරයක් ගන්න බැලුවා:

“අමුල් එකට කිරි මණ්ඩලේ විකුණන්න යන එකට විරුද්ධ වුණෙත් සහෝදරයලම කියල ආණ්ඩුවේත් විපක්ෂෙත් කට්ටිය කියනවා නේද?”

අන්න එතකොට අනුර සහෝදරයා කතා කළා මගෙ දිහාට හිස ඔසොවලා:

“අපි විරුද්ධ වුණේ ප්‍රසම්පාදන වැඩපිළිවෙළක් නැතුව ඒක දෙන්න ගිය එකටනෙ. ඒත් දැන් අපි වැඩේට එකඟයි. මොකද අපි අමුල් කිරි මොන වගේද කියල බලලා ආවේ.”

“ඒ කිව්වෙ කිරි බීලාද ආවේ?”

“ඔව්, අපි කිරි බිව්වා. මරු කිරි.”

“එතකොට දැන් මෙහේ කිරි බොන්නෙ?” මගෙ කට තියාගෙන ඉන්න බැරුවට ඇහුණා.

“මෙහෙන් බොන්න ආවේ නම් බඩගින්නට. මෙහේ කිරිවල තත්ත්වෙ බලන්න වැඩක් නෑනෙ දැන් අමුල්ලාට අපේ කිරි අහක් කරන්නම් කියල ඇවිල්ලා.”

අනුර සහෝදරයා මගේ පැත්ත හැරිලා ඉන්න හින්දා මට හිතුණා කථා කරන්න තව ටිකක්.

“ජැටිය ගැන මොකද කිව්වෙ සහෝදරයා?”

“ප්‍රසම්පාදන වැඩපිළිවෙළක් නැතුව කරපු එකට අපි විරුද්ධ වුණේ කියල කිව්වෙ.”

“එතකොට තෙල් ටැංකි දෙන එක?”

“ප්‍රසම්පාදන තමයි ප්‍රශ්නෙ,” අනුර සහෝදරයා කියා සිටියා අන්තිම කිරි උගුර බොන ගමන්.

“ඒත් ඒක විශ්වාස කළාද ඒගොල්ලො?” මං තව ප්‍රශ්නයක් දැම්මා.

“විශ්වාස නොකරන විත්තිය අපි දැනගෙන සිටියා. ඉතිං ලොකු වාද විවාද ගියා.”

“ඔය සහෝදරයාත් වාදෙ පැටලුණාද?”

“නෑ. මං වාදෙ පැටලෙන්න සිංහලෙන් කථා කළේ නෑනෙ.”

අනුර සහෝදරයා එතනින් කථාව හමාර කරලා නැඟිට්ටා. ඒත් මට ඕන වුණා යන්න කලින් තව එකක් දැනගන්න. මං නැඟිටලා ඇවිදගෙන යන සහෝදරයා පස්සෙන් දුවලා ගිහින් මෙහෙම ඇහුවා:

“ඇත්තටම සහෝදරයා, ඇයි තමුන්නාන්සේ ඔය කෝට් බෑයකුයි ටයි එකකුයි දාගෙන ගියේ? ඉන්දියාව ඇඳුමක් දුන්නාද හිටන්ට වගේ?”

සහෝදරයාට කේන්ති ගියාද! ඇවිදින එක නතර කරලා මං දිහා බැලුවා එතුමා කිණ්ඩියට වගේ.

“මාධ්‍යවේදියෙක්ද ඔයා? මිනිහෙක්ගෙ ඇඳුම තීරණය කරන්නෙ අඳින මිනිහා මිසක් වෙන කවුරුවත් නෙවෙයිනෙ.”

සහෝදරයා ආයෙත් ඇවිදිනවා. මට දැනුණෙ ඔහුගේ උත්තරේ උත්තරයක් විධියට නෙවෙයි. ඉතිං මං හිතට ආ දේ කියා හිටියා:

“ඇඳුම මාරු කරපු හිටන් ඡන්දෙ දින්නා. ඒත් මං කල්පනා කළා ඇයි ඡන්දෙට කලින්ම ඇඳුම මාරු කළේ කියල සහෝදරයා.”

නායක සහෝදරයා නැවතුණේ නෑ. නොනැවතීම මෙහෙම කිව්වා:

“අපි මිථ්‍යා පස්සෙ දුවන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. ඒත් බලය ගන්න පුළුවන් නම් මොන දේ කරන්න වුණත් මැළි වෙන්නෙත් නෑ!”

අනුර සහෝදරයා පස්සෙ මං ආයෙ ගියේ නෑ. ඒත් නොකියා හිටියොත් මේක හරි නැති හින්දා හයියෙන් කිව්වා මෙහෙම:

“හැබැයි කෝට් බෑයයි ටයි එකයි නම් ඇන්දිලා නෑ මහත්තයෝ!”

සහෝදරයා පස්ස හැරිලා බලලා යන්න ගියා නොපෙනීම. මං ජොගින් යන අදහස අත්හැරියා. ආපසු හැරුණා මං. ඒත් හැරුණ ගමන් දැක්කෙ තවත් දන්න කෙනෙක්. ඒ, අපේ හරින් ප්‍රනාන්දු ඇමැතිතුමා. ජිම් යනවා එතුමා. සමාජ ශාලාත් යනවා. ඒත් ජොගින් කරනවාද එතුමා? නොකරන දෙයක් තියෙනවාද ඇමැතිලා? මට ඕන වුණා ඇමැතිතුමා එක්ක කථා කරන්න ඉන්දියානු ගමන ගැන. මං ආසම එතුමාගේ කටහඬට. එච්චර ගොරෝසු කටහඬක් උරුම වුණේ කොහොමද කියල අහන්න එපා එතුමාට. ඒවා ඕන නෑ. මං ඉන්දියාව සංචාරය ගැන විමසුවා:

“ඇමැතිතුමා ඉන්දියාවට ගිහින් කරපු කථාව මරේ මරු! ජයශංකර් එහෙමත් හිටියාද එතන?”

ඇමැතිතුමා සිනාවක් පෑවා මට. පස්සෙ කටහඬ අවදි කළා:

“හැබැයි මෙහෙ කට්ටිය කියන්නෙ මං ලංකාව පාවා දුන්නාය, ලංකාව ඉන්දියාවේ කොටසක් නෙවේය කියලනෙ.”

හැබෑට ලංකාව ඉන්දියාවේ කොටසක් නෙවෙයි කියන මෝඩයො මේ රටේ ඉන්නවාද? පුන්නක්කු දෙන්න එපැයි උන්ට. මෙතුමා ඉතිහාසය දන්න කෙනෙක්. මං හිතන්නෙ මහා සිංහලේ වංශ කතාවත් බලලා ඇති පනාපුත්‍රගෙ. ඇරත් ලංකාවේ ඉතිහාසය, පාර්ලිමේන්තු ක්‍රමය, ව්‍යවස්ථාව නොදැන කොහොමද පාර්ලිමේන්තු යන්නෞ ඉතිං මං කිව්වා “මිනිස්සු මොනවද නොකියන්නෙ ඇමැතිතුමා? මොන හොඳ දේ කළත් නරකයි කියන කට්ටියක් ඉන්නවානෙ” කියල. එතුමා මට ඊළඟට මෙහෙම කරුණු පැහැදිලි කිරීමකුක් කළා:

“ඇත්තටම කියනවා ලංකාව ඉන්දියාවේ කොටසක් කියල මං ඉස්කෝලෙ කාලෙත් ඉගෙනගෙන තිබුණෙ. විජය රජ්ජුරුවන්ගේ ලේ නෙ අපට තියෙන්නෙ. ඒත් මේ මිනිස්සු කියන හින්දා මං පොත බැලුවා ආයෙත්. අන්න එතකොට දැනගත්තා ලංකාවේ රාවණා ඉන්දියාවේ රාමා එක්ක යුද්ධ කළාය, එහෙම කළේත් මේ දෙක රටවල් දෙකක් හින්දාය කියල.”

ඒ කතාවට මාත් උඩ බිම බැලුවා. මගේ වික්ෂිප්ත බව දැකලාදෝ එතුමා ආයෙ මෙහෙම කිව්වා:

“ඇත්ත කිව්වොත් මං ඔය මොනවත් දන්නෙ නෑ. මං කළේ මගේ මාධ්‍ය නිලධාරියා ලංකාව ගැන ලියලා දුන්නු දේ කටපාඩම් කරලා කියවපු එක.”

ඒක හරි. ඇමැතිතුමා නෙවෙයි, මං හිටියත් කරන්නෙ ඕක තමයි. මං එතුමාගේ කථාව අගය කළා:

“තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න එකනෙ කරන්න ඕනෙ ඇමැතිතුමා.”

“ඒක තමයි මං කළේ. දැන් මාලදිවයිනත් එක්ක ඉන්දියාවේ ආරෝව ආයෙ කියන්න ඕන නෑනෙ. මට ඕන කළේ මේ වගේ කතා කියල එහේ ඉන්න සංචාරකයො ටික මෙහෙට ගෙන්න ගන්න එක. ඒකයි මං කිව්වෙ මුම්බායි අතහැරලා ලංකාවට වරෙල්ලා කියලත්.”

ඇමැතිතුමාව බදාගන්න මට ඕන වුණා. ඒත් ජොගින් පාත් එකේ දුවන්න හදිසි හින්දා එතුමා මට මේ ටික කියල යන්න හැරුණා:

“මට ඕන ඇමැතිකමින් යන්න ඉස්සර වෙලා ලංකාව සංචාරක පාරාදීසයක් කරන්න. මොකද දැන් භාණ්ඩාගාරෙ සල්ලි නෑ. දැන් කොහෙන් කොහෙන් හරි සල්ලි එකතු කරගත්තොත් ඉස්සරහාට අපට වැඩ කරගන්න පුළුවන්. දන්නවානෙ මේ අවුරුද්දෙ ඡන්ද දෙකක් තියෙනවා කියල.”

හරින් ඇමැතිතුමාගෙන් අහන්න තව ප්‍රශ්න තිබුණා මට. තාත්තා තවම ජීවතුන් අතරද කියල අහන්න එක ප්‍රශ්නයක් තිබුණා. පොළොන්නරුවේ ඉඳන් ඇවිත් ක්‍රිකට් වලියක් දාගෙන උන්හිටිතැන් නැති කරගත්තු මැතිතුමා ගැන තව ප්‍රශ්නයක් තිබුණා. රංජන් කිව්ව ගංජා සුරුට්ටු කතාව ගැන තවත් ප්‍රශ්නයක් තිබුණා. ප්‍රශ්න ජංජාලයක් ඉතුරු කරලා එතුමා ගියා ජොගින්. මං ආවා ගෙදර.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment