විමල් දිසානායක සාහිත්‍ය විචාර ක්‍රමවේදය

සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ විසින් රචිත “විමල් දිසානායක සාහිත්‍ය විචාර ක්‍රමවේදය” නමැති විචාර ග්‍රන්ථය සිංහල විචාර විවරණ අතරට එක් වූ කාලීන වැදගත්කමකින් යුත්, අපගේ විචාරාවබෝධය පුළුල් කරන සාරගර්භ විචාර සංග්‍රහයක් ලෙසින් හැඳින්විය හැක.

විශිෂ්ට සාහිත්‍යධරයෙකු වන ගුණදාස අමරසේකර විසින් පේරාදෙණියෙන් බිහි වූ “හොඳම ප්‍රාඥයා” ලෙසත්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගෙන් පසුව බිහි වූ “හොඳම විචාරකයා” ලෙසත් හඳුන්වා දී ඇති විමල් දිසානායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී සිංහල ගෞරව උපාධිය හදාරන ලද්දේ ඉංග්‍රීසි සහ සංස්කෘත භාෂාවන් අනු විෂයයන් ලෙසිනි. මෙම භාෂා ඥානය විමල් දිසානායකට පෙර‘පර දෙදිග සාහිත්‍ය විචාර සිද්ධාන්ත, සංකල්ප හා විචාර මූලධර්ම විවරණය කිරීමට ඉමහත් පිටිවහලක් විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන මහාචාර්යවරයා ලෙසත්, හොංකොං විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරයා ලෙසත්, හවායි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි, සන්නිවේදන හා සංස්කෘතික අධ්‍යයන මහාචාර්යවරයා ලෙසත්, සේවය කළ විමල් දිසානායක ආසියාතික සිනමාව හා ආසියාතික සන්නිවේදනය පිළිබඳ ලෝකයේ මුල් තැනක් ගත් ප්‍රාමාණික විද්වතෙකු ලෙස සැලකේ. සිංහලෙන් පළ වූ ඔහුගේ ග්‍රන්ථ අතරට ඉංග්‍රීසියෙන් රචිත විචාර ග්‍රන්ථ පළ වී ඇත්තේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ඩියුක්, මිනසෝටා, නිව්යෝර්ක් වැනි විශ්ව කීර්තිධර විශ්වවිද්‍යාල ප්‍රකාශන ආයතන මගිනි. මෙබඳු විශිෂ්ටතා පළ කළ විමල් දිසානායක “වර්තමාන සාහිත්‍ය විචාරයේ ස්වරූපය” පිළිබඳව පළ කර ඇති අදහස් කුලතිලක කුමාරසිංහ විසින් මෙම විචාර සංග්‍රහයේ සමාරම්භයේදීම ගෙනහැර දැක්වීම හොඳ පූර්විකාවකි.

“කවර රටක වුවද සාහිත්‍ය සංවර්ධනය ඔස්සේ ප්‍රබුද්ධ විචාරකයන්ගේ මාර්ගෝපදේශකත්වය අනුවයි. මෙරට විචාරකයන්ගෙනුත් එම කාර්ය ඉටුවීමට නම් ඔවුන් වර්තමාන බටහිර සාහිත්‍යය ගැන මෙන්ම සම්ප්‍රදායික සාහිත්‍යය ගැනද මනා අවබෝධයක් ඇති කර ගතමනාය”.

විමල් දිසානායක විසින් 1961 වර්ෂයේ දී පළ කළ “සනාතන අරගලය” කෘතියෙහි විචාරය, නවකතාව, නාට්‍යය යන සාහිත්‍යයික ෂානර නියෝජනය කරමින් රචිත ලිපි දහයකින් සමන්විතය. කවියා ඇතුළු සාහිත්‍යකරුවන් විසින් අගයනු ලබන පුරුෂාර්ථ සමාජ සම්මතය ලබා ගන්නේ දිගු කාලයකට පසුව බව පෙන්වා දෙන විමල් දිසානායකගේ මෙම අදහස් පිළිබඳව කතුවර කුලතිලක කුමාරසිංහ කළ සඳහන බලනු මැනවි.

“කවියා අගයන ජීවන පුරුෂාර්ථ හා සමාජය අතර අඛණ්ඩව විහිදී යන සනාතන අරගලයක් පවතී. එය සෑම කාල වකවානුවකදීම සිදුවන අරගලයකි. ගැඹුරු ජීවිතාවබෝධයකින් යුත් දිසානායක මේ අරගලයේ ස්වභාවය හා දිශානතීන් මෙම ලිපිය මගින් පෙන්වා දීම වැදගත්ය”.

“නාට්‍ය කලාව පිළිබඳ හැඳින්වීමක්” නමැති කුඩා ග්‍රන්ථය වර්ෂ 1963 දී පළ කර ඇති අතර, එය නාට්‍ය කලාව හදාරන්නන්ට සප්‍රයෝජනවත් විය. මෙම කෘතිය මගින් නාට්‍ය හා අවශේෂ සාහිත්‍යාංග, නාට්‍යෝචිත අවස්ථාව, ක්‍රියා විකාශනය, සම්මතය, දර්ශනය, ශෛලිය යන මාතෘකා හයක් සාකච්ඡාවට බඳුන් විය. “නිර්මාණ හා විචාරය” කෘතිය නිර්මාණකරණය හා විචාර කාර්යය පිළිබඳ මූලික ලක්ෂණ හා ධර්මතා අවබෝධ කර ගැනීම පිණිස රචනය කරන ලද්දකි. නිර්මාණය, අත්දැකීම, භාෂාව, සංකල්ප රූප, සාහිත්‍යය හා සමාජය, සාහිත්‍යයේ ප්‍රයෝජන හා විචාරය යන මාතෘකා යටතේ සාහිත්‍යයික ධර්මතා විශ්ලේෂණය කිරීමට ඔහු පෙළඹී ඇත්තේ බටහිර විචාර ක්ෂේත්‍රයේ එවකට ප්‍රචලිතව පැවති “නව විචාරවාදය” (New Criticism) අනුගමනය කරමින් බැව් කුලතිලක කුමාරසිංහ කරන සඳහන විමල් දිසානායකගේ මෙවදන් තුළින් මනාව ස්ඵුට වේ.

“නිර්මාණය හා විචාරය රචනා කරන අවධියෙහි මගේ සාහිත්‍ය විඥානය කෙරෙහි දැඩි ලෙස බලපා තිබුණේ නව විචාර කලාවයි. මෙය යන යෙදුමෙන් හඳුන්වනු ලැබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයට බැඳී රේමන්ඩ් විලියම්ස්, ග්‍රැහැම් හෆ්, ඇල්. සී. නයිට්ස්, ජෝන් හොලවේ වැනි ලෝක ප්‍රකට මහාචාර්යවරුන් යටතේ විචාර කලාව අධ්‍යයනය කිරීමේ පරම භාග්‍යය ලැබුවෙමි. ඔවුන් විසින් පුළුල් වශයෙන් අනුගමනය කරන ලද්දේ විචාර කලාවෙහි මූලධර්ම යැයි කිව හැකිය. නව විචාරය හා චිරන්තන භාරතීය කාව්‍ය විවේචනයෙහි ඇතැම් සංකල්ප සංකලනය කිරීමේ අභිලාෂයක් මා තුළ විය. මේ ගවේෂණ පථය හෙළි පෙහෙළි කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි විශිෂ්ට විචාරකයන් විසිනි.”

නවකතා විචාරයේ දී විමල් දිසානයකට වැඩි වශයෙන් බලපා ඇත්තේ නූතන බටහිර නවකතා විචාර සිද්ධාන්ත හා විචාර සංකල්ප බැව් සඳහන් කරන කුලතිලක කුමාරසිංහ විශේෂයෙන් ඊ. එම්. පෝස්ටර්ගේ “Aspect of Novel” (නවකතාවේ පැතිකඩ) කෘතියේ මතු කෙරුණු විචාර මූලධර්ම එදිරිවීර සරච්චන්ද්‍රට මෙන්ම විමල් දිසානායකට ද අඩු වැඩි වශයෙන් බලපා ඇති බැව් පෙන්වාදී ඇත. විමල් දිසානායක විසින් රචිත “ ගිරිකුළ හා සඳ මඬල” බොහෝ පාඨකයන්ගේ හා විචාරකයන් නොමඳ සම්භාවනාවට පත්වූවකි. මෙම විචාර ග්‍රන්ථය ගැන විවරණයක යෙදෙන කුලතිලක කුමාරසිංහ පවසන මෙවදන් බලනු මැනවි.

“දිසානායකගේ විචාර පතපොත හා විචාර ලේඛන විමර්ශනය කරන විට පෙනෙන සුවිශේෂී ගුණාංගයක් නම් නම්‍යශීලීභාවයයි. ඔහු සාහිත්‍ය විචාරකයන්ගේ කාර්යය හා වගකීම මැනවින් ඉටු කරන විචාරකයෙකි. නිර්මාණය හා විචාරය අතර පවත්නා පරස්පරාපේක්ෂ සම්බන්ධතා පිළිබඳව ඔහුට යථාවබෝධයක් තිබේ.”

1973 වසරේදී විමල් දිසානායක පළ කරන ලද “නව කවි සරණිය” දශක තුනකට ආසන්න කාලයක් උසස්පෙළ හැදෑරූ විද්‍යාර්ථීන්ට මෙන්ම විශ්වවිද්‍යාලවල ප්‍රථම වර්ෂයේ විද්‍යාර්ථීන්ටද හැදෑරීමට අවකාශ ලද්දකි. මෙහි ප්‍රස්ථාවනාව තුළින් නූතන කාව්‍ය ක්ෂේත්‍රයට ආලෝචනා විදහා දැක්වෙන සේ කවිය හඳුනා ගැනීමටත් කවිය නිර්වචනය කිරීමටත්, කාව්‍ය ව්‍යුහගත අංගෝපාංග පැහැදිලි කිරීමටත් කටයුතු කර ඇත.

1975 දී පළවූ “විවාදාත්මක ලිපි” සංග්‍රහයේ විවිධ සාහිත්‍ය ෂානර නියෝජනය කරන ලේඛන දහයකින් සමන්විතය. මෙම ලිපි සමුච්චයෙහි විශේෂත්වය වන්නේ භාෂාව විෂයෙහි දක්වා ඇති සුවිශේෂී අවධානයයි. සාහිත්‍යයේදී භාෂාවේ වැදගත්කම අවධාරණය කර ඇත්තේ මෙලෙසිනි.

“කවියා මෙන්ම නවකතාකරුවාත් සිය අරමුණු සියල්ලම ඉටුකර ගන්නේ භාෂාව මඟිනි. අත්දැකීම්, චරිත නිරූපණය, සන්දර්භය, කථා කලාව, ජීවන දෘෂ්ටිය යනාදී සියල්ලක්ම භාෂාව සමඟ අවියෝජනීය ලෙස බැඳී ඇත. මෙහිලා යෙදුම් තෝරා ගැනීම හෙවත් වාගූක්තිවරණය පිළිබඳ සංකල්පය අතිශයින් වැදගත්ය.”

2002 වසරේ දී පළ කළ “පශ්චාත් නව්‍යවාදය – කෙටි හැඳින්වීමක්” කෘතියේ පශ්චාත් නූතනවාදයේ ප්‍රභවය සඳහා ශාස්ත්‍රීය පදනම සකස් වූ ආකාරය විවරණය කර ඇත. 2004 වසරේදී රචිත “නව විචාර සංකල්ප – ඥාන ක්ෂේත්‍රයෙහි ප්‍රවණතා” කෘතියේ 20 වන සියවස දී බටහිර සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රචලිත වූ විවිධ විචාර හා දාර්ශනික සංකල්ප මෙරටට හඳුන්වා දී ඇති බැව් සඳහන් කරන කුලතිලක කුමාරසිංහ “අන්තර් ග්‍රාන්ථිකත්වය” බඳු සංකීර්ණ සංකල්පයන් නිවැරදි හා පැහැදිලි බස්වහරකින් විවරණය කිරීමට නැඹුරු වී ඇති අයුරු මැනවින් පෙන්වා දෙයි.

“අන්තර් ග්‍රාන්ථිකත්වය (Intertextuality) යන්නෙහි මුඛ්‍යායාර්ථය නම් සෑම ග්‍රන්ථයක්ම එයට පෙරාතුව රචනා කරන ලද ග්‍රන්ථවලින් උපුටාගත් පාඨ, යෙදුම්, චින්තන රටා, දෝංකාර හා අනුරාව ඇති බවයි.”

2009 වසරේදී ”Sinhala Novel and the Public Sphere” (සිංහල නවකතාව සහ මහජන කක්ෂය) නමින් ඉංග්‍රීසියෙන් පළ කළ විචාර ග්‍රන්ථයේ “මහජන කක්ෂය” නම් සංකල්පය ශ්‍රී ලංකා සාහිත්‍ය කලාව ඇසුරෙන් විවරණය කිරීමට පෙලඹී ඇත්තේ, පියදාස සිරිසේන, මාර්ටින් වික්‍රමසිංහ සහ ගුණදාස අමරසේකර තුළිනි. 2016 පළ කළ “වින්දනය සහ චින්තනය” යෙහි ඇතුළත් ලිපි මාලාවේ විශේෂත්වය වන්නේ ඒවා සිය “සංස්කෘතික දිනපොතින්” උපුටා ගෙන තිබීමයි. මෙය විචාර කලාවේ නැවුම් ආරම්භයකි. මෙම විචාර තුළින් මෙරට පාඨකයන්ට ආගන්තුක ලේඛක ලේඛිකාවන්ගේ නව විචාර ගවේෂණ මාර්ග හඳුන්වාදී තිබීම ප්‍රශංසාර්හය.

2010 දී විමල් දිසානායක කුලතිලක කුමාරසිංහ සමඟ සංවාද ස්වරූපයෙන් පළ කරන ලද “සතර දොරටුව” කෘතියේ දී සතර දොරටු වන-ලේඛකයා-කෘතිය-පාඨකයා-පසුබිම යන සංකල්ප මැනවින් විවරණය කර ඇත. මෙම කෘතියේ පෙරවදනේ සඳහන් කර ඇති කරුණු මෙම කෘතියේ ස්වරූපය හඳුනා ගැනීමට මහෝපකාරී වේ.

“සාහිත්‍යය සන්නිවේදනය රඳා පවතින්නේ ලේඛකයාත්, කෘතියත්, පසුබිමත් අතර පවත්නා සම්බන්ධය මතය. ලේඛකයා සාහිත්‍යය කෘතියක් නිර්මාණය කරයි. එය තුළින් ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිභා ශක්තිය ප්‍රකට වෙයි. එම ප්‍රතිභා ශක්තියෙහි ඵලය සාහිත්‍ය කෘතියයි. එහි අර්ථාන්විතභාවය හා රසභාව දැනවීමේ ශක්තිය පාඨකයාගේ විමර්ශනයට පාත්‍ර වෙයි. ලේඛකයා අතින් බිහිවූ නිර්මාණයට අර්ථයක් සපයන්නේ පාඨකයා ය”.

2012 වසරේ දී දිසානායක විසින් පළ කළ “නිහඬ නිම් වළල්ල” ඔහු සතු පෘථුල සාහිත්‍යය විචාර අවබෝධය හෙළි කරන්නකි. ජගත් පූජිත බටහිර විචාරකයින්ගේ සහ එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකරයන්ගේ විචාර ක්‍රමවේද ගැඹුරින් අධ්‍යයනය කර සාකච්ඡා කිරීම මෙහිදී සිදු වේ. විමල් දිසානයක, හෙළ හවුලේ නියමු ශ්‍රීනාත් ගනේවත්ත සමඟ 2019 දී පළ කළ “විරිත හා අරුත” ඡන්දස ශාස්ත්‍රය විෂය පිළිබඳ මනා විවරණයකි. ග්‍රන්ථයේ කතුවරයන් විසින් සිය පූර්විකාවෙහි සඳහන් කර ඇති පරිදී මෙම කෘතියේ අරමුණ වන්නේ විරිත කාව්‍යානුභූතියෙහි බාහිර අංගයක් නොව මුඛාංගයක් බැව් තහවුරු කිරීමයි. මේ බව තහවුරු කිරීම සඳහා සිංහල පද්‍ය කලාව සහ ඉංග්‍රීසි පද්‍ය කලාව අනුසාරයෙන් අංශ දෙළොසකින් සමන්විත විශ්ලේෂණ රාමුවක් දක්වා ඇත.

“විමල් දිසානායක සාහිත්‍යය විචාර ක්‍රමවේදය” කෘතිය අවසන් මාතෘකාව වන්නේ විමල් දිසානායක සමග කුලතිලක කුමාරසිංහ විසින් සිදු කර ඇති “මං සලකුණු-සම්මුඛ සාකච්ඡාවක්” යන්නයි. මෙම සම්මුඛ සාකච්ඡාවේ අරමුණ වන්නේ විමල් දිසානායකගේ බුද්ධිමය හා කලාත්මක චාරිකාවේ ප්‍රධාන මං සලකුණු විමසා බැලීමයි. විමල් දිසානායකගේ දේශීය හා විදේශීය අධ්‍යාපනික, සාහිත්‍යයික හා සමාජ අත්දැකීම් ඇසුරෙන් සිදු කර ඇති මෙම ප්‍රබුද්ධ සාකච්ඡාව පාඨකයන්ගේ මනස් භූගෝලය පුළුල් කරන්නකි.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ ජගත් පූජිත මහාචාර්යවරයෙකු මෙන්ම ප්‍රබුද්ධ සාහිත්‍යධරයෙකු වූ විමල් දිසානායකගේ විචාර ග්‍රන්ථ ඇසුරෙන් මහාචාර්ය කුලතිලක කුමාරසිංහ විසින් සම්පාදනය කර ඇති “ විමල් දිසානායක සාහිත්‍ය විචාර ක්‍රමවේදය” ග්‍රන්ථය පෙර’පර දෙදිග විචාර සිද්ධාන්ත හා සංකල්පවලින් සුසැදී පාඨක-විචාරක සම්භාවනාවට බඳුන් විය යුතු විදග්ධ සාහිත්‍ය විචාරයකි.

● උදේනි සරත්චන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment