ගමේ-ගොඩේ ප්‍රශ්න විසඳන ” ඊ සභා” ඇප් එක දැන් ගාල්ලේ වැඩකරයි

190

ගමේ පාරකට වීථි පහනක් සවිකරගන්න, කැඩුණු පාරක් හදාගන්න, කැඩුණු බෝක්කුවකට කාණු කැටයක් දාගන්න, අනවසර ඉදිකිරීමක් ගැන කියන්න බලධාරීන්ට පැමිණිළි කරන්න අප විඳින්නේ අපමණ වෙහෙසකි. මෙවන් අඩුපාඩු හදාගන්න ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් ලැබෙන්නේ නැතිනම් ප්‍රාදේශීය සභාව, නගර සභාව හෝ මහ නගර සභාව තමන් හිතා මතා කොහෙත්ම මේ අඩුපාඩු හදන්නේ නැත. ඒ සඳහා ලිපි පිට ලිපි යැවූවත් බොහෝ විට ඉටුනොවන අවස්ථා ඇත. තනි පුද්ගලයන් ලෙස මෙවන් කටයුත්තකට බොහෝ දෙනා මැදිහත් නොවන්නේද ඒ කරන ඉල්ලීමෙන් වැඩක් නැති නිසාය. ගමේ සුභසාධක සංගමය, ග්‍රාම සංවර්ධන සමිතිය වැනි සංගමයක ඉල්ලීම නැති නම් බොහෝ පළාත් පාලන ආයතන මෙවන් ඉල්ලීම්වලට කන් දීම ඉතා අඩුය. ඒ මදිවාට මේ සඳහා බොහෝ විට අපට පළාත් පාලන ආයතනවලට බඩගාන්නට සිදුවෙයි. එසේ ගොස් පොතක් පෙරළා මෙවන් පොදු අඩු පාඩු ලියා එන ලෙස අපට අදාළ පළාත් පාලන ආයතනය කියයි.

එහෙත්, ගමේ අඩුපාඩු කියන්නට පළාත් පාලන ආයතනයට බඩ ගාපු කාලය දැන් නිමාවෙමින් පවතී. එනම්, ගමේ පොදු අඩුපාඩු පමණක් නොව, පුරවැසියන් ලෙස අපට අපගේ බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය මගින් ඉටුවිය යුතු සේවා සඳහා සහ පැමිණිලි, අදහස්-උදහස්, යෝජනා පිළිබඳව දැන් ගෙදර සිටම හෝ කාර්යාලයේ සිට අපගේ පළාත් පාලන ආයතනයට දැනුම් දීම සඳහා “ඊ” තාක්ෂණය නොහොත්, ඩිජිටල් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය දැන් පැමිණ තිබේ. එනම්, ඇප් එකක ආධාරයෙන් මේ සියල්ල දැන් අපගේ ස්මාර්ට් දුරකථනයෙන්ම ඉටුකර ගන්නා තරමට දැන් ලෝකය දියුණුවී ඇත. ලෝකය දියුණු වී ඇතත්, අපේ රට එවන් තාක්ෂණික දියුණුවක් අත්කරගෙන තිබේද යන්න අප මෙතෙක් නොදන්නා කාරණයකි.

නමුත් ඇත්ත නම්, ඒ සඳහා දැන් “ඊ- සභා” නම් මෘදුකාංගයක් අපේ රටේද ඇතැම් පළාත් පාලන ආයතන තුළ ක්‍රියාවට නැඟීමය. මේ වන විට පළාත් පාලන ආයතන 10 කට වැඩි ප්‍රමාණයක ක්‍රියාවට නැගෙන මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ පළාත් පාලනය තාක්ෂණය ඔස්සේ නව දිශානතියකට යොමුවන අතර, ප්‍රජාවට සක්‍රීයව හා පලදායීව නිවසේ සිටම හා ඇඟිලි තුඩු භාවිතයෙන් තම අත්‍යවශ්‍ය ප්‍රජා සේවාවන් සපයා ගැනීමට අවස්ථාව උදාවන අතර, පළාත් පාලන භූමිකාවට මෙතෙක් නොතිබූ වටිනාකමක්ද ලැබේ. කොටින්ම පළාත් පාලන ව්‍යුහය මෙම “ඊ-සභා” ක්‍රමවේදය ඔස්සේ අළු ගසා නැඟිටින අතර, යුරෝපයේ මෙන් ධනාත්මක සංවර්ධන කාර්යයකට යොමු වීම මේ ඔස්සේ සිදුවෙයි.

“ඊ-සභාව” යන්න කවරක්ද…?, ඒ මගින් ලබාගත හැකි සේවා මොනවාද..? එම සේවා ලබාගන්නේ කෙසේද…? මේ සඳහා පරිගණකය හෝ තම අත ඇති ස්මාර්ට් දුරකථනය හසුරුවන්නේ කෙසේද..? නැතිනම් මේ සඳහා ලියාපදිංචි වන්නේ කොයි අයුරකින්ද? “ඊ සභා” ක්‍රියාත්මක පළාත් පාලන ආයතන කවරේද..? වැනි මෙම “ඊ-සභා” නමැති සංකල්පය තුළින් මීළඟට මතුවන කාරණා ගැන ඇත්තටම අප දැනගත යුතු වෙමු. එබැවින් මෙම අගනා කාර්යය පිළිබඳව අපට නැගෙන ඉහත ප්‍රශ්නවලට උත්තර සොයන්නට අප දැන් “ඊ-සභා” පිළිබඳව සවිස්තරාත්මකව සොයා බලමු.

ගමේ-ගොඩේ ප්‍රශ්න විසඳන " ඊ සභා" ඇප් එක දැන් ගාල්ලේ වැඩකරයි

පළමුව ගාල්ල මහ නගර සභාවෙන් ආරම්භ වූ “ඊ-සභා” ක්‍රමවේදය පටන් ගනු ලැබුවේ අත්හදා බැලීමේ ක්‍රමවේදයක් අනුවය. නොහොත් නියමු ව්‍යාපෘතියක් ලෙසය. ගාල්ල මහ නගර සභාව කේන්ද්‍ර කරගනිමින් පළාත් පාලන ආයතන 10 ක “ඊ සභා” ආරම්භ විය. එම පළාත් පාලන ආයතන 10 නම්, හික්කඩුව මහ නගර සභාව, අක්මීමණ ප්‍රාදේශීය සභාව, රත්ගම ප්‍රාදේශීය සභාව, බද්දේගම ප්‍රාදේශීය සභාව, යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව, නාගොඩ ප්‍රාදේශීය සභාව, හබරාදූව ප්‍රාදේශීය සභාව, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාව සහ වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය සභාව යි.

මෙම පළාත් පාලන ආයතන මගින් සේවා ලබාගන්නා ජනයාගේ පහසුව පිණිස මෙසේ “ඊ සභා” ක්‍රමවේදය ඇතිකර, මෙහෙයවීම සිදුකරනු ලබන්නේ දකුණු පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව මගිනි. මෙම ක්‍රමවේදය ඉහත පළාත් පාලන ආයතන තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අනුග්‍රහය ලබාදෙන්නේ ගාල්ලේ ප්‍රකට පාරිසරික සංවිධානයක් වන හෙල්ප්-ඕ (Help-O) සංවිධානය මගිනි.

“ඔබේ සභාව දැන් ඇඟිලි තුඩේ දුරින්…ඔබේ ප්‍රදේශයේ පොදු ගැටලු දැන් නිවසේ සිටම ක්ෂණිකව ඔබේ පළාත් පාලන ආයතනයට යොමුකරන ජංගම දුරකථන යෙදවුම” යනුවෙන් ප්‍රචාරය කෙරෙන මෙම දුරකථන ඇප් එක මගින් අක්‍රීය වීදි පහන් සක්‍රීය කරගැනීම, අපවිත්‍ර කාණු පිළිසකර කරගැනීම හා මදුරුවන් බෝවන ස්ථාන දැනුම් දීම, මාර්ගයට අනතුරුදායක ගස් හා බාධක ඉවත්කිරීම වැනි මහජන පැමිණිලි දැනුම්දීම සඳහා මෙම “ඊ සභා” (e-සභා) ජංගම දුරකථන ඇප් එක භාවිත කළ හැකි බව මේ සඳහා සහස් කරන ලද අත්පත්‍රිකාවක සඳහන් වේ.

එහිදී කළ යුතුව ඇත්තේ වෙනත් සාමාන්‍ය දුරකථන ඇප් එකක් බාගත කරගන්නා අයුරින්ම E-Sabha ඇප් එකද බාගත කරගැනීමය. එහිදී පැමිණිලිකරු ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වන අතර අනතුරුව එමගින් ඉල්ලා සිටින හා සටහන් කළ යුතු ක්‍රමවේදය ඔස්සේ අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමයි. මෙසේ ලැබෙන පැමිණිලි අදාළ පළාත් පාලන ආයතනයේ (සභාවේ) මේ සඳහා වෙන්ව සිටින පරිපාලකවරුන් (දෙදෙනකු) විසින් විමර්ශනය කර, පැමිණිලිකරුට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සිදුකරනු ලබයි. මෙම පරිපාලකවරු දෙදෙනාට අමතරව සෑම පළාත් පාලන ආයතනයකම ලේකම්වරයා “ඊ සභා” අධීක්ෂක ලෙස කටයුතු කරන අතර, “ඊ සභා” නායකයා ලෙස අදාළ පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා කටයුතු කරනු ලබන බව “ඊ සභා” පිළිබඳව අප වෙත අදහස් දක්වූ Help-O සභාපති චතුර වැලිවිටිය මහතා සඳහන් කරයි.

එසේම, මෙම කටයුත්තට අනුයුක්තව ඊ සභා වැඩ කණ්ඩායම, ඊ සභා මෙහෙයුම් කණ්ඩායම, ඊ සභා වාහන කණ්ඩායම, ඊ සභා උපකරණ ලෙස වෙන් වෙන් වශයෙන් කොටස් වෙන්කර ඇති බවද වැලිවිටිය මහතා පවසයි.

ගාල්ලෙන් පටන් ගෙන ඉතා සාර්ථකත්වයට පත්වූ මෙම “ඊ සභා” වැඩසටහන රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින මෙවන් මොහොතක මෙම ඩිජිටල් සේවා වැඩසටහන පිළිබඳව “දිවයින” ට අදහස් දක්වන දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්, රනිල් වික්‍රමසේකර මහතා පවසන්නේ මෙවන් අදහසකි.

“මෙම යෙදවුම, දකුණු පළාතේ, පළාත් පාලන ආයතන 10ක් සඳහා හඳුන්වා දී තිබෙනවා. මේ හරහා ජනතාවට ඉතාම පහසුවෙන් මහජන පැමිණිලි සභාවට යොමු කළ හැකියි. එමන්ම පළාත් පාලන ආයතනවලට මේ හරහා පැමිණිලිකරුවන්ට තම පණිවිඩ හුවමාරු කර ගැනීමට ඉතාම පහසු අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ වනවිට මේ අලුත් ක්‍රමයට ප්‍රජාව ඉතා හොඳින් නැඹුරු වෙමින් පවතිනවා”

මේ දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාගේ අදහසයි.

“මෙම ජංගම දුරකථන යෙදවුම අප හඳුන්වා දුන්නේ, මා දකුණු පළාත් පාලන කොමසාරිස්ව කටයුතු කරන කාලයේදියි. දැන් මෙම යෙදවුම ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන අයතන 10ක් තුළ අති සාර්ථකව ක්‍රියාත්මක වනවා. මේ හරහා ජනතාවට ඉතාම පහසුවෙන් පැමිණිලි යොමු කරන්න අවස්ථාව ලැබී තිබෙනවා.”

ගාල්ල මහා නගර සභාවේ නාගරික කොමසාරිස් තුෂාරා රස්නායක මහත්මිය “ඊ සභා” ගැන කියන්නේ මෙවන් කතාවකි.

“මේ වන විට, ඊ-සභා ජංගම් දුරකථන යෙදුම, ගාල්ල මහා නගර සභාව තුළ අතිසාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නගරයේ ජීවත් වන පුරවැසියන්ට වගේම සංචාරක නගරයක් ලෙස ගාල්ල නගරයට දිනපතා පැමිණෙන දේශීය, විදේශීය සංචාරකයන් මේ හරහා ඉතාම පහසුවෙන් අප වෙත සිය ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඊ-සභා ක්‍රියාවලිය තවදුරත් ප්‍රවර්ධනය කිරීම අපේ අරමුණයි.”

ගමේ-ගොඩේ ප්‍රශ්න විසඳන " ඊ සභා" ඇප් එක දැන් ගාල්ලේ වැඩකරයි

“ගාල්ල මහා නගර සභාව තුළ ඊ-සභා පැමිණිලි ලබා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ අපේ අංශයෙන්. හෙල්ප්-ඕ ආයතනය විසින් ඒ සඳහා අප අංශයේ නිලධාරීන් පුහුණු කිරීම සිදු කරනු ලැබුවා. මෙම කාර්ය නිසා දැන් අපේ කටයුතු ඉතාම පහසුවෙන් කිරීමට හැකිව තිබෙනවා.”

ගාල්ල මහා නගර සභාවේ ප්‍රධාන ප්‍රජා සංවර්ධන නිලධාරී සෞමර් ආදිල් මහතා එසේ පවසයි.

එසේම දකුණු පළාත් කාර්මික සංවර්ධන මණ්ඩලයේ විශ්‍රාමික සහකාර අධ්‍යක්ෂක රංජිත් ධර්මසිරි මහතාගේ අදහසට අප ඉඩකඩ ලබාදිය යුත්තේ හෙතෙම රටේ තාක්ෂණික දියුණුව පතන රාජ්‍ය සේවයේ හිටපු කීර්තිමත් නිලධාරියකු මෙන්ම ඔහු පළාත් පාලන සේවය තර්කානුකූල මට්ටමෙන් අත්විඳින, ඒ සඳහා අදහස් ලබාදෙන පුරවැසියකු ද වන නිසාය.

“මම ජීවත් වෙන්නෙ බෝපේ පෝද්දල සභා බල ප්‍රදෙශයේ මම සභාවට නිතර පැමිණිලි යවන පුද්ගලයෙක්. කලින් මම ලිපි මගින් හා දුරකථනයෙන් මගේ පැමිණිලි සභාවට යොමු කළා. නමුත් දැන් මට ඉතාම පහසුවෙන් මගේ ජංගම දුරකථනය හරහා ජා්‍යාරූප සමඟ පැමිණිලි යොමු කරන්න පුළුවන්. මේක ඉතා පහසු ක්‍රමයක් වගේම තාක්ෂණික දියුණුවේ ප්‍රතිපලයක්. රටක් දියුණු වෙන්න මෙවන් ක්‍රමවේද අත්‍යවශ්‍යමයි. මේ කටයුත්ත ඉතා විශිෂ්ටයි.

මම, ආසන්න දිනයකදී, ටෙලිකොම් ආයතනයේ දුරකථන රැහැන් කණුවක් ඇල වීම සම්බන්ධව ඊ-සභා හරහා සභාව දැනුවත් කළා. ඔවුන් ක්ෂණිකව ටෙලිකොම් ආයතනයට ඒ පිළිබඳව දන්වා කණුව නැවත පිළිසකර කළා. ඇත්තටම මේ නිසා දැන් අපේ ගැටලු ඉතාම පහසුවෙන් විසඳා ගත හැකියි.” යැයි පැවසීය.

මෙනිසා “ඊ සභා” ක්‍රමවේදය දියුණුවන රටකට අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස හැඳින්විය හැකිය. හණ මිටි යුගයෙන් එළියට පැමිණ දියුණු රටවල් මෙන් අපද ඩිජිටල් ලෝකයේ වෙනස අත්විඳිය යුතුව ඇත. එබැවින් මෙම “ඊ සභා” ක්‍රමවේදය රට පුරා පළාත් පාලන ආයතන සියල්ලේම ක්‍රියාවට නැගිය යුතු අතර, ගාල්ලෙන් ආරම්භ කරන ලද මෙම නියමු ව්‍යාපෘතිය දැන් ශීඝ්‍රයෙන් පැතිර යනුද දැකගත හැකිය. මේ මගින් පළාත් පාලන ආයතනවලට තම වගකීමෙන් පලායන්නට ඉඩ නොලැබීමද මෙහි ඇති වැදගත් දෙයක් වන අතර, මෙම “ඊ” යාන්ත්‍රණය මගින් පළාතේ, රටේ දියුණුවට ලැබී ඇති අවස්ථාව පළාත් පාලන ආයතනද, ප්‍රජාවද යහමින් ප්‍රයෝජනයට ගත යුතුව ඇත.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment