මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

178

ලේඛක ඇසුර!

මං ඇඳට ගිහින් පොතක් කියවන්න බැලුවා. ඒත් පහුගිය වැස්සට ළඟ තිබුණු පොත් ඔක්කොම තෙමිලා බත් වෙලා. අව්වේ දාලා වේලන්න බැලුවත් ඒකෙන් වුණේ තෙත් වුණු පිටු එකට ඇලිලා කියවන්න තියා පොත් පෙරළවන්නවත් බැරි වුණු එක. කියවන්න දෙයක් නැති හින්දා මං ඇල්පිටියේ ඥාන ප්‍රදීප පුස්තකාලෙට ගියා පොතක් බලන්න හිතාගෙන. ඒත් ඈත තියාම දැක්කෙ ඥාන ප්‍රදීපෙ වතුරට යට වෙලා. බලද්දි යට වෙලා නෙවෙයි, ප්‍රාදේශීය සභාවට පිං සිද්ධ වෙන්න පුස්තකාලෙ වහලෙන් වැහි වතුර රාක්කවලට වැටිලා පුස්තකාලෙම වතුරට ගිහින්. මං ආපහු හැරිලා බස්නැවතුමට ආවා.

බස්නැවතුමේ ටික වෙලාවක් ඉන්දැද්දි එකපාරටම සුදු වෑන් එකක් ඇවිත් නතර කළා. මං මුහුණ හංගගත්තා. මොනවා වුණත් සුදු වෑන් එකක්ෟ මඳ වේලාවකින් වෑන් රියේ වීදුරු කවුළුවක් ඇරුණා. “ංආ කොහොමද? තමුන්නාන්සේගේ ගේ මේ හරියේ කියල අමතක වුණානෞ” තොල් මහත, තට්ටය තියෙන, තල්ස්තෑනි පුද්ගලයකුගේ මුහුණක් මා දෙසට විවර වුණා. “වාහනේට නැග්ගොත් අපිත් එක්ක යන්න පුළුවනි.” හොඳටම මතක මුහුණක්. ඒත් එකපාරට කවුද කියල ඔළුවට ආවේ නෑ. ඒ එක්කම තව මුහුණක් කවුළුවෙන් එළියට ආවා.

“කල්පනා කරන්න දෙයක් නෑ, නඟින්න. අපි මේ වඳුරඹ පැත්තෙ සාහිත්‍ය වැඩමුළුවකට ගිහිල්ලා එන ගමන්.” ඒ, ගුණසේන විතාන මහත්තයා. එතුමාගේ මුහුණ හඳුනගත්තු ගමන් අර මුහුණ මතකයට ආවා. කේ. ජයතිලක මහත්තයා. මං ගෞරවයෙන් හිස නමා එකත්පස් වුණා. ඒත්….. මේක වෙන්න පුළුවන්දෟ මගෙ සිහිය අවුල් වුණා වගේ වුණා. ජයතිලක මහත්තයා ගුණසේන විතාන මහත්තයාගේ මිතුරෙක් බව ඇත්ත. ඒත් දෙන්නා තවමත් එකට ඉන්නවාදෟ එහෙම ඉන්න පුළුවන්දෟ ඒත් මං වැඩිදුර හිතුවේ නෑ. වැඩිදුර හිතන කාලයක් නෙවෙයි මේ. මං වෑන් එකට නැග්ගා. එතකොටයි දැක්කෙ තවත් හඳුනන මුහුණක් ඇතුළෙ ඉන්නවා. ඒ. වී. සුරවීර මහාචාර්යතුමා. මාව ආයෙත් සහළවලා ගියා. ඒත් මං එච්චර හිතුවේ නෑ.

“තමුන්නාන්සේ ගමේ පදිංචියට ආවා කියල අපේ මේ ගුණසේන විතාන අපි එක්ක කිව්වා. ඒක නම් හොඳ අදහසක්. මොකද අද කොළඹ ඉන්න එකේ කිසි වැඩක් නෑනෙ. ඒක සංස්කෘතික කාන්තාරයක්නෙ,” සුරවීර මහාචාර්යතුමා හඬ අවදි කළා.

“මං එදත් ගම ගැන කිව්වා. ඒත් හැමෝම කිව්වෙ කොග්ගල තමයි ගම කියල. කෝකිලාන ගමක් විධියට සැලකුවේම නැහැ,” ජයතිලක මහතා බාල කළ හඬින් කථා කළා.

“ජයේ, මෙතන ප්‍රශ්නය ගම මොකක්ද කියන එක නෙවෙයි. අපි ගම හඳුනගත්තු විදියෙයි. ඉසා ගමේ නියම මිනිහෙක් විධියට ඉඳලා මැරිලා ගියා. ඒත් රංජිත්ලා සනාලා ඉතුරු වුණා. දැන් ඉන්නෙ සනාලාගේ පුතාලා. ඒ පුතාලාගේ පුතාලා. ඔවුන් එක්ක සාහිත්‍යය, කලාව කරන්න බෑ. හොරකම, මැරකම ඇරෙන්න.”

සුරවීර ඇදුරුතුමා ජයතිලක මහතා එක්ක විවාදෙක පැටලුණා වගේ.

“මං හිතන්නෙ මෙතනට වික්‍රමසිංහ මහත්තයාත් හිටියා නම් තමයි හොඳ. මොකද නියම ගම කොග්ගලද, කෝකිලානද කියල එතකොට අපට හරියටම දැනගන්න තිබුණා,” විතාන මහතා කතාවට එක් වුණා.

“නෑ. මං කැමති නෑ වික්‍රමසිංහ මහත්තයා එක්ක ඔය ගැන වාදෙකට යන්න. මං මේ කියන්නෙ අපේ විචාරකයො කියන අයට. ඔවුන් තමයි කොග්ගල ලංකාවේ නියම ගම නිරූපණය කරනවා කියන බේගල ඇදබාන්නෙ,” ජයතිලක මහතා කථා කළේ නොමනාපයෙන්.

කට්ටිය සාකච්ඡා වටයේ යෙදෙන අතර මං වෑන් රියේ පසුපස භාගය දිහා බැලුවා. එහි පිරිලා තිබුණෙ පොත්වලින්. ඒවා අලුත් පොත් නෙවෙයි, පාවිච්චි කරපුවා බව පිටකවරවලින් පෙනුණා. මං පොත් දිහා ඇස් යොමද්දි ඒ දැකලා දෝ ගුණසේන විතාන මහත්තයා මෙහෙම කිව්වා:

“මේ පොත් අපි තුන්දෙනාම පාවිච්චි කරපු අපේ පෞද්ගලික පොතපත. අපි ගියේ වඳුරඹ අපේ ගම් පළාතේ පුස්තකාලයක් විවෘත කරන්න. ඒත් උත්සවේට ගියාම ඒකට ආපු ළමයිනුයි වැඩිහිටියොයි ඔක්කොම කිව්වෙ අපට පොත් එපා, අපට ටැබ් දෙන්න කියලෟ”

“අද ළමයින්ට පොත් ඕන නෑ. ඒගොල්ලො පත්තරයක්වත් කියවන්නෙ නෑ. මං අපේ අධ්‍යාපන කොමිෂන් සභාවට නිර්දේශ කරන්න ඉන්නෙ ඉස්කෝලෙ ළමයින්ට පෙළ පොත් දෙන එක වහාම නතර කරන්න කියල,” සුරවීර ඇදුරුතුමාට කේන්ති ගිහින්.

“මෙතන තියෙන මගේ පොත් ටික මං හිතන් ඉන්නෙ පුච්චලා දාන්න. මෙහෙම පරපුරකට පොත් දීලා වැඩක් නෑ,” ජයතිලක මහතා ප්‍රකාශ කළා.

වෙලා තියෙන සංගදිය මගේත් ලේ කෝප කෙරෙව්වා. ඒත් මං කේන්ති ගත්තෙ නෑ. වෙන්න ඕන හැම සංගදියක්ම අපට වෙලා ඉවර හින්දා. ඒත් ඒ පුච්චන පොත් ටික මට දෙන්න බැරිද කියල මට අහන්න හිතුණා ජයතිලක මහත්තයාගෙන්. ඒත් ඒ එක්කම හිතුණා මං ඕවා ගෙනිච්චොත් කියවයිද කියල. පොත් නොකියවා ළඟ තියා ගැනීමයි පිච්චීමයි අතර වෙනසක් නැති හින්දා. ඒත් මං පොත් පුච්චනවාට නම් විරුද්ධයි. අපේ ලොකු සර්ගේ ගෙදර පොත් ටික පහුගිය අරගල කාලෙ පිච්චුවා මතකනෙ. ඒකට දැනුත් මං රතුමාමලා එක්ක තරහයි. ඒකට පාර කපපු අර පාර කියන කට්ටිය එක්කත් තරහයි.

“දැන් මේ පාර ස්වර්ණ පුස්තක සම්මානෙ දිනපු පොත තමුන්නාන්සේ කියෙව්වාද?” ඒ ඇහුවේ මහාචාර්යතුමා. ඇහුවේ කෙළින්ම මගෙන්. මං ඔළුව කැසුවා. මං කොහොමද මගෙ පසුම්බිය හිස් කියල කියන්නෞ පොත්ද බත්ද කියන දෙකෙන් එකක් අපට තෝරගන්න වෙලා කියල කියන්නෞ “ඒ කියන්නෙ කියවලා නෑ. එහෙම නම් පොත් පුළුස්සන එකේ වරදක් නෑ,” මං උතුර – දකුණ ගැටගහද්දි ඇදුරුතුමා කිව්වා. ඒ කියලා මොහොතකින් මෙහෙමත් කිව්වා: “ඇත්ත කිව්වොත් ඔය පුස්තක පොත් මාත් කියවලා නෑ. කවදාවත් කියවලා නෑ. අර මාගම් සෝලිද මොකක්ද කියන පොත වතාවක් මං කියවන්න බැලුවා. කීප වරක් බැලුවා. ඒත් කියවන්න බැරි වුණා.”

“මාත් කියන්නෙ ඒකයි. ඔය පුස්තක කියවන එක කිසි තේරුමක් නෑ. සමාජය අමතක කරන පොත් මොන කෙංගෙඩියටදෟ මට මතකයි පළවෙනි ස්වර්ණ පුස්තකේට අපි සම්මාන දෙද්දි ප්‍රේක්ෂකයො අපට හූ කිව්වා,” ජයතිලක මහතා මැදිහත් වුණා.

“ඒකට බලන්න අපේ ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලේ පොත්. ඒවාට අපි කටවහරින් ලියපු පොත් භාරගන්නෙම නෑ. සාහිත්‍යය විනෝද වෙන්න දෙන දෙයක්ය, වින්දනයට ඇති දෙයක්ය කියල බහුබූත ලියන අර තිලකසේනලාගේ ජාතියේ පොතුත් අපි භාරගන්නෙ නෑ,” විතාන මහත්තයා කියා සිටියා ජයග්‍රාහී ස්වරයෙන්. ඒ එක්කම මටත් ටොක්කක් ඇන්නා: “මේකට මේ රටේ පත්තරකාරයොත් වගකියන්න ඕන. සාහිත්‍යය නොදැන පත්තරකාරයො වෙනවාට වඩා හොඳයි වෙන රස්සාවක් සොයාගන්න එක.”

ගුණසේන විතාන මහත්තයා හඬ නඟද්දි මට එතුමාගේ ‘විප්ලවයේ කැරලිකාරයෝ’, ‘යාපනයට පාලමක්’, ‘සරදියෙල්’, ‘ගරු මාංචු’, ‘මනුෂ්‍යත්වයට වෙඩි තබනු ලැබේ’ වගේ අග්‍ර පොත් මතක් වුණා. එච්චර මහාර්ඝ පොත් මතක් වෙද්දි මං මටම ගුලි වුණා. මං මෙතුමන් අතර මොකෙක්ද කියල මට හිතුණා මං ගැන. ඒ එක්කම එතුමා සෝවියට් දේශයට කළ පුදුම හිතෙන සේවයත් ලෝ වටා ගොස් ලෝක සාහිත්‍යය නංවපු සැටිත් ඊට ජයතිලක මහතා හා සුරවීර ඇදුරුතුමා දායක වූ සැටිත් මතක් වුණා. එවෙලාවේ මට ඔක්කාරයක් ආවා. ඒත් මං එය මැඩගත්තා.

කතාවෙන් කතාව මට බහින තැන අමතක වුණා. ඒක මට හැමදාම වෙන දෙයක්. දැන් ඒක හුඟක් වෙනවා. ඉතිං මං බැහැගත්තෙ වෑන් රිය ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය ළඟට ආවාම.

“මගේ අලුත් පොතක් ඇවිත් තියෙනවා. වෙලාවක අපේ පැත්තෙ එන්න,” ජයතිලක මහතා මං බහිද්දි කියා සිටියා. මං හිස පාත් කළා. “මගෙත් අලුත් පොතක් තියෙනවා. එන්නකො එඩියුකේෂන් කොමිෂන් එක පැත්තේ. හැමදාම අපට පහර දෙන්නෙ නැතිව අපි කරන හොඳ වැඩටත් සහයෝගයක් දෙන්න,” සුරවීර මහැදුරුතුමා සිනාසුණා භාගෙට. ගුණසේන විතාන මහතා මට සමුදුන්නේ එතුමාගේ අලුත් පොත මගේ අතටම දීලා. මං පොත ගත්තු ගමන් බැලුවේ පිටකවරය දිහා. ‘නව ආණ්ඩුව ලේඛකයන්ට යුතුකම් ඉටු කළාද?’ කියවන්න හොඳම පොතක් ලියපු එකට මං එතුමාට හිස බිමටම පාත් කළා.

අපේ ජ්‍යෙෂ්ඨ ලේඛක පිරිසට සමු දීලා මං බොරැල්ල හන්දිය දිහාට ඇවිදන් ආවා. ඒ, ගාලු පාරට ගිහින් ඇල්පිටිය බස් එකක් අල්ලගන්න. ඒත් බොරැල්ලට ආවාම දැනගත්තේ බස් ස්ට්‍රයික් එකක් කියලා. කරන්න කිසි දෙයක් තිබුණෙ නෑ. මං බෞද්ධාලෝක මාවත දිගේ පයින් ඇවිදන් ගියා. ඒ ගියේ බොරැල්ල කනත්ත දිහා ඇස් කොනින්වත් නොබලා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment