ආයෙත් වෝල්ට් 33,000ක කරන්ට් බිලක් !..ලංවීමේ සමස්ත පාඩුව කෝටි 50,000ක්

130

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට සියල්ල සූදානම් කරමින් තිබේ. මුළු රටම රටේ සමස්ත යාන්ත්‍රණය එහෙම පිටින්ම කනපිට හැරවිය යුතුව තිබෙන කලක විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට ගන්නා වෑයම වැරදි යැයි කිසිවකුට කිව නොහැකි බව අපගේ වැටහීමය. නමුත් ප්‍රතිව්‍යුහගතකරණය කියන බෝඩ් ලෑල්ලට මුවාවී මේ ජාතික සම්පත විකිණීමට වෑයම් කරන්නේ නම් එය සහගහන අපරාධයකි. මෙම වසරේදී විදුලි ගාස්තු සියයට හැත්තෑ පහකින් වැඩි කළේ විදුලි පාරිභෝගිකයා නන්නත්තාර කර දමමිනි. විදුලි පාරිභෝගිකයන්ගෙන් අති බහුතරයකට දැන් එන්නේ රතු බිල්පතය. අත කනකර උගසට තබා ඒ රතු බිල්පත ගෙවා දමන ඇතැම් පාරිභෝගිකයන් වේලක් දෙවේලක් කැපකර ජීවිතේ යම්තමින් ගැටගසා ගන්නේ විදුලි ගාස්තු ඉහළ දැමූ අයට ශාප පිට ශාප කරමිනි.

විදුලිබල මණ්ඩලය පාඩුවට දුවන රාජ්‍ය ආයතන අතර ප්‍රමුඛ ආයතනයකි. මෙම වසරේ දෙවතාවකදී විදුලි බිල්පත සියයට හැත්තෑ පහකින් වැඩි කළේ විදුලිබල මණ්ඩලය ලබන මේ පාඩුව පියවාගත යුතු බැවිනැයි එම තීරණය ගත් උදවිය පවසා තිබිණි. ඉතිහාසයේ එක් වසරකදී මේසා විශාල ප්‍රතිශතයකින් විදුලි ගාස්තු වැඩි කළත් මේ වසරේ ජූලි මාසය වනවිට ලංවිම පාඩුව රුපියල් කෝටි 2979කි. ඒ බැව් හෙළි වී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඇති මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් සකස් කළ මූල්‍ය තත්ත්ව වාර්තාවකිනි. ඒ අනුව මෙම 2023 වසර අවසානයේදී ලංවිම පාඩුව රුපියල් කෝටි 5000 ඉක්මවා යනු ඇතැයි ගණනය කිරීම්වලදී හෙළි වී ඇතැයි ඉංජිනේරුවෝ කියා සිටිති. ඒ අනුව ලබන ජනවාරි මාසයේදී හෝ ඊට ආසන්න කාලයකදී විදුලි ගාස්තු යළිත් බරපතළ ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සිදුවන බවද ඉංජිනේරුවන්ගේ මතය ය. ලංවිම මේ දක්වා කාලයේදී ලබා තිබෙන සමස්ත පාඩුව රුපියල් කෝටි 50,000 කට වැඩිය. ඒ පාඩුව කොස්ඇට වලින් ගණන් කර බැලුවත් ලෙහෙසි පහසු පාඩුවක් නොවන බව ඉතා පැහැදිලිය.

විදුලිබල මණ්ඩලය මේසා විශාල ලෙස පාඩු ලබද්දී මේ ලබන පාඩුවට සමාන හෝ ඊට ආසන්න මුදලක් ව්‍යාපාරිකයන්ගේ සාක්කුවලට වැටෙන බව නොරහසකි. විදුලිබල මණ්ඩලය මේ ආකාරයට පාඩු ලබන්නෙ කෙලෙස දැයි යමෙකුට කල්පනා විය හැකිය. විදුලි බිල් නොගෙවා පැහැර හැර දින කිහිපයකට පසු විදුලිය සිඳලන නිසා පාරිභෝගිකයන් සියල්ල පසෙකට දමා විදුලි බිල ගෙවන බවද ඇත්තකි. නිවසක විදුලිය සිඳලූ පසු මුළු නිවසම අඳුරකය. වතුර මෝටරේ ගසාගත නොහැකි නිසා වතුර ද නැත. පාඩම් කරන දරුවන්ට ඒ කටයුතු ද නතර කිරීමට සිදුවේ. පැයක් දෙකක් ලයිට් කැපූවිට ඒ පැය දෙක ඉවසිය නොහැකි තැනට විදුලිය පත්ව තිබෙන යුගයක විදුලිය සිඳලීමට ඉඩ නොදී කෙලෙස හෝ විදුලි බිල් ගෙවන නිසා හරිනම් මණ්ඩලය පාඩු ලැබිය යුතු නැත. ලංවිම අදටත් පාඩු ලබන්නේ වැඩි මිලට පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම නිසාය. අනෙක් කාරණය ඩීසල්, දැවි තෙල්, ගල්අඟුරු ආදී අධික වියදම් සහිත බලාගාරවලින් විදුලිය මිලදී ගන්නා නිසා මණ්ඩලය පාඩුය. පාඩුව පියවා ගන්නට නම් ගාස්තු ඊට සරිලන පරිදි ඉහළ දැමීම මේ අයගේ ඇති එකම විසඳුමය. පුද්ගලික ඩීසල් බලාගාරවලින් හා අනෙකුත් අධික පිරිවැය සහිත බලාගාරවලින් මිදී අඩු වියදම් බලාගාර ඉදි නොකිරීම පිටුපස ඇත්තේ විදුලි මාෆියාවය. මේ දක්වා කාලයේ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 50,000 කට වඩා පාඩු ලබද්දී රුපියල් කෝටි ගණන් උපයන පිරිසක් සිටින බව රටම දනී. විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් ද මහජන උපයෝගීතා කොමිසමේ ඇතැමුන්ද අඩු වියදම් ප්‍රබවයන්ගෙන් විදුලිය නිපදවාලීමට හරස් කපන බව කියන්නේම ඒ ආයතනයේම ඉංජිනේරුවන් හා වරින්වර බලයට පත්වූ මැති ඇමැති ගොල්ලන්මය.

ස්වභාවික ද්‍රව වායු (එල්එන්ජී) බලාගාර ගැන පුරසාරම් දොඩවන්නේ කලක පටන්ය. පුනර්ජනනීය බලශක්තිය (සුළං හා සූර්ය බලාගාර) පිළිබඳව ද කතා කරන්නේ දශක ගණනක සිටය. ජල විදුලි ව්‍යාපෘති ද අඩු පිරිවැය සහිත විදුලි ප්‍රබවයකි. නමුත් එවැනි බලාගාර මෙරට ඉදිවන්නේ නැත. ඊට හේතුව වෙන කිසිවක්ම නොව හදිසි මිලදී ගැනීම් යැයි කියමින් සෑම වසරකම පුද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට පිරිසක් වලිකන නිසාය. අරගලය පැවති සමයේ රටේ විදුලි කප්පාදුවක් සිදු කරන්නට වූයේ ඉල්ලුමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් නොවූ බැවිනි. එලෙස නම් අලුත් ජනාධිපති යටතේ විදුලි කැපිල්ල නතර කළේ කෙලෙසින්ද? සිදුකළේ එක දෙයකි. පුද්ගලික ඩීසල් බලාගාර හා අනෙකුත් අධික වියදම් සහිත බලාගාර වලින් විදුලිය මිලදී ගෙන ඉල්ලුම සැපයුම සමතුලිත කළා පමණකි. විදුලි ගාස්තුව වැඩි කළේ ඒ එකතුවන මුදල් පුද්ගලික බලාගාරවලට ගෙවීම සඳහාය. දැන් රට අඳුරු නැත. නමුත් මණ්ඩලයේ පාඩුව දිගින් දිගටම සිදුවේ. මෙම වසර අවසන් වනවිට මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 500 ඉක්මවා යන්නේ එබැවිනි. ඒ අනුව ලබන වසරේ ජනවාරි හෝ ඊට ආසන්න කාලයේදී යළි විදුලි පාරිභෝගිකයන්ට කරන්ට් එක අල්ලනවා හැර විකල්පයක් මණ්ඩලයට නැත. ලබන වසරේදී දෙවරක්ම ගාස්තු සංශෝධනයවීමට නියමිතය.

මේ වනවිට ඇඹිලිපිටිය ඒස් පවර් හා මාතර ඒස් පවර් පුද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට ගිවිසුම් ගසා ඇත. හෙට අනිද්දාට විදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට මහ වැසි පතිත වී වාන් දොරටු කඩාගෙන යන තරමටම වතුර මට්ටම ඉහළ ගියත් අදාළ බලාගාර දෙක සමග අත්සන් කළ ගිවිසුමට අනුව ඉදිරි මාස හයක කාලයකට එම බලාගාරවලට මුදල් ගෙවිය යුතුය. විදුලිය මිලදී ගත්තත් නැතත් බලාගාරයට මුදල් පොම්ප කර හමාරය. මේ පුද්ගලික බලාගාරයෙන් කීදෙනකුට එහි ලාභාංශ ගෙවනවා දැයි අප දන්නේ නැත.

පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන්ගෙන් සියයට හැත්තෑවක් විදුලි නිපදවීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ පාලන කාලයේදී සැලසුමක් තිබිණි. නමුත් අරගලකරුවෝ ඒ ජනාධිපතිවරයා පන්නා දැමූහ. ඒ ජනාධිපතිවරයාත් බඩු මිල ඉහළ දමා, තෙල්, ගෑස්, විදුලි බිලත් මත්පැන් මත බදුබර දමා පොදු මහජනතාව තලා දැමුවේ නම් තාමත් ජනපති ගෝඨාය. හැටනව ලක්‍ෂයක ජනවරම හමුවේ ඡන්දය දුන් ජනතාව තලා පෙළා දැමීමට සිත් නොවූ ගෝඨා ගෙදරය. රට ලේ විලක් නොකර ගෙදර ගිය ජනපති ගැන එක අතකට දුකය. දැන් සැපදැයි සමහරු අහන්නේ ඒ නිසාය.

පුනර්ජනනීය බලශක්ති ගැන කදිම හෙළිදරව්වක් ද දැන් එළියට පැමිණ ඇත. සුළං හා සූර්ය බලයෙන් මෙගාවොට් 3500ක් ලබාගත හැකි ව්‍යාපෘති තොගයක් විදුලිබල මණ්ඩලය නවතාගෙන සිටින බව ඒ කතාවය. සූර්ය හා සුළං මගින් විදුලිය ජනනය කරන්නට විවිධ පුද්ගලයන් හා ආයතන ඉල්ලුම්පත් පන්සියයක් පමණ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට යොමුකර ඇත. 2016 වසරේ සිට එලෙස කළ ඉල්ලුම්පත් වලට තාමත් අනුමැතිය ලබාදී නැත. සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒ ව්‍යාපෘති ඉල්ලුම්පත් සමග ලබාගත් රුපියල් කෝටි තිහක මුදල් ඒ සමාගම් වලට ආපසු ගෙවා දමා නැත. ඒ මුදල් අයකර ගන්නේ රජයේ අනුමත මුදල් ලෙසිනි. නමුත් ඒ සූර්ය හා සුළං ව්‍යාපෘති ආරම්භ කිරීමට විදුලිබල මණ්ඩලය අවසර දී නැතැයි සුනිත්‍ය බලශක්ති අධිකාරිය කියා සිටී. ජාතික විදුලිබල පද්ධතියට විදුලිය අවශ්‍ය නම් පමණක් සුළං හා සූරිය ව්‍යාපෘති සඳහා අවසර හිමිවන බවද කියවේ. ඇත්ත ඉතා පැහැදිලිය. විදුලිබල මණ්ඩලයේ ඇතැම් පිරිසක් අඩු වියදම් ව්‍යාපෘති ඉදිවනවාට කැමති නැත. මැති ඇමැතිවරු ද ඒවා ඉදිකරන්නට වලිකන්නේ නැත. එවැනි ව්‍යාපෘතිවලට ඉඩ දෙන්නට උත්සාහ කළ ජනපති දිවි බේරාගෙන පලා ගියේය. මාෆියාව හැමතැනකමය. අරගලය පිටුපස සිටි සැබෑ බලවේගය කුමක්දැයි යන්න කල්පනා කළ යුතුය. අරගලය ඉබේ පහළවූවක් දැයි නැද්දැයි කල්පනා කළ යුතුය. ගින්නක් නොමැතිව දුමක් නගින්නේ නැතැයි කියති.

කෙසේ හෝ එකක් ඉතා පැහැදිලිය. දැන් තෙල් පෝලිම් නැත. ගෑස් පෝලිම් ද නැත. විදුලි කැපිල්ලක් ද නැත. මිනිස්සු අත මුදල් ද නැත. ගෙදර කුස්සියේ ගෑස් සිලින්ඩරය හිස්ය. සමහරුන්ගේ ගෑස් ළිපත්, සිලින්ඩරයත් විකුණා හමාරය. යතුරුපැදියේ පෙට්‍රල් නැත. සමහර යතුරුපැදි, වාහන උගසට තබා හමාරය. ඇතැමුන්ගේ ඒ වාහන සින්න වී ගොසිනි. දෛනික විදුලි කැපිප්ලක් නිල වශයෙන් ක්‍රියාත්මක නොවුණත් ඇතැම් නිවෙස්වල දැල්වෙන්නේ එක බල්බයකි. එක්කෝ දෙකකි. රූපවාහිනි, රයිස් කුකර්, ෆෑන්, විදුලි ස්ත්‍රික්ක ආදී විදුලි උපකරණ අහුමුලුවලය. නැත්නම් ඒවායින් වැඩක් ගන්නේ යලට මහටය. මේ අල්ලපනල්ලේ විදුලි බිල ගෙවා නොදැමූ වරදට මණ්ඩලයේ හයිරන් පාට් දමන කැපිලිකාරයින් විදුලිය විසන්ධි කර දමති. ගමේ අහල පහල අයගේ ලැජ්ජාව ඉවසාගත නොහැකි අය අත කනකර උගසට තබා විදුලි බිල ගෙවන්නේ බැරිම තැනය. එහෙව් මොහොතක ලබන ජනවාරියේ විදුලි ගාස්තු යළි ඉහළ දමනු ලැබුවහොත් ලබන වසර අගදී ඡන්දදායකයන් දේශපාලනඥයන්ට මරු පාඩමක් කියාදෙනු ඇතැයි සිතේ. නමුත් එතෙක් කලක් මේ ජීවිතේ ගැටගසා ගන්නට හැකිවේ දැයි බොහෝ දෙනාට ඇති අභියෝගයකි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment