විමල් – උදය – වාසු ආණ්ඩුවට ලබා දුන්නේ රතු එළියක්ද…?

370

පසුගිය සතිය දේශපාලන කලබැගෑනි බහුල උණුසුම් සතියක් විය. ආණ්ඩුව ඇතුළේම පතුල බිඳගෙන පැමිණි අරගලය ටිකෙන් ටික මතුපිටට පැමිණෙමින් තිබිණි. ආණ්ඩුවට මේ දිනවල මේ තිබෙන දහසකුත් එකක් ප‍්‍රශ්න අතර ඇතුළාන්තයේ අර්බුදය ද බරපතළ ගැටලූවක්ව තිබිණි.

එහෙත් රජයේ ඉහළම දේශපාලනඥයෝ ආණ්ඩුව ඇතුළෙන් පැනන`ගිමින් තිබූ අරගලය විසඳා ගැනීම දෙවැනි තැනෙහි තබා රටේ තිබෙන සෙසු ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරමින් උත්තර සොයන්නට වෙහෙසෙනු දැකගත හැකි විය.

රට තුළ ඉන්ධන අර්බුදය ඉහටත් උඩින් ඉහළ ගොස් තිබෙන වාතාවරණයක විදුලිය නිපදවන බොහෝ බලාගාර අකර්මණ්‍යවීමෙන් පසුගිය සතියේ දිනකට පැය හතකටත් අධික කාලයක් විදුලිය කපන්නට සිදුවිය.

එක් පැත්තකින් එවන් දීර්ඝ විදුලිය විසන්ධියකට රජයට අකමැත්තෙන් වුව එකඟවන්නට සිදුවිය. ඒත් සමගම අනෙක් පැත්තෙන් රටේ ඞීසල් හිඟය බරපතළ ලෙස සමාජ ආර්ථික දේහයට පහර දෙන්නට විය. මගී ප‍්‍රවාහනයටත් ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනයටත් සෙසු කර්මාන්තවලටත් මේ ඞීසල් හිඟය දරාගත නොහැකි ප‍්‍රශ්නයක් වූයෙන් සමාජ අසහනය වේගයෙන් ඉහළ යන්නට පටන් ගත්තේය.

අර්බුද ඔස්සේ
පොරොන්දු ඉටුකරයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බොහෝ ප‍්‍රශ්න කෙරෙහි සංවේදී වුවත් සෞභාග්‍යයේ දැක්ම තුළින් රටට වූ පොරොන්දු ඉටු කිරීමට ද අමතක කළේ නැත. ඒ අනුව තවත් එක් පොරොන්දුවක් ඉටුකිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය සෙනසුරාදා ඇඹිලිපිටිය බලා පිටත්ව ගියේය. ඒ මහවැලි ඉඩම්වල පදිංචිවී ගොවිතැන් කරන හම්බන්තොට, රත්නපුර, මොනරාගල දිස්ත‍්‍රික්කවල ගොවි ජනතාවට ඉඩම් අයිතිය පවරා දීමේ ඔප්පු ප‍්‍රදානෝත්සවයක් සඳහාය.

ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් දෙදෙනාම සහභාගි වන මෙම උත්සවයට ඇමැති චමල්, සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න, පවිත‍්‍රා, විජිත බේරුගොඩ යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් පිරිසක් සහභාගි වී සිටියහ. අගමැති මහින්ද පැමිණ ටික වේලාවකට පසු ජනාධිපති ගෝඨාභය ද උත්සවයට පැමිණියේය.

ආගමික වතාවත්වලින් පසු ඉත්තැදෙමළියේ ධර්මසිරි හිමියෝ පසුබිම පැහැදිලි කරමින් අනුශාසනාවක් කළහ.

මේ වලවේ නිම්නය දියුණු වුණා නම් දියුණුවෙලා තියෙන්නේ රාජපක්ෂවරුන්ගේ අප‍්‍රතිහත ධෛර්යය හා වීර්යය නිසා. ඉතා දිගු අතීතයක ඉඳලා රාජපක්ෂවරු මේ වලවේ නිම්නය සරුසාර කරන්න, මේ නිම්නයේ ජීවත්වන ජන ජීවිතය සරුසාර කරන්න ලොකු කැපකිරීමක් කරල තියෙනවා. මේ ප‍්‍රදේශයේ ජනතාව අපි මේ ඔක්කොම ඒ පැත්තෙන් රාජපක්ෂ පවුලේ කැපවීම හා උනන්දුව අගය කරනවා.

ඒ අතර ඇඹිලිපිටිය ප‍්‍රදේශයට නව ජීවයක් ඇති කරන්නට නම් ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි ආරම්භ කරන්නැයි ධර්මසිරි හිිමියෝ ඉල්ලීමක්ද කර සිටියහ.

මෙම රැස්වීම සඳහා කොළොන්න ආසනය නියෝජනය කරමින් කලකට පෙර අභාවප‍්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතාගේ භාර්යාව ද පැමිණ සිටියාය. ඕ ඒ ප‍්‍රදේශය නියෝජනය කරන මන්ත‍්‍රීවරියකි.

මහවැලි ඉඩම්වල වසර 20 ක් 30 ක් ඉඩම් නොමැතිව පදිංචිවී සිටින පවුල් ලක්ෂයකට ඔප්පු ලක්ෂයක් පරිත්‍යාග කිරීම සඳහා පවත්වන උත්සවයේදී චමල් රාජපක්ෂ මහතා අරමුණ පැහැදිලි කරමින් කතාවක් ද කළේය.

අගමැති කතා කළේ ඉන් පසුවය. අනුන්ගේ ඉඩම්වල වසර ගණනාවක් තිස්සේ පදිංචිවී සිටි ජනතාවට දැන් තමන්ගේ කියා ඉඩමක පදිංචි වීමට වරම් ලැබෙන බව කියමින් ඔහු ඉතා සංවේදී කතාවක් කළේය. ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ සුරතින් ඔප්පු ප‍්‍රදානය ආරම්භ විය. ඔප්පු ලක්ෂයක් ලබාදීමට නියමිත වුවද තෝරාගත් පිරිසක් එදා එම උත්සවයට කැඳවා තිබිණි.

අනතුරුව ජනාධිපතිවරයා කතා කළේය.

‘‘අපි මේ ඉටු කරන්නේ සෞභාග්‍යයේ දැක්ම තුළින් ජනතාවට දුන්න පොරොන්දු. මම පහුගිය කාලයේ ගම්වලට ඇවිද යමින් ජනතාව එක්ක කතාබහ කරද්දී ජනතාව අතරින් ආපු එක ඉල්ලීමක් තමයි ඉඩම් අයිතිය. තමන් පදිංචිවී සිටින ඉඩමේ අයිතිය තමන්ට නැතිවීම ජනතාවට ලොකු ප‍්‍රශ්නයක්ව තිබුණා. අපි දැන් ඒ ප‍්‍රශ්නය විසඳනවා….’’

ඉන් පසුව ජනාධිපතිතුමා රටේ තත්ත්වය ගැන ද අවධානය යොමු කරමින් කතා කළේය. ජනතාව තමන්ට බලය දුන්නේ තමන් කෙරෙහි ලොකු විශ්වාසයක් තබා බව කී ඔහු කිසිදා තමන් ඒ විශ්වාසය කඩා නොදමන බව ද කීවේය.

අපි ජනතාවට ප‍්‍රජාතන්වාදී අයිතිය දුන්නා. ජනතාවට කතා කරන්න, නිදහසේ ගමන් බිමන් යන්න හැසිරෙන්න විතරක් නෙවෙයි නිදහසේ උද්ඝෝෂණ කිරීමේ අයිතිය ද ලබාදීලා තියෙනවා. කවදාවත් මේ ආණ්ඩුව යටතේ උද්ඝෝෂකයන්ට පහර දෙන්නේ නෑ. කඳුළු ගෑස් ගහන්නේ නෑ. බැටන් ප‍්‍රහාර, වතුර ප‍්‍රහාර අපේ ආණ්ඩුවේ නැහැ.

මේ රටේ නඩුකාරවරුන්ටත් ගල් ගහපු යුගයක අපි ජීවත් වුණා. පාර දිගේ මිනී මරලා පුච්චපු යුගයක් තිබුණා. අද සමහර අයට වේවා මතක නෑ….

නමුත් ඒ ඔක්කොම ඉතිහාසයට සීමා කරල අද අපි ජනතාවට ප‍්‍රජාතන්තවාදී නිදහස දීලා තිබෙනවා. අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතිය දීලා තිබෙනවා. නමුත් සමහර අය අපි දීපු ඒ අයිතිය වැරදි විදියට පාවිච්චි කරන බව පේනවා.

දියුණුව එක තැන නතර කරලා සංවර්ධනය ආපස්සට හරවලා බංකොලොත් කරලා තිබුණ රටක් අපිට ගිය ආණ්ඩුව භාර දුන්නේ. එක විදුලි බලාගාරයක් හදලා තිබුණේ නැහැ. ණය උගුලක රට සිරකරලයි තිබුණේ. අපි රට භාරගෙන ඔය ප‍්‍රශ්න විසඳමින් ඉන්න හදනකොට කොවිඞ් උවදුර වගේ විවිධ බාධක අප ඉදිරියට ආවා. අපි ඒවත් ජයගෙන අද රට සංවර්ධනයේ මාවත කරා ගෙන යනවා. අපි අසීරු ගමනක් යන බව ඇත්ත. ඒත් ජනතාවට දුන්න පොරොන්දු අපි ඉටු නොකර අරින්නේ නෑ…..’’

ජනාධිපතිවරවයා මෙහිදී අවසානයේ අවධාරණය කළේ අපි ආණ්ඩුවක් හැටියටත් රටක් හැටියටත් බෙදී වෙන් වන්නේ නැතුව එකට එකතුවී වැඩ කළ යුතු යුගයක් උදාවී ඇති බවය. රට ගැන හිතනවානම් බෙදී වෙන් නොවී එකට එකතුවී පටු දේශපාලන වාසි නොතකා වැඩ කළ යුතු බව ජනාධිපතිවරයා කිවේය.

අනතුරුව ජනාධිපතිවරයා මේ මාසය තුළ රුහුණේ නවෝදය සඳහා රුහුණින් ආරම්භ කරන කර්මාන්ත ශාලා කිහිපයක් ගැන කරුණු කීවේය. ලබන 5 වැනිදා සිමෙන්ති නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලාවක් අරඹන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නුදුරේදීම වානේ අවශ්‍යතා සඳහා කම්හලක් ද ආරම්භ කරන බව පෙන්වා දුන්නේය.

උත්සවය අවසානයේ ජනාධිපතිවරයා යන්නට සූදානම් වූයේ චමල් ඇමැතිවරයා සමඟ එකම වාහනයේය. එහෙත් ප‍්‍රදේශයේ දන්නා හඳුනන ජනතාව සමඟ චමල් මහතා කතාබහ කරමින් සිටි නිසා ජනාධිපතිවරයාට ද මඳ වේලාවක් එතැන බලාසිටිය යුතු විය.

සුනිල්ගේ මළ ගෙදර
විමල් කියූ කතාව

පසුගිය සතියේ අපේ රටේ ප‍්‍රවීණතම හා ජනප‍්‍රියම පුවත්පත් කලාවේදීන් දෙදෙනක් ගැන වැඩිපුරම කතාබහට ලක්වූ සතියක් විය. ඒ ප‍්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව පේ‍්‍රමතිලක හා ප‍්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරය.

දෙදෙනා සමාජ දේශපාලනමය වශයෙන් පැහැදිළිවම කඳවුරු දෙකක් නියෝජනය කරන දෙදෙනකු වුවත් ජනතාව මේ දෙදනාටම බොහෝ සේ ආදරය කළහ.

බන්දුල පද්මකුමාරගේ අවසන් ඉල්ලීම අනුව මියගිය දිනයේම ඔහුගේ ආදාහන කටයුතු අහවර කරන්නට පවුලේ ඥාතීන්ට සිදුවිය. එහෙත් සුනිල් මාධව පේ‍්‍රමතිලකගේ අවසන් කටයුතු සිදුවූයේ 26 වැනි සෙනසුරාදා මාලබේ කොස්වත්ත පොදු ආදාහනාගාරයේය. එතෙක් මහජන ගෞරවය සඳහා දේහය රිචඞ් ද සොයිසා මාධ්‍ය ගම්මානයේ පිහිටි සුනිල්ගේ නිවසේ තැන්පත් කර තිබිණි.

සුනිල්ට අවසන් ගෞරව දක්වන්නට පුවත්පත් කලාවට සම්බන්ධ විශාල පිරිසක් නිවසට ඇවිත් ගියහ. පක්‍ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු පැමිණියහ. ඒ අතර නිරතුරුවම ඒ නිවසට ගොඩවී අඩුපාඩු සොයා බැලූ දෙදෙනෙක්ද වූහ. ඒ කලකට පෙර සුනිල් සමඟම පත්තර රස්සාවේ නිරතව සිටි මාධ්‍යවේදීන් දෙදෙනකු වන විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුමය.

ආදාහනය දා දහවල් තවත් විශේෂ අමුත්තෙක් මළගෙදරට පැමිණ සිටියේය. ඒ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනය. ඉන් ටික වේලාවකට පසු විමල් වීරවංශ මළ ගෙදරට පැමිණ අවසන් වරට දේහයට ගෞරව දක්වා නිවස ඉදිරිපිට සිටි පැරණි දේශපාලන හිතවතුන් පිරිසක් අතර වාඩිවී පරණ පුරුදු විදියට කතා බහ කරමින් සිටියේය.

ඒ අතර විමල්ට ආදරය කරන ප‍්‍රදේශයේ එක්තරා පුද්ගලයෙක් පැමිණ විමල්ට අපූරු කතාවක් කීවේය.

‘ඔබතුමාලත් එක්ක එකට වැඩකරපු කෙනෙක් නේද අපේ සුනිල් මහත්තයා…….’ ඒ හැඳින්වීම විමල් නිහතමානීව නිවැරදි කළේය.

‘අනේ නැහැ. සුනිල් අයියලා ජ්‍යෙෂ්ඨයෝ. එතුමාලා ලොකු වැඩ කරගෙන ගියා. අන්න ඒ වැඩවලදී අපිත් ඒවට හවුල් වුණා…’’ විමල්ගේ එම කතාව එතන සිටි සමකාලීන දේශපාලන මිතුරන් කිහිප දෙනෙක්ම අගය කළහ.

විමල් ඒ මොහොතේ පටන් මළ ගෙදර සියලූ කටයුතු අවසන් වනතුරුම එහි රැඳී සිටියේ දිවා ආහාරයට පවා මළ ගෙදරදීම සහභාගි වෙමිනි.

හෙන්රි වර්ණකුල, පුබුදු ජයගොඩ ඒ අතර ප‍්‍රදීපා ධර්මදාස ද එතැනට එකතු වූවාය. ඩලස් ආවේ අනතුරුවය.

අවසානයේ අවමංගල සභාවට බන්දුල ගුණවර්ධන, ජගත් කුමාර ඇතුළු මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක්ම පැමිණ සිටියහ. ආගමික වතාවත් හා සියලූ ගුණකථන අවසන පුවත්පත් කලාවේ අසාමාන්‍ය ජනාදරයක් දිනාගත් ඒ සාමාන්‍ය මිනිසා සාමාන්‍ය මිනිසකු ලෙසම අවසන් ගමන් ගියේය.

එකම විසඳුම
රනිල් ළඟ විතරලූ….

විමල් - උදය - වාසු ආණ්ඩුවට ලබා දුන්නේ රතු එළියක්ද…?

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ පසුගිය සතියේත් ලංකාවේ දේශපාලන පසුබිම කෙරෙහි දැඩි උනන්දුවකින් බලාසිටියේ යැයි කිවහොත් නිවැරදිය.

ඔහු නිරතුරුවම ආණ්ඩුව ඇතුළාන්තයේ ගැටුම් ගැන මෙන්ම රට මුහුණ දෙන විවිධ අර්බුද පිළිබඳව ද අවධානය යොමු කරමින් විමසිල්ලෙන් සිටියේය. රට මුහුණපාන ඩොලර් අර්බුදය ගැන ඔහුට වෙනමම විසඳුම් තිබිණි. සියල්ලට පෙර ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය කරන ආයතන අතර සමගිය වර්ධනය කරගත යුතු බව රනිල් විශ්වාසයෙන් යුතුව කියා සිටියේය. ඒත් සමඟම රනිල් ආණ්ඩුව ඇතුළේ විවිධ පාර්ශ්වයන් සමඟ ද වෙන වෙනම ගනුදෙනු කළේය. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරු සමග ඔහුට හොඳ ඇසුරක් තිබිණි.

පසුගිය බදාදා රනිල් පක්ෂයෙහි සියලූම ආසන සංවිධායකවරු හා ක‍්‍රියාකාරීන් සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවනු ලැබීය. රනිල් වෙනුවෙන් මෙම හමුව කැඳවා තිබුණේ පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක යි. මෙසේ ආසන සංවිධායකයන් කැඳවීමට හේතුවක්ද තිබිණි. ලබන 12-13 දෙදින කොළඹ දිස්ත‍්‍රික්කයේ මුල් කරගනිමින් පැවැත්වෙන සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන ගැන සාකච්ඡා කිරීම අරමුණ විය.

‘‘ජනතාවට දැන් ආණ්ඩුව එපා වෙලා. ඒගොල්ලො විසඳුමක් හොයනවා. විකල්පයක් හොයනවා. මේ වෙලාවේ අපි ඒ සඳහා ලංකාවේ තිබෙන එකම විකල්පය බවට පත්විය යුතුයි.”

‘‘රට මුහුණ දෙන ඩොලර් අර්බුදයට විසඳුම් තියන එකම තැන අපේ පක්ෂය විතරයි. ඒ ගැන දැක්මක් තියෙන්නෙ අපේ නායකතුමාට විතරයි.” සාගල පැහැදිලි කළේය.

ඉන්පසුව කවුරුත් කළේ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන් රට පුරා ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වැඩ රාජකාරි බෙදාහදා ගැනීමයි.

ආසන සංවිධායකවරු ඉතාමත්ම උද්‍යෝගයෙන් මෙම කටයුත්තට සහභාගි වූ බව පෙනෙන්නට තිබිණි. නායකයා ලෙන්ගතු හැමෝටම කතා කළේය. බොහෝ දෙනකු සමග ඔහු පුද්ගලිකවම කතාබහ කරමින් මිත‍්‍රශීලීව කටයුතු කිරීම තුළ සියලූ සංවිධායකවරු ද මහත් සතුටට පත්ව සිටියහ.

අවසන් විභාගයෙන්
සජිත් සමත් වෙයිද…

සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස පසුගිය සතියේ දේශපාලන කටයුතුවලට අමතරව තවත් විශේෂ කටයුත්තක නිරතව සිටියේය. ඒ ඔහුගේ ශාස්ත‍්‍රපති විභාගයේ අවසන් පරීක්ෂණය සඳහා සූදානම් වීම ය.

සැබැවින්ම කොළඹ විවෘත විශ්වවිද්‍යාලය තුළ සජිත් පේ‍්‍රමදාස එබඳු විභාගයකට පෙනී සිටිමින් අධ්‍යයන කටයුතුවල නිරතව සිටින බව ළඟම ක‍්‍රියාකාරීන් පවා දැන සිටියේ නැත. දේශපාලන වැඩකටයුතුවලට සතියේ සෑම දිනක්ම දිවා රැයේ වෙහෙස වෙන සජිත්ට අධ්‍යාපන කටයුතු සඳහා වේලාවක් නැතැයි බොහෝ දෙනා සිතා සිටියහ.

එහෙත් සජිත් අධ්‍යයන කටයුතුවලට මිඩංගු කළේ රාත‍්‍රී කාලයයි.

පසුගිය සතියේ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේදී විභාගය තිබිණි. විභාගය දවස් දෙකකි.

විභාගය දිනයේ ඔහුගේ රියැදුරන් හා ආරක්ෂක නිලධාරීන් ඔහු රැගෙන විවෘත විශ්වවිද්‍යාලයේ ගේට්ටුව ළඟට ගොස් නතර කළේය…

සජිත් වාහනයෙන් බැස ගේට්ටුව ඇතුළට යන්නට සූදානම් වෙද්දී ආරක්ෂක නිලධාරීන් ද ඔහු සමග ඇතුළට යන්නට පැමිණියහ.

තමුන් මොකටද ඇතුළට එන්නේ… මම යන්නේ විභාගයක් ලියන්න….

සර්ගෙ ආරක්ෂාවට….

‘‘අනේ මේ අදවත් මට ටිකක් නිදහස දෙනවද තනියම ගමනක් යන්න. අනිත් එක මේක ඇතුළෙ මට මොන තර්ජනයක්ද… ” කියමින් සජිත් තනිවම ඇතුළට ගියේය.

විභාගය පටන් ගන්නට හරියටම විනාඩි විස්සක් තිබියදී ඔහු ඇතුළට ගොස් සිය අසුන සොයාගෙන වාඩි වූයේය.

‘‘අපි හිතුවේ සර්ට වෙනම කාමරයක් විභාගෙට ලෑස්ති කරන්න වේවි කියලා…” ශාලා පරීක්ෂකවරු කීහ.

‘‘එහෙම අය ඉන්න ඇති… ඒත් මේ සජිත් පේ‍්‍රමදාස සාමාන්‍ය මිනිස්සු අතර කෙනෙක් …” සජිත් කීය.

විභාගය නියම වේලාවට අවසාන වූවාට පසු සජිත් කෙළින්ම පැමිණෙන්නේ පක්ෂ කාර්යාලය වෙතය. එතන මනුෂ නානායක්කාර හා හරීන් ප‍්‍රනාන්දු සජිත් එනතුරු මග බලා සිටියාහ. නීති ලේකම් නීතිඥ තිසත් විජය ගුණවර්ධන ද මෙතන සිටියේය.

ආ දැන් මොනවද ඕගොල්ලො මේ පාර ජිනීවා ගිහිල්ලා කරන්න බලාපොරොත්තු වෙන්නේ… සමුළුවේ ඉස්සරහින් පාරට වෙලා බෝඞ් අල්ලන් විරෝධතා දක්වනවද එහෙම නැත්තං….

සජිත් විහිළුවක් කළත් ඔවුන් දෙදෙනා යන්නේ කුමටද කියා ඔහු හොඳින් දැන සිටියේය… පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබා ගැනීම සඳහා පණිවිඩයක් ජාත්‍යන්තරය වෙත අරගෙන යෑම ඔවුන්ගේ අරමුණව තිබිණි. ජාත්‍යන්තර ප‍්‍රජාව දැනුවත් කරමින් රන්ජන් සිරගතව සිටින්නේ ඇයි දැයි කියා ලොවට පණිවිඩයක් දීම සජබයේ වුවමනාව විය.

ඉන්පසුව සජිත් හා ඔවුන් අතර සාකච්ඡාවක් ඇති විය. මේ දෙදෙනා පසුවදාම ජිනීවා බලා පිටත්ව යෑමට නියමිත විය.

‘‘අපි ජිනීවා යන්නේ රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාට නිදහස ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න. අධිකරණයට අපහාස කිරීම සඳහා ලබා දෙන නිශ්චිත දඬුවමක් නීතියේ නෑ. ඒ වගේම ඔහුට නිදහස ලබා දෙන්න කියලා විපක්ෂ නායකතුමා කීප පාරක්ම ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා. ඒ ගැන ජනාධිපතිතුමා කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැහැ. අපි මේ අවනඩුව ලෝකෙට කියනවා…” මනුෂ පැහැදිලි කළේය.

හරිනුත් මනුෂත් රංජන්ගේ අවනඩුව කියන්නට ජිනීවා ගිය බව ආණ්ඩුවට රහසක් වූයේ නැත. ආණ්ඩුව ඇතුළාන්තයේ ද මේ ගැන කතාබහක් ඇති විය.

ඒ වන විට ශ‍්‍රී ලංකාවේ මැල්කම් රංජිත් කාදිනල්තුමාද වතිකානුවට ගොසින් පාප්තුමා හමුවී අවනඩුවක් කියමින් සිටියේය. පාස්කු ප‍්‍රහාරය සිදු වී අවුරුදු ගණනක් ගත වී ඇතත් තවමත් පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු වී නැතැයි කියමින් කාදිනල්තුමා පාප්තුමාට ඉදිරිපත් කරන අවනඩුව ද සුළු පටු නැත. ඒ සම්බන්ධයෙන් කාදිනල්තුමා ශ‍්‍රී ලංකා ආණ්ඩුවට අප‍්‍රසාදය පළකර තිබිණි. මෙම ගමන අතරතුර කාදිනල්තුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියටද එම පැමිණිල්ලම ඉදිරිපත් කිරීම බොහෝ දෙනකුගේ කතාබහට ලක් වූ මාතෘකාවක් විය…

‘‘කාදිනල්තුමා වතිකානුවට ගිහින් පාප්තුමාට මෙම නඩුව ඉදිරිපත් කරන එකේ සාධාරණයක් තියෙනවා. හැබැයි අපේ රටට නිරතුරුවම හතුරුකම් කරමින් බෙදුම්වාදය හා ත‍්‍රස්තවාදය හුරතල් කරමින් සිටින මිෂෙල් බැෂලේ වගේ කෙනෙක් හම්බවෙලා ලංකාවේ ආණ්ඩුවට විරුද්ධව කරන පැමිණිල්ල ගැන නම් අපි එකඟ නෑ…. ආණ්ඩුව ඇතුළේ කෙරුණු සාකච්ඡාවකදී ඉහළම දේශපාලනඥයෙක් ප‍්‍රකාශ කර සිටියේය.

මේ සම්බන්ධයෙන් පසුවද යම් යම් ඇමැතිවරු හා මන්ත‍්‍රීවරු රජය වෙනුවෙන් ප‍්‍රකාශ පවා නිකුත් කර තිබිණි. ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීවරයා ද ඒ අතර සිටි එක් අයෙකි…. ඔහු හරින්ලාගේ මනුෂලාගේ ක‍්‍රියාකලාපය ගැනද කතා කළේය.

‘‘හරින් නම් ටිකක් ඉංග‍්‍රීසි එහෙම දන්න නිසා ජිනීවා ගිහිල්ලා ඔය කවුරු කවුරු හරි හම්බ වෙලා මොනවා හරි කියා ගනීවි. ඒත් ඉතින් මනූෂ නම් ඒ මිනිස්සු හම්බ වෙලා මොනවා කියා ගනීවිද කියලා මට නම් තේරෙන්නෙ නෑ..”

හැටනවලක්ෂයේ
පෝලිමට පසු…

බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේදී සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු කණ්ඩායමක් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ ආණ්ඩුවේ ඇමැති මාරුවත් සමග ඇතිවූ දේශපාලන අලකලංචිය සාකච්ඡා කරන්නටය.

‘‘ආණ්ඩුව ඇතුළේ අර්බුදය දවසෙන් දවස වර්ධනය වෙනවා. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා විවේචනය කරන අයට වෙන දේ තමයි මේ. මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සාකච්ඡාව ආරම්භ කළේය.

‘‘ජනාධිපතිවරයා විදුලිය කපන්නේ නෑ කියලා කියනවා. ඒත් දවසට පැය හතහමාරක් විදුලිය කපනකම් මොකක්ද ජනාධිපතිවරයා කළේ. කිසිම විසඳුමක් නැති ආණ්ඩුව දැන් තෙල් නිපදවන රටවලින් ණයට තෙල් ඉල්ලමින් හි`ගා කනවා. ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා කීවේ මාධ්‍ය වාර්තා කිහිපයක් උපුටා දක්වමිනි.

‘‘හැට නම ලක්ෂයක් පෝළිමේ ගිහින් ඡුන්දය දුන්න නිසා රටේ හැමෝටම පෝළිම්වල ඉන්න ආණ්ඩුව වැඩ කටයුතු සැලසුවා කියලා තමයි සමාජ මාධ්‍යවල යන්නේ’’ එස්. එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා කීය.

‘‘ආණ්ඩුව ඇතුළේ ප‍්‍රශ්න දිගටම යනවා. පිල් බෙදිලා. ගිය සතියේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ කාර්යාලයක් කුරුණෑගල විවෘත කරන්න හිටියට ඒක විවෘත කරන්න ජොන්ස්ටන් ඇමැතිතුමා ඉඩ දීලා නෑ. රෝහිත රාජපක්ෂට හැරිලා එන්න වෙන තැනට වැඩ හැදිලා තියෙන්නේ. නලින් බණ්ඩාර කීවේ ආණ්ඩුවේ තවත් අර්බුදයක් ගැනය.

‘‘අනුරාධපුර සල්ගාදු පිටියේ රැස්වීමටත් අපි සූදානම් වෙන්න ඕන. පොහොට්ටු රැස්වීමට ආපු සෙනඟ වගේ තුන් හතර ගුණයක සෙනඟ ගෙනවිත් ජන මතය පෙන්නලා, ආණ්ඩු විරෝධී රැල්ල දිගටම අරගෙන යන්න ඕන’’ එස්. එම්. මරික්කාර් මන්ත‍්‍රීවරයා කී කතාවට සියල්ලන්ගෙන්ම ලැබුණේ හොද ප‍්‍රතිචාරයකි.

බලශක්ති රැස්වීමෙන්
උදය පිටව ගිහින්…

මේ සතියේ නරකම අතට හැරී තිබුණු ලංකාවේ බලශක්ති අර්බුදය ගැන කතා කරන්නට ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් කැඳවූයේ බදාදා දහවල්ය.

දහවල් 11.30ට වෙලාව දී තිබිණි. විදුලි බල අමාත්‍යාංශයේත් විදුලිබල මණ්ඩලයේත් බලශක්ති අමාත්‍යාංශයේත් සියලූ ඇමැතිවරු ලේකම්වරු සභාපතිවරු සාමාන්‍යාධිකාරිවරු හා අදාළ නිලධාරීන් සියල්ලන්ටම මේ සඳහා පැමිණෙන්නට කියා තිබිණි. ඊට අමතරව ගම්මන්පිල, ලොකුගේ මහින්දානන්ද, රමේෂ් පතිරණ, ජොන්ස්ටන්, කාංචන විජේසේකර ආදී මැති ඇමැතිවරු පිරිසක්ද පැමිණ සිටියහ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මෙම රැස්වීම සඳහා සහභාගි වූයේ තරමක් ප‍්‍රමාද වී 12.30ටය.

මුලින්ම විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරිය මාර්තු මාසයේ සැලැස්ම ජනාධිපතිවරයා හමුවේ විස්තර කරන්නට විය.

‘‘මට ඕක නෙවෙයි… ඔයිට කලින් පෙබරවාරි මාසයේ ඉඳලා මොනවද වුණේ කියලා විස්තර කරලා කියන්න….” ලේකම්වරියත් තරමක් අපහසුතාවකට පත් විය.

ඒ අතර ඇමැතිවරු ඉදිරිපත්වී පෙබරවාරි මාසයේ සිට හට ගැනුණු ඉන්ධන අර්බුදය පියවරෙන් පියවර පැහැදිලි කරමින් අද තිබෙන අසීරු අවස්ථාවට පත් වූ ආකාරය ගැන විස්තරයක් කළේය.

‘‘මේ විදියට තෙල් හිඟයක් රට තුළ ඇති වෙන්න දෙන්න බෑ… රටේ තෙල් නැත්තෙ ගෙවීම් කරලා නැති නිසා නම් වහාම මහ භාණ්ඩාගාරයේ ගෙවීම් ටික කරලා ඉවර කරන්න…” ජනාධිපති උපදෙස් දුන්නේය.

‘‘මාර්තු මාසයේ තමයි සර් මේ මුදල් අමාරුව තියෙන්නේ. මේ මාසේ වෙනත් ගෙවීම් වගේකුත් කරන්න ඕන. ලබන මාසය ඉඳලා ප‍්‍රශ්නයක් නෑ….” මහ බැංකුවේ අධිපති කීවේය.

‘‘බැහැ…. එහෙම කරන්න බැහැ. බලශක්තිය නැති වුණාම මේ රටේ හැම ක්ෂේත‍්‍රයක්ම කඩා වැටෙනවා. ඒක නිසා රටට අවශ්‍ය තෙල් ටික ගන්න නැව් වලට මුදල් ගෙවන්න.” ජනාධිපති නියෝගයක් ලෙස කීවේය. ඒ අනුව එදා හවස සිටම ගෙවීම් කර නැව් වලින් තෙල් ලබා ගන්නට ආණ්ඩුවේ අනුමැතිය පළවිය.

‘‘මේ මොන විදියට තෙල් බෑවත් මේ ප‍්‍රශ්නය පස් වෙනිදායින් පස්සෙ තමයි හරියටම විසඳෙන්නේ…”

‘‘රට පුරාම හරියටම තෙල් ටික බෙදා ගන්න දවස් 5ක් යනවා. ලයිට් කපන එකත් එදා දක්වා පවත්වාගෙන යන්න වෙනවා…” නිලධාරීන් උත්තර දුන්හ.

‘‘නිලධාරීන් හැටියට ඕගොල්ලන් ලොකු වැරැද්දක් කරනවා. ඔයගොල්ල ඔය විදියට මාධ්‍යවලට ඇවිත් කියවන්න එපා. හෙට ඉඳන් තෙල් ඉවරයි… තෙල් ටික තියෙන්නේ අනිද්දා වෙනකන් විතරයි වගේ කතා. එහෙම කිව්වහම මිනිස්සු හොඳටම බය වෙනවා. බය වෙලා ෂෙඞ්වලට ඇවිල්ලා ටැංකි පිරෙන්න තෙල් ගහගන්නවා. කට පරිස්සම් කරගන්න…” ජොන්ස්ටන් කීවේ අවවාදාත්මක ස්වරයෙනි.

‘‘ඔව් ඔව්… මේගොල්ලෝ එහෙම කිව්වම මිනිස්සු ගෙවල්වල තියන ටැංකි පිරෙන්න ස්ටොක් කරනවා. දැන් වෙලා තියෙන්නේ ඒක. වැඩිම තෙල් සංචිත තියෙන්නේ මිනිස්සුන් ගේ ගෙවල්වල…”කාංචන ඇමැතිවරයා කීවේය.

‘‘දැන් තියෙන නැව්වලට මුදල් ගෙවලා තෙල් ටික ගත්තොත් පස් වැනිදායින් පස්සෙ මේ ප‍්‍රශ්න ඔක්කොම විසඳන්න පුළුවන්…” නිලධාරීන් කීහ.

‘‘නිවාසවල තමන්ගේම මුදල් වියදම් කරලා සූර්ය බලය නිපදවලා විදුලිබල මණ්ඩලයට දුන්නම ඒව ගන්නෙ නැත්තෙ ඇයි…” රමේෂ් පතිරණ හොඳ ප‍්‍රශ්නයක් ඇසීය.

‘‘එහෙම ප‍්‍රශ්නයක් කලින් තිබුණ. දැන් සති දෙකක් ඇතුළත ඒ වගේ ප‍්‍රශ්නයකට උත්තරයක් දෙන්න අපිට පුළුවන්..” විදුලිබල සාමාන්‍යාධිකාරි කීවේය.

‘‘මොන බොරුවක්ද… මගේ ගෙදර විදුලිය නිපදවලා බෙඞ් එකට දෙන්න දැන් මාස තුනක් තිස්සේ බලාගෙන ඉන්නවා.’’ කංචන උදාහරණයක් කියමින් කිව්වේය.

‘‘පැහැදිලිව කතා කරන්න … මේ වගේ වෙලාවක බොරු කියන්න හදන්න එපා”… ඇමැතිවරු නිලධාරීන්ටද කියන්නට පටන් ගත්හ.

මේ අතර උදය ගම්මන්පිල නැගිට ජනාධිපතිවරයා ළඟට ගොස් මොනවාදෝ කියා වෙලාව පෙන්වමින් පිටව ගියේය…

ඒ වන විට ජොන්ස්ටන්, රමේෂ් ඇතුළු කීප දෙනෙක්ම උදය ගම්මන්පිල යන්නේ මොනවාටද, කොතැනටද කියා හොඳින් දැන සිටියහ.

ඉන් පසුව විදුලිය කපන කලාප හඳුනා ගැනීම ගැන කතාබහක් ඇති විය…

‘‘සමහරු කියනවා මං ඉන්න නිසා මිරිහාන නුගේගොඩ පැත්තට විදුලිය කපන්නේ නෑ කියලා.. එහෙම එකක් තියෙනවද…” ජනාධිපති විමසුවේය. ඊට උත්තර දුන්නේ විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරාය ය.

‘‘ඒක වෙන්නේ මෙහෙමයි සර්… අපි විදුලිය කපන්නේ ලංකාවේම විදුලි කලාප හාරසිය පනස් හයක් හඳුනගෙන. විසන්ධි කළ හැකි කලාප හාරසිය පනස් හයක් තියෙනවා. මේ වන විට අපි අපි එයින් කලාප 196 ක්ම අයින් කරලයි විදුලිය කපන්නේ..”

‘‘ඒ මොකද එහෙම කරන්නේ..?”

‘‘කොළඹ මහ රෝහල තියෙන කලාපයට අපි විදුලිය කපන්නේ නෑ… ඒ වගේම නිදහස් වෙළෙඳ කලාපය තියෙන කලාපයට අපි විදුලිය කපන්නේ නෑ… ආරක්ෂක මර්මස්ථාන තියෙන තැන්වලත් විදුලිය කැපෙන්නෙ නෑ. අන්න ඒ වගේ විශේෂ වූ කලාප එකක් දෙකක් නෙවෙයි 196කට ම අපි මේ වෙලාවේ විදුලිබල සහනය දීලා තියනවා. බී ඕ අයි කලාපවලට විදුලිය කපන්න බෑ….” නිලධාරියාගේ එම පැහැදිලි කිරීම වඩාත් වැදගත් විය.

කෙසේ වෙතත් විදුලිබල රැස්වීම බොහෝ වේලා ඇදී ගියේය. හවස 3.30 පමණ වනතුරු එය පැවැත්විණි.

මුළු රටම හරිමඟට

විමල් - උදය - වාසු ආණ්ඩුවට ලබා දුන්නේ රතු එළියක්ද…?

මෙම සතියේ සිදු වූ තීරණාත්මකම දේශපාලන සංසිද්ධිය වූයේ ඉකුත් දෙවැනි බදාදා ජයවර්ධනපුර ඉම්පීරියල් මොනාක් ශාලාවේ පැවැති ආණ්ඩු පක්ෂයේ සුළු පක්ෂ එකොළහේ නියෝජිතයින්ගේ රැස්වීමයි. මෙම රැස්වීම සංවිධානය කළේ ආණ්ඩුව ඇතුළේ දිගින් දිගටම පොහොට්ටුවේ ක‍්‍රියාකාරකම් සමග බලවත් දේශපාලන සංවාදයක් ඇති කරගෙන නිරතුරුව ගැටෙමින් සිටි පිරිසකි. ආණ්ඩුව ආරම්භයේ සිටම යම් යම් ප‍්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් ප‍්‍රතිවිරෝධතා මතු කර තිබිණි.

මෙහිදී මෙම සංවිධානය ”මුළු රටම හරි මඟට” නමින් රට තුළ දැන් මතුව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වූ දසවැදෑරුම් යෝජනා මාලාවක් ද රට හමුවේ තබා තිබිණි.

ආණ්ඩුවේ සුළු පක්ෂ එකොළහකම සාමාජිකයන් මේ සංවිධානය තුළ වෙතත් රට තුළ වඩාත් ඉස්මතුව සිටියේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාරයි.

මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට තවත් විශේෂ පුද්ගලයෙක් ද පැමිණ සිටියේය. ඒ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන යි. ආණ්ඩුවේ සිටින සුළු පක්ෂ එකමුතුවේ මන්ත‍්‍රීවරු තිස් දෙනෙක් මෙම සාකච්ඡාවට පැමිණ සිටියහ. ඊට අමතරව පොහොට්ටුවේ ඇමැතිවරයකු වූ විදුර වික‍්‍රමනායකත් මන්ත‍්‍රීවරයකු වූ ප්‍රෙමනාත් සී දොලවත්තත් සහභාගිවී සිටීම විශේෂත්වයක් විය.

ඒ මහා විශාල ශාලාව පිරෙන්නට ම ආරාධිතයන් පැමිණ සිටි අතර ශාලාවේ ඉඩ නොමැතිව අවට පරිසරය පුරා ද සුළු පක්ෂ එකොළහේ ආධාරකරුවෝ විසිර සිටියහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැසිරීම මෙහිදී කැපී පෙනෙනසුලූ එකක් විය. පහුගිය දිනවල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පොලොන්නරුව ප‍්‍රදේශයෙන් සිය ප‍්‍රති සංවිධාන කටයුතු ආරම්භ කර තිබිණි. ආණ්ඩුවේ ඇතුලේ සිටිමින්ම ආණ්ඩුවට එරෙහි සටන පණගන්වන්නට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය දිනවල සාකච්ඡා වට රාශියක්ම කරනු ලැබුවේ කොළඹ දී යම් යම් මන්ත‍්‍රීවරුන්ගේ නිවෙස්වලදී රාත‍්‍රි කාලයේ නිතර නිතර හමු වෙමිනි.

මෛත‍්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 24 දෙනා මෙම අවස්ථාවට සහභාගි වී සිටියේ සැලසුම් සහගතව ය. මන්ත‍්‍රීවරු වෙන වෙනම කණ්ඩායම් වශයෙන් පැමිණ ඇති බව පෙනෙන්නට තිබුණේ ඒ ඒ පළාත්වලින් නිල් පැහැති ෂර්ට්වලින් සැරසුණු පිරිසක් කැපී පෙනෙන ලෙස සහභාගි කරවා තිබූ නිසාය.

දසවැදෑරුම් වැඩසටහන ඉදිරිපත් කරමින්, පැමිණි සිටි සභාව අමතමින් කතා කළ විමල් වීරවංශ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අන්දමේ වේගවත් කතාවක් කළේය. උද්දච්ච පාලකයන්ගේ පාලනය ගැන සහ මොළ හතක් ඇතැයි කියන නායකයන්ගේ වැඩ ගැන ඔහු සිය දැඩි විවේචනය එල්ල කළේ සුපුරුදු ප‍්‍රහාරාත්මක වචන හරඹය විදහා පාමිනි.

එතරම් වේගවත් නොවුවත් ගම්මන්පිලගේ කතාව ද විමල්ගේ කතාවට දෙවැනි නොවූයේ කරුණුමය පැත්තෙනි. රැස්ව සිටි සාමාජිකයෝ පුදුමයට පත්කරමින් මෛත‍්‍රීපාල සිරිසේන ද දැඩි වේගවත් කතාවක් කළේය.

මේ සියලූ කතාවල හරය ගත් කල ඉන් දැඩි ලෙස විවේචනය කෙරුණේ ජනාධිපතිවරයා හා මුදල් ඇමැතිවරයා බව සැකයක් නොවීය.

ඇතැම් රූපවාහිනී හා ගුවන්විදුලි සේවාවන් ඔවුන්ගේ කතා ඒ මොහොතේම සජීවීව විකාශය කර හැරියහ. ඒ නිසා ආණ්ඩුවේ නායකයෝ පමණක් නොව දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සියලූම දෙනා එම රැස්වීමේ කතා සියල්ල අසා සිටියහ.

මුළු රටම හරිමඟට රැස්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ දේශපාලන කඳවුර කඩිගුලක් මෙන් ඇවිස්සී ගියේය. කරළියේ සිටින පොහොට්ටුවෙ ක‍්‍රියාකාරීහු පිරිසක් නෙලූම් මාවතට එක්රොක් වූහ. තවත් පිරිසක් ජනාධිපතිවරයා හමු වන්නට ජනාධිපති කාර්යාලයට හෝ ජනාධිපති මන්දිරයට යන්නට උත්සාහ කළහ. වැඩිදෙනා ගියේ විජේරාම මාවතේ පිහිටි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිවසට ය. එතනද නඩු කෝටියකි. විමල්, ගම්මන්පිල, වාසු ඇතුළු කණ්ඩායම වහාම රජයෙන් නෙරපා හැරිය යුතු බව ඇතැම් කලබලකාරයන් ගේ අදහස වූහ. විමල්ට හා ගම්මන්පිලට එරෙහිව බරපතළ ලෙස තිබූ චෝදනාව වූයේ රජය තුළ තිබෙන කැබිනට් මණ්ඩලයේ විශ්වාසය හා සාමුහික වගකීම පැහැර හැරීමයි.

ඉරණම දැන දැන
සටන්බිම තෝරගෙන

විමල්, ගම්මන්පිල වාසු ඇතුළු පිරිස බදාදා රාත‍්‍රියේ බොහෝ වේලා යන තුරු ම සිටියේ එකට ය. ඔවුන්ගේ ආධාරකරුවන් ද ඔවුන් සමග වූහ. විමල්ගේ හා ගම්මන්පිල ගේ කතා දෙක නිසා මුළු ආණ්ඩුවම කඩිගුලක් සේ ඇවිස්සී ඇති බව ඒ වන විටත් විමල් ඇතුළු පිරිස දැන සිටියහ. නිසැක ලෙසම ආණ්ඩුව කලබල වී විමල්, ගම්මන්පිල, වාසු ඇතුළු සියලූ දෙනා ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් කරන බව බොහෝ දෙනාගේ නිගමනය වූහ. ඒ වනවිටත් ආණ්ඩුවේ සමහර කලබලකාරී මන්ත‍්‍රීවරු දුරකථන හා විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ විමල්ලා ගේ දුරකථනවලටත් සන්නිවේදන උපකරණවලටත් නොයෙකුත් තර්ජන, අවලාද හා බැණුම් ගෙරවුම් එවීම ආරම්භ කර තිබිණි.

පසුදා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට ජනාධිපතිවරයාට අවශ්‍ය විය. ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම බිඳ දමමින් දැඩි ලෙස ප‍්‍රසිද්ධියේ රජය හා රජයේ නායකයෝ විවේචනය කිරීම ගැන ජනාධිපතිවරයා එම රැස්වීමෙන් පසුවත් දැඩි පියවර ගනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය වූහ.

පසුදා එනම් බ‍්‍රස්පතින්දා හවස පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී විමල්ගේ හා ගම්මන්පිලගේ ක‍්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක්වූහ. විමල්ට ගම්මන්පිලට හා වාසුට එරෙහිව දැඩි විනය පියවර ගත යුතු බව බොහෝ දෙනාගේ අදහස වූහ. එහෙත් ඔහුට එරෙහිව හෝ මෛත‍්‍රීපාල සිරිසේනට එරෙහිව පියවරක් ගන්නට තරම් ඔවුන්ගේ කතාවල හේතු සොයා ගැනීමට කිසිවක් නොවූහ. මේ නිසා වැඩි දෙනෙකුගේ චෝදනාවලට ලක්ව සිටියේ විමල් හා ගම්මන්පිල ය.

රැස්වීමේදී ජනාධිපතිවරයා කතා කළේ මෙසේය…

”අපි ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශවල ඇමැතිවරු නිලධාරීන් මෙන්ම බලධාරීන් ගෙන්වලා සාකච්ඡාවක් පටන් ගත්තේ විදුලිබල හා බලශක්ති ප‍්‍රශ්නය ගැන කතා කරන්න. මේ වෙලාවේ ලොකුම ප‍්‍රශ්නය වෙලා තිබුණේ ඉන්ධන හිඟය. ලයිට් කපන්න වෙලා තිබුණෙත් ඉන්ධන හිඟය හින්දා.

අපි ඒ කාරණාව ගැන බරපතළ ලෙස සාකච්ඡා පවත්වමින් ඉන්න වෙලාවේ විෂය භාර ඇමැතිවරයා වෙනත් රැස්වීමකට යන්න තියෙනවා කියලා ඇවිල්ල මට කියල යන්න ගියා. එයාට මොකක්ද මෙයට වඩා තියෙන වැදගත් රැස්වීම. මහජනතාව ගැන මහජන උපයෝගීතාවය ගැන ඔය තරම් කතා කරන මිනිස්සුන්ට තමන්ගේ විෂය පථය ගැන ජනාධිපතිවරයා අගමැතිවරයා පැමිණිලා කරන සාකච්ඡාවට සහභාගි වෙලා ඉන්න බැරි නම් එයා මොකටද ඒ ඇමැතිකම දරන්නේ…”

මේ අයුරින් සාකච්ඡා කළ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම දැඩි තීන්දුවක් ගත්තේය.

ඉන් පසුව ජනාධිපතිවරයා සිය ලේකම්වරු මෙන්ම රජයේ ප‍්‍රබලම ඇමැතිවරු කිහිපදෙනෙක් සමඟ ද මේ පිළිබඳව වැඩිදුරටත් කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව තීන්දුවක් ගත්තේය.

එනම් කර්මාන්ත අමාත්‍ය ධුරයෙන් විමල් වීරවංශ මහතා ඉවත් කිරීමටත් බලශක්ති අමාත්‍ය ධුරයෙන් උදය ගම්මන්පිල මහතා ඉවත් කිරීමටත් ය.

මෙම ආරංචිය බ‍්‍රහස්පතින්දා හවස වන විට රට පුරා පැතිර ගියේය. ඒත් සමඟම ඔවුන්ගේ ඇමැති ධුර වෙනුවට ගනු ලබන තීන්දු ගැන ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මේ අවස්ථාව වන විට අගමැතිවරයා හිටියේ තරමක් සංවේදීවය. උදය ගම්මන්පිල, විමල් වීරවංශ යන දෙදෙනාද අගමැතිවරයාට දුරකථනයෙන් කතාබහ කළේ මේ අතරය. අග‍්‍රාමාත්‍යවරයා රජය ගනු ලැබූ එම දැඩි තීන්දුව සම්බන්ධයෙන් එතරම් ප‍්‍රසාදයක නොසිටින බව ප‍්‍රකාශ කළේ යයි විමල්ගේ හා උදය ගම්මන්පිලගේ පාර්ශ්වවලින් මාධ්‍යවලට ද අනාවරණය විය.

කෙසේ වෙතත් හවස් වන විට එම තීන්දුව ක‍්‍රියාත්මක විය. එම ඇමැතිවරු දෙදෙනා තනතුරුවලින් ඉවත් කළා පමණක් නොව, කර්මාන්ත අමාත්‍ය ධුරය එස්. බී. දිසානායකටත්, බලශක්ති අමාත්‍ය ධුරය ගාමිණී ලොකුගේටත් ලොකුගේ සතුව තිබූ විදුලිබල අමාත්‍ය ධුරය පවිත‍්‍රා වන්නිආරච්චිටත් ලබාදීමට ජනාධිපති කාර්යාලය ක‍්‍රියාකර තිබුණි.

බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ කොළඹ දේශපාලන කරළියේ තව තවත් බොහෝ දේ සිදුවෙමින් තිබිණි. අලූත් අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් ඇමැතිවරුන්ට තමන්ට අත්වූ ඉරණම පිළිබඳ හිතන්නටවත් වෙලාවක් නොවීය. මේ මාරු වූයේ කුමන ග‍්‍රහයෙක්දැයි ඔවුන්ටත් සිතාගත නොහැකි වූහ.

විමල් වීරවංශගේ නිල නිවසට එදා මහසෙනගක් එක්රොක්වී සිටියහ.

කර්මාන්ත ඇමැතිවරයා හැටියට විමල් වීරවංශ සතුව රාජ්‍ය ආයතන විශාල ප‍්‍රමාණයක් තිබේ. එම ආයතනවල සභාපතිවරු හා කාර්ය මණ්ඩලවල සාමාජිකයෝ ද මේ වෙන්නේ කුමක්දැයි නොදැන විපිළිසරව සිටියහ. ඇතැම් සභාපතිවරු පැමිණ විමල් වීරවංශ හමු වන්නට උත්සාහ කරමින් සිටියහ.

මේ අතර විමල් වීරවංශත් උදය ගම්මන්පිලත් පක්ෂ එකොළහේ සෙසු නියෝජිතයෝත් එක්වී සාකච්ඡා කරනු ලැබුවේ ඉම්පීරියල් හෝටලයේ පැවති රැස්වීමෙන් පසුව ඔවුන් අර ගන්නා දෙවැනි දේශපාලන පියවර කුමක් ද යන වග ගැන ය.

පසුවදා පුවත්පත් සාකච්ඡාවක් කැඳවා තමන්ව ඇමැති ධුරවලින් ඉවත් කිරීම ගැන මහජනතාවට කරුණු දැක්විය යුතු බව විමල් හා උදය ගේ අදහස වූහ. ඒ අතර ජල සම්පත් අමාත්‍යවරයා වූ වාසුදේව නානායක්කාරගේ ඉරණම කුමක්ද කියා දැන ගන්නට ද බලා සිටින අයට හොඳ උත්තරයක් දිය යුතු බව වාසුගේ අදහස විය.

පසුදා එනම් සිකුරාදා හවස පක්ෂ එකොළහේ නියෝජිතයින්ගේ පුවත්පත් සාකච්ඡාව ආරම්භ විය. එහිදී වාසුදේව නානායක්කාර අලූත් පණිවිඩයක් ලබා දුන්නේ ය.

‘අපි පෙන්නුවේ වැරැද්දක්. ආණ්ඩුව මේ කරගෙන යන වැඩපිළිවෙළ හරි නෑ කියලා ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන වුණත් අපිට අපේ වැරදි හදා ගන්න උපදේශයක් දෙන්න සිදුවුණා. එහෙම කිව්වහම අපිට විරුද්ධව ලබාදෙන තීන්දුව මේක නම් මමත් දැන් තීන්දුවක් ගන්නවා.

”මම අද ඉඳලා අමාත්‍ය ධුරයේ වැඩ කටයුතු කිසිවක් කරන්නේ නෑ. කැබිනට් මණ්ඩලයට සහභාගී වන්නේ නෑ. අමාත්‍ය ධුරයට අදාළ කිසිවක් කරන්නේ නෑ. මේ කරපු වැඬේට මගේ එකඟත්වයක් නැති නිසා මම දක්වන විරෝධය ඒ ආකාරයෙන් දක්වනවා. මං සම්බන්ධයෙන් ගන්නා පියවරක් ආණ්ඩුව ගනීවි.” වාසුගේ නිගමනය එය විය.

මේ අයුරින් පසුගිය සතිය උණුසුම් වූයේ ඉහත සිද්ධිදාමය නිසාය. ඇතැම් දේශපාලන නිරීක්ෂකයන් පවසන්නේ මෙය යම් වෙනසක ආරම්භයක් බව ය. දේශපාලන කරළියේ මේ කුමන කතා මේ කුමන විවේචන වුවත් හෙට දිනයේ සිදුවන දේ අවිනිශ්චිතය. හෙට දිනයේ ද ඕනෑම මොහොතක ඕනෑම දෙයක් ඕනෑම අයුරකින් සිදු විය හැක. ජනතාවට සිදුව ඇත්තේ රසිකයන් පේ‍්‍රක්ෂකයන් ලෙස මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් යුතුව බලා සිටින්නට පමණක් නොවේද…

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment