රටට ඩොලර් ගේන්න බඩගින්නට හුරුවූ මිනිස්සු

427

බඩ පිරෙන්න වතුර බීලා නිදාගන්න පවුල්

බොහෝ වතු කම්කරුවන් බිඳුණු මිනිස්සු

ඔවුන් අතින් බොහෝ විට නිර්මාණය වෙන්නෙත් බිඳුණු දරුවෝ

රටට ඩොලර් ගේන්න බඩගින්නට හුරුවූ මිනිස්සු

“රෑට ඉතුරු වුණ දෙයක් කාලා උදේට වත්තට යනවා. සමහර වෙලාවට දවල්ට උයන්න දෙයක් නැත්නම් දවාලට කන්නෙ නැතුව තේ කහට කෝප්පයක් බීලා ඔහේ හවස් වෙනකල් වැඩ කරනවා.” ඩෙල්කිත් වත්තෙ වීරප්පන් මාරියන් ඒ තේ කහට කෝප්පයේ නොසිඳුණු හයිය රඳවාගෙනම කියන්නීය. පනස් පස් හැවිරිදි වීරප්පන්ගේ ඊටත් වඩා වැඩි වයසක් පෙනෙන්නේ ඇයිදැයි යන්න පැහැදිලිය. ජීවිත කාලයෙන් හරි අඩකට වඩා ‘කුසගින්නේ ‘කාලය ගතකළ මිනිසෙකුගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වීම සාධාරණ නැත. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඩෙල්කිත් වත්තෙ ජීවත් වන බොහෝ දෙනකුගේ කතාව එසේය. ඇය වචනවලට පෙරළන්නේ වසර දෙසීයකට එපිට සිට තමන්ට විඳින්නට සිදුව ඇති පීඩනයේ වත්මන් කතාවය. මෙතෙක් කලක් දෛනිකව ඔවුන්ගේ ජීවිත ගෙවුණු ආකාරය, වීරප්පන් මාරියන් පෙර කී ඒ වචන පෙළෙහි ගැබ්ව තිබේ.

ඇස නොගැටෙන දුක් ගින්දර

වීරප්පන් මාරියන්ද ඇතුළුව මිලියනයකටත් අධික ශ්‍රමිකයන් පිරිසකගේ ශ්‍රමදායකත්වයක් ලබා ගන්නා තේ කර්මාන්තය, පසුගිය වසරේ අපනයන ආදායම් වාර්තාවට අනුව මෙරට වාර්ෂික අපනයන ආදායමට ඩොලර් මිලියන 116.49ක මුදලක් එක් කර ඇති බව බොහෝ දෙනකු නොදන්නා බව සහතිකය. රටේ පාලකයාට ඒ බව නොදැනේනම් අනෙකුන් ගැන කවර කතා ද ?

තේ කර්මාන්තය හා සම්බන්ධ ශ්‍රමිකයන් අතරින් මුල් තැනක් ගන්නේ වතු කම්කරුවන් ය. ඔවුහු අර්ධ වහලුන් ලෙස වසර දෙසීයයක් පුරා නිසි වැටුපක් නොලබමින්, සූරා කෑමට ලක්වෙමින් සිටිති. ඔවුන් සැලකෙන්නේ දකුණු ඉන්දීය කුල ධුරාවලියේ පහළම ස්ථරවලින් ප්‍රභවය වූ පිරිසක් ලෙසය. 1927 දී භූ විෂමතා සාධක හා තේ වගාව ව්‍යාප්ත වී ඇති ආකාරය පදනම් කර ගනිමින් වතු කම්කරුවන් උඩරට, මැදරට, පහත රට ලෙස කලාප තුනකට බෙදා වෙන් කෙරිණි. ඉන් පසු තේ වගාව විශාල ලෙස ව්‍යාප්ත වී ඇති ප්‍රදේශය සේම වැඩි කම්කරුවන් ප්‍රමාණයක් ජීවත් වන උඩරට වතුකරය හා කම්කරුවන්ගේ ගැටලු පිළිබඳ නොයෙක් වර විවිධ මාධ්‍ය ඔස්සේ සාකච්ඡාවට ගැනුණ ද, පහත රට වතු කම්කරුවන්ගේ ගැටලු කිසිවකුගේ ඇස ගැටෙන්නේ නැත.

බොහෝ කම්කරුවෝ ආහාර, නිවාස, සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා හෝ සපුරාගත නොහැකිව දිවි ගෙවන්නෝය. වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව විඳින දුක් කරදර අපමණය. ඉනිදු ප්‍රධාන වන්නේ ආහාර සම්බන්ධ ගැටලුවය. මේ අසරණ මිනිසුන්ට ආහාර සපයා ගැනීමේ දුෂ්කරතා සහ ප්‍රමාණවත් නොවීම අර්බුදයට මුහුණ පා සිටින අන් කවරෙකුටවත් වඩා දුෂ්කර වී තිබේ.

යුනිසෙෆ් සංවිධානයට අනුව දකුණු ආසියාවේ වයස අවුරුදු 5 ට අඩු ළමුන් අතර උග්‍ර මන්දපෝෂණ අනුපාතය ඉහළම දෙවන රට ශ්‍රී ලංකාවයි. යුනිසෙෆ් සංවිධානයේ මෙරට ප්‍රකාශක බිස්මාර්ක් ස්වංගින් පවසන ආකාරයට ආර්ථික අර්බුදය හේතුවෙන් පවුල් 10 කින් 7 ක්ම ආහාර ගැනීම අඩු කර ඇත. ඔහුගේ නිරීක්ෂණයට අනුව, වේල් තුනක් ආහාර ගත් පිරිස එය දෙකකට අඩු කර ඇති අතර, වේල් දෙකක් ආහාර ගත් පිරිස එය එකක් දක්වා අඩු කර ඇත.

රක්වාන ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පාලිකාවක් ලෙස කටයුතු කරන එස්. භක්තගෞරීට මේ තත්ත්වය ‘සජීවී’ උදාහරණ සහිතව පැහැදිලි කර දීමේ හැකියාව තිබේ.

“මේ මධ්‍යස්ථානයේ අවුරුදු පහට අඩු ළමයි 48ක් ඉන්නවා. හැමදාම ළමයි හතළිහක් වගේ එනවා. එයාලා උදේ කෑම එක අරගෙන එනවා. ළඟකදි ඉඳන් අපි දවල් කෑම දෙනවා. මොකද අපි මෙයාලගෙ බර කිරද්දි දැක්කා ටික කාලයක ඉඳන් දරුවන්ගේ බර ගොඩාක් අඩු වෙලා. මේ ගැන මේ වසමේ පවුල් සෞඛ්‍ය සේවිකාව දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කළත් ඒක සාර්ථක වුණේ නෑ. ඒක නිසා වත්තෙන් මුදලක් ලබා දෙනවා දවල් ආහාරය වෙනුවෙන්. නමුත් අපි දැන් තවත් ප්‍රශ්නයකට මැදි වෙලා. මොකද දිවා ආහාරය වෙනුවෙන් ඇස්තමේන්තු සකස් කරන අවස්ථාවේ තිබුණු බඩු මිලට වඩා දැන් තුන් ගුණයකින් පමණ බඩු මිල වැඩි වෙලා. ඒ නිසා ලැබෙන මුදල ප්‍රමාණවත් නෑ. සතියේ දවස් දෙකක් විතර වටපිටාවෙන් හොයාගන්න කොස්, දෙල්, අල, බතල වගේ දෙයක් තමයි දෙන්නෙ. පුංචි දරුවෝ ඒ වගේ දේවල් කන්නෙ කැමැත්තකින් නෙවෙයි. මොකද එයාලට ගෙවල්වලදී කන්න ලැබෙන්නෙත් ඒ වගේ දේවල්ම නිසා.

බිත්තර, මස්, මාළු වගේ දේවල් උදේ කෑම එකට දාන්න එපා කියලා අපි දෙමාපියන්ට කියලා තියෙන්නේ. මොකද ඒවා මෙතන ඉන්න ගොඩාක් දරුවන්ට කන්න ලැබෙන්නේ නෑ. එක දරුවෙක් එහෙම දෙයක් ගෙනාවම අනිත් දරුවො ඒ දේවල් මගෙන් ඉල්ලලා අඬනවා. එහෙම නැත්නම් ඒ ළමයව වට කරගෙන පොඩ්ඩ පොඩ්ඩ ඉල්ලන් කනවා. දවාලට එහෙම දෙයක් දෙන්නත් මේ මුදල ප්‍රමාණවත් නෑ. ඒ වගේ දෙයක් කන්න වෙන්නේ මේ ළමයින්ට රෑ වේලට විතරයි.”

භක්තගෞරී මේ කියන්නේ වයස අවුරුදු පහට අඩු දරුවන් අතර පවතිනවා යැයි කියන මන්ද පෝෂණ තත්ත්වය ගැනය.

රාත්‍රී ආහාර වේල ගැන භක්තගෞරී පැවසුවේ ඇත්තක් වන නමුත් තත්ත්වය ඊට වෙනස්ය. කුසගින්න දරාගත නොහැකිව ඊට පෙරදා රාත්‍රිය පුරා ආහාර සොයමින් ගෙයින් ගෙට ගිය අවුරුදු 2- 6ත් අතර වයසේ වූ කුඩා දැරියන් දෙදෙනෙක් එහි සිටියහ. ඔවුනගේ මුහුණෙහි ශරීරයේ සීරීම් තුවාල, දක්නට ලැබිණි. පහර කෑම් සලකුණු සහිත කුඩා දැරිවියන් දෙදෙනාගේ නිවෙසෙහි වැඩිහිටියන් පස් දෙනකු ජීවත් වන්නේය., අසල්වැසියකු අප සමග කීවේ, ඔවුන් උපයන සොච්චම නිරන්තරයෙන්ම නීති විරෝධී මත්පැනට දිය කර හරින බවය. එහෙයින්ම, රාත්‍රිය පුරා දැරියන් දෙදෙනා ජීවත් වන්නේ අනාරක්ෂිත පසුබිමක බව අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත.

මතුගම, අගලවත්ත, රත්නපුර, දැරණියගල, රක්වාන යන ප්‍රදේශවල ජීවත් වන පහත රට වතු කම්කරුවන්ගේ පවුල් පසුබිම පිළිබඳ අහඹු ලෙස ලබා ගත් තොරතුරු අනුව මව, පියා දෙදෙනාම සිටින පවුල් ඇත්තේ දහයට එකක් පමණි. ඇතැමුන් ජීවන බර දරාගත නොහැකිව සිය දිවි හානි කරගෙනය. ඇතැමුන් පවුල අතහැර ගොසිනි. බොහෝ මව්වරු දරුවන් ඔවුන්ගේ මව්වරු ළඟ තබා දුර බැහැර හෝ විදෙස් රැකියා සඳහා පිටත්ව ගොසිනි.

“අපි ඉස්සර වැඩ කළේ වත්තෙ. දැන් වත්තෙ වැඩ නෑ. තවම විශ්‍රාම වැටුප් ලැබුණේ නෑ. ඒ නිසා මගේ මහත්තයා බදු පදනම යටතේ වත්තෙ කොටසක වැඩ කරනවා. ඒකෙන් මාසෙට රුපියල් පහළොස් දහසක් ලැබෙනවා. අපේ පවුලෙ පස් දෙනෙක් ඉන්නවා. මහත්තයා විතරයි වැඩ කරන්නේ. මගේ මහත්තයාට වයසයි, එයාගෙ කකුල් දෙකේම තුවාල. ඒත් ඉතින් එයා වැඩට යනවා. කෑම නැති දවසකට ළඟ පාත ගෙදරකින් කෑම ටිකක් ඉල්ලන් දරුවන්ට දෙනවා. රෑට කෑම නැති නම් අපි හැමෝම බඩ පිරෙන්න වතුර බීලා නිදාගන්නවා.”

දියණියගේ කුඩා දරුවන් තිදෙනාත් සමග දශක නවයකට පෙර තැනූ අඩක් ගරාවැටුණු ලයින් කාමරයක ජීවත් වන එස්.එච්. විමලාවතීත් (67), ඇගේ සැමියාත් විශ්‍රාම සුවයෙන් දිවි ගෙවිය යුතු වයසක පසුවන යුවළකි. එනමුදු තවමත් එදිනෙදා ජීවත් වීම සඳහා අවැසි මුදල් සොයා ගැනීමට විමලාවතීගේ සැමියා තවමත් වෙහෙස වී වැඩ කරන්නේ ය.

දුප්පත් වෙන්නටම සකස් වුණු සමාජ පසුබිම

වතුකරයේ ජනතාව ඔවුන්ට පාරම්පරිකව උරුම වන දිළිඳුකමත් ඒ හා බැඳුණු මන්ද පෝෂණ තත්ත්වය, පාසල් හැර යන දරුවන්, ළමා විවාහ, බාල වයස්කාර මව්වරු හා ඔවුන්ට ඇතිවන පෝෂණ ඌනතා, මත්ද්‍රව්‍ය භාවිතය යනාදිය සාමාන්‍ය තත්ත්වයන් ලෙස සලකන්නට පුරුදු වී සිටිති. මේ ප්‍රවේණිගත උරුම කරුමය ගැන රක්වාන ඩිප්ඩීන් පාසලේ උප විදුහල්පති ඇන්ජෙලා ජයරන්ජනී දක්වන අදහස් කවර මට්ටමේ හෝ වගකිවයුත්තෙකුගේ අවධානයට යොමු විය යුත්තකි.

උප විදුහල්පති ඇන්ජෙලා ජයරන්ජනී සේවය කරන්නේ මේ සටහනේ ප්‍රස්තුතය සමග එක එල්ලේම සම්බන්ධ වන පාසලකය. ඒ මීට වසරකට පමණ පෙර නාය යෑමේ සහ ගිලා බැසීමේ අවදානමක් ඇතැයි පවසා ඉවත් කර දැනට පෞද්ගලික ඉඩමක කෝවිලකට අයත් ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන රක්වාන ඩිප්ඩීන් පාසලේය.

කලකිරීම, ආවේගය මුසුව ඇය වචන වක්කඩ මුදා හරින්නීය …

“මේ පාසලේ ළමයි 103ක් හිටියා. බස් ගාස්තු වැඩි වීමත් එක්ක ළමයි 50ක් වගේ තමයි දැන් ඉස්කෝලෙට එන්නේ. මෙතන දැන් ඉතුරු වෙලා ඉන්නෙ පාසල අවටම ළමයි ටිකක්. දුෂ්කර පාසල් කාණ්ඩයට අයත් පාසලක් නිසා උදෑසන ආහාරය ලබා දෙනවා. උදේ කෑම ඉතුරු වෙලා තියෙනවා නම් ඒවා දවාලටත් දෙනවා. කෑම නොදුන්නා නම් මේ තරමටවත් ළමයි ඉස්කෝලෙ එන්නේ නෑ. අපි කතාවට කියනවනෙ “වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නෑ” කියලා. ඒත් ඇත්තටම වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය අය මේ වතුවල ඕන තරම් ඉන්නවා. උදේ, දවල් කෑම දුන්නට පාසල් එන ළමයෙක්ට තව මොනතරම් වුවමනා එපාකම් තියෙනවද? ගුරුවරු පුළුවන් විදියට උදව් කරනවා. ඒත් දැන් මේ ආර්ථිකයත් එක්ක ගුරුවරුන්ටත් අමාරුයි. සමහර වෙලාවට ගොඩාක් දක්ෂ ළමයි පාසල් එන එක නතර කරලා රස්සාවල් කරන්න යනවා. අපේ පාසලේ ඉන්න සමහර ළමයි රෑ වැඩ කරලා උදේට ඉගෙන ගන්න එනවා. නිදි කිරා වැටි වැටී පන්ති කාමරේ වාඩි වෙලා ඉන්නෙ. රස්සාවට යන්න එපා කියලා කියන්න අපිට පුළුවන් කමක් නෑ. මොකද එහෙම වැඩ කරන්න නොගියොත් එයාටත් එයාගෙ බාල සහෝදර සහෝදරියන්ටත් පාසලට එන්න විදියක් නෑ. එක ළමයෙකුට දවසකට බස් ගාස්තු රුපියල් දෙසීයයක් යනවා. ඒ ගෙදරින් ළමයි තුන් දෙනෙක් එනවා.

පිරිමි ළමයි අට, නවය වසරවලින් පස්සෙ රස්සාවකට යනවා, ගෑනු ළමයි විවාහ වෙනවා. මේ ළමයි කිසි කෙනෙක් හරියට ළමා කාලය විඳින්නෙ නෑ. බොහෝ දෙනකුට පාසලේ ගත කරන වෙලාවෙ විතරයි ළමයෙක් විදියට ඉන්න ලැබෙන්නෙ. ගෙදර ගියාට පස්සේ කුඩා දරුවො බලා කියාගන්න, දර වතුර අදින්න, උයන්න, දෙමාපියන් එක්ක එකතු වෙලා වත්තෙ වැඩ කරන්න සිද්ද වෙනවා.”

ඇයගේ දිගු කතාවේ සංක්ෂිප්තය එසේය.

සැළසුමක් නැති ජීවිත ගොන්නක අපැහැදිලි හෙට දවස

වතු කම්කරුවන් මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයට සමගාමීව සේම වතු හිමියෝද ගැටලු රාශියකට මැදිවන්නෝය. මේ වනවිට බොහෝ වතු හිමියෝ උග්‍ර කම්කරු හිඟයකින් පෙළෙති. ඒ හේතුවෙන් බොහෝ වතු හිමියෝ තේ වගාව අත් හැර දැමීමේ ප්‍රවණතාවක් මතුව තිබේ. ක්ෂේත්‍රයේ විවිධ ස්ථරයන්හි රැකියාවන් හි යෙදෙන සමහර පිරිස් දක්වන අදහස්ද වැදගත්ය. රටේ ආර්ථිකයට වහාල ශක්තියක් වන මේ දෙපාර්ශ්වයම ගැන ඔවුන්ට පැහැදිලි විග්‍රහයක් තිබේ.

වතුකම්කරුවන්ගේ ගැටලු සඳහා පිළියම් ඇත්තේ වතුකම්කරුවන් ළඟම බවත්, නැති බැරි මිනිස්සුන් ලෙස ඉපදුනද ඇති හැකි මිනිස්සුන් ලෙස ජීවත් වීමට අවැසි තරම් මුදල් ඔවුන් උපයන බවත්, එහෙත් ඔවුනට නැත්තේ මූල්‍ය කළමනාකරණය, අරමුණු, බලාපොරොත්තු හා සැලසුම් බව මේ මැදහත් පිරිසගේ අදහසය.

සමාජයට මඟ හැරුණු දේ

රටට ඩොලර් ගේන්න බඩගින්නට හුරුවූ මිනිස්සු

දිගු ඉතිහාසයක් සමග බද්ධ වී ඇති මේ කතාවේ අගමුල නිවැරදිව කිව හැක්කේ ඒ දිගු ඉතිහාසය මෙන්ම සමාජ, මානව ක්‍රියාකාරකම් පිළිබඳ සංවේදී පුද්ගලයකුටය. වතු පරීක්‍ෂකවරයෙක් වන සුගත් නිශාන්ත මහතා වතුකම්කරුවන් සහ ඒ හා බැඳුනු අර්බුදයන් ගැන කියන කතාබහ වටින්නේ එබැවිනි.

“වතුකරය ලංකාව තුළ මිනිස් වෙළෙඳාම තවමත් සක්‍රීයව පවතින, ඒ වෙනුවෙන් තැරැව්කරුවන් සිටින ක්ෂේත්‍රයක්. මොවුන් උත්සව සාද පවත්වන්න බොහොම කැමතියි. අපි කියන්නෙ පිට ඔපය කියලා අන්න ඒ දේ මෙයාලගෙ සෑහෙන්න වැඩියි. හම්බකරන සේසතම වෙන් කරන්නේ කෑම බීමටත්, ඇඳුම් පැළඳුම් වලටත්. බොහෝ දෙනකුට උත්සව අවස්ථාවකට වියදම් කරන්න කියලා අතේ මුදලක් නෑ. වතු හිමියගෙන් ණයක් ගන්නවා නැත්නම් රත්තරන් බඩුවක් උකස් කරනවා. වතුහිමියෙක්ට කම්කරුවෝ ඕන නම් තැරැව්කරුවෙක්ට කියලා ණය තියෙන කම්කරුවෙක් හොයාගන්නවා. ඊට පස්සේ ඒ වතු හිමියා අනිත් වතුහිමියට ණය සල්ලි ටික දීලා කම්කරුවා අරන් යනවා. වතු කම්කරුවන්ගේ සංස්කෘතිය පිටත ඉඳන් බලනවාට වඩා ගොඩාක් වෙනස්. අපි හිතන්නෙ ඒ නූගත්කම කියලා. නමුත් ඒ සංස්කෘතිය ඇතුළෙ උගත්, නූගත් කියලා වෙනසක් නෑ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුව අයත් වතුවල ඉන්නවා. ඒත් ඒ හැමෝම එක රාමුවක් ඇතුළට කොටු වෙලා ඉන්නෙ. මොකද වතු කර්මාන්තය ආරම්භ කරපු බි්‍රතාන්‍යය පාලකයෝ වතු කම්කරුවෝ අතර බැඳීම් ඇති වෙන්න ඉඩ හැරියෙ නෑ. මොකද බැඳීම් ඇති වුණොත් පාලනය කරන්න අපහසුයි. අවාසනාවකට තවමත් මේ කම්කරුවෝ බි්‍රතාන්‍යය පාලකයෝ හැදුව රාමුව ඇතුළට වෙලා ඉන්නෙ. එදා උපයපු දේ එදාම කාලා අනාගතයක් ගැන නොහිතා ජීවත් වෙනවා. තමන්ගේ කියන කිසිම දෙයක් ගැන වටිනාකමක් නෑ. තමන්ගේ පවුල ගැන පවා තියෙන්නේ ඒ වගේ ආකල්පයක්. බොහොම සුළු සිද්ධීන් නිසා තමන්ගේ ජීවිතය, පවුල, නිවෙස අතහරිනවා. බොහෝ වතුකම්කරුවන් බිඳුණු මිනිස්සු. ඔවුන් අතින් බොහෝ විට නිර්මාණය වෙන්නෙත් බිඳුණු දරුවො. වතුකරයේ ඉන්න 90%ක් විතරම ජීවිතේ එක් වරක් හෝ තමන්ගේ පවුලෙ සමීපතමයන් අතින් හෝ වතු පාලකයන් අතින් අපයෝජනයට ලක් වෙලා. චක්‍රයක් විදියට යන ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්න අමාරුයි. පහසුකම් ලබා දෙනවාටත් වඩා අපි කරන්න ඕන ආකල්ප වෙනස් කරන්න. අපි ඒ දේ නොකළ නිසා තමයි කොපමණ පහසුකම් ලබා දුන්නත් අවුරුදු දෙසීයයක් තිස්සේ ඒ මිනිස්සු එකම තැනක නතර වෙලා ඉන්නෙ. ඒක වතු කම්කරුවන්ගේවත්, වතු හිමියන්ගේවත් වරදක් නොවේ. මුළු මහත් සමාජයටම අතපසු වුණ දෙයක්.”

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment