ඉන්දීය විදේශ ඇමැති එදා සාමසාධක හමුදාවේ දේශපාලන උපදේශකවරයාය

246

1987 දී ශ‍්‍රී ලංකාවට ගොඩබට මේජර් ජෙනරාල් ශියෝනන් සිං මහතා තිස් වසරකට පසු නැවත ශ‍්‍රී ලංකාවට පැමිණියේ 2017 වසරේය. ඔහු උතුරුකරයේ සංචාරය කරන අතරතුර බීබීසී හින්දි සේවයේ විනීත් ඛාරේ සමග සිය මතකය අවදි කර තිබිණි. ‘‘අපේ හමුදා බල ඇණි බොහොමයක් මෙහෙට ආවේ පතුරම් නොමැතිව. සාම මෙහෙයුමකට ඒවා ඕන වෙන එකක් නැහැ කියල හැමෝම හිතුවේ. ‘‘මුලින්ම වෙඩි වැදිලා මරණයට පත්වුණු මගේ සොල්දාදුවා තමයි ලක්ෂ්මි චාන්ද්. ඒ වෙලාවේ ලංකාවේ හමුදාව හෙලිකොප්ටර්වලින් ඇවිත් වෙඩි තියල අපට සහයෝගය දුන්න. ඒත් අපි ස්ථානගත වුණු එක් නිවසක් මතට එක පාරටම බෝම්බයක් වැටුන. ඒ බෝම්බෙන් උමේෂ් පාන්ඬේ මැරුණා.” ශියෝනන් සිං අතීතය සිහිපත් කරමින් කියා සිටියේ එම බෝම්බය පතිත වූ ස්ථානය නිශ්චිතව පෙන්නුම් කරමිනි. මේ අතීතය සිහිකරනු ලැබුවේ කවර හේතුවක් නිසාද? පසුගිය සතියේ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ‍්‍රමනියම් ජයිෂන්කර් දින තුනක් ලංකාවේ සංචාරය කළ නිසාය. ඔහු හා ඉන්දීය සාම සාධක හමුදාව අතර ඇති සම්බන්ධය කුමක්ද? ඔහු 1988 සිට 1990 දක්වා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ලෙස සේවය කළ අතර ඉන්දීය සාම සාධක හමුදාවේ දේශපාලන උපදේශකවරයා විය. ඇත්තෙන්ම ශ‍්‍රී ලංකාව සමඟ ජයිෂන්කර්ගේ පුද්ගලික සම්බන්ධයක් ඇත. ලංකාවේ උතුරුකරය ඉන්දියාවට ‘වියට්නාමයක්’ වූ බව නොරහසකි. එනිසාම ඉන්දීය සෙබළුන් 1300කට දිවි පුදන්නට සිදුවිය.

වත්මන් ඉන්දීය විදේශ ඇමැතිවරයා ලංකාව ගැන හොඳ අවබෝධයක් ඇත. ඔහුගේ බිරිඳ ජපාන බෞද්ධ කතකි. දෙමල, හින්දි, රුසියානු හා ඉංග‍්‍රීසි භාෂාවන් චතුර ලෙස කතා කළ හැකිය. පසුගිය සතියේ ඔහු බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වූ අතර රාජපක්ෂ ආණ්ඩුවේ ඉහළම නායකයාගේ සිට දෙමළ සන්ධානය දක්වා විවිධ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීය. ජයිෂන්කර් මහතා ඖෂධ හිඟය හේතුවෙන් පේරාදෙණිය රෝහලේ නියමිත ශල්‍යකර්ම නතර කර හදිසි සැත්කම් පමණක් සිදු කරන පුවත දුටුවේය. මේ පුවත දුටු ඔහු වහාම මේ රෝහලට උදව් කරන්නේ කෙසේදැයි සොයා බලන ලෙස ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේට උපදෙස් දුන් බව ඔහුගේ ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණි. ඒ ඔහු කොළඹ පමණක් නොව රටම දන්නා නිසාය. සුබ‍්‍රමනියම් ජයිෂන්කර් උපත 9 ජනවාරි 1955 දිල්ලියේ උපත ලැබුවේ දෙමළ පවුලක දරුවෙකු ලෙසිනි. 2019 මැයි 31 සිට ඉන්දීය රජයේ වත්මන් විදේශ කටයුතු අමාත්‍යවරයා වන ඔහු ඉන්දීය රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු සහ දේශපාලනඥයෙකි. 2019 සිට අගමැති නරේන්ද්‍ර මොදිගේ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රබලම විදේශ ඇමැති තනතුර දරන ඔහු මීට පෙර 2015 ජනවාරි සිට 2018 ජනවාරි දක්වා ඉන්දීය විදේශ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.

මේ අතර භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සුබ‍්‍රමනියන් ස්වාමි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්ගේ ශ‍්‍රී ලංකා සංචාරයේදී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් විවේචනය කර ඇත. සිය ට්විටර් ගිණුම හරහා සුබ‍්‍රමනියන් ස්වාමි පවසා ඇත්තේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන පිරවුම්හලකට ගොස් නිරීක්ෂණය කිරීම විදේශ ඇමැතිවරයකු ලෙස කොතරම් සුදුසුද යන්නයි. ‘මෑත සංචාරයේදී ඔහු කොමසාරිස්වරයෙකු මෙන් කොළඹට ගොස් සැරිසැරූ බව” බවත් ලංකා ආණ්ඩුව ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීමට කටයුතු කරද්දී විදේශ ඇමැතිවරයා දෙරටේ සබඳතා පළුදු කිරීමට කටයුතු කරන බව සුබ‍්‍රමනියන් ස්වාමි චෝදනා නගා තිබිණි. ඇත්තෙන්ම සුබ‍්‍රමනියන් ස්වාමි මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ ඉන්දීය රජය හා ලංකාව සමග ඇති කිට්ටු සබඳතා දුරස් කරනු ලැබුවේ ජයිෂන්කර් විදේශ ඇමැති හා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් විසින් බවයි. මේ වසරේ මුලදී ආචාර්ය සුබ‍්‍රමනියන් ස්වාමි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබුණේ ලංකා ආණ්ඩුව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඩොලර් බිලියන දහයක් ලබා දෙන ලෙසයි. ඉන්දීය විදේශ අමාත්‍යාංශය මෙහෙයවන්නේ බ‍්‍රාහ්මණයන් විසිනි. ජයිෂන්කර් විදේශ ඇමැතිවරයාද දෙමළ බ‍්‍රාහ්මණයෙකි. බ‍්‍රාහ්මණ උපාය කිසිම විටක ලංකාවට හිතවත් යැයි කිව නොහැකිය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment