නැවතුනා කිව්වට තාමත් හොරෙන් හොරෙන් දුවන උණ්ඩියල් ජාවාරම

1058

ගිය වසරේ විදේශ ප්‍රේෂණ අඩකින් පහළට

ජාවාරම්කරුවන්ට පාවඩ එලන උණ්ඩියල්

වැඩිපුරම ජාවාරම කරන්නෙ නැගෙනහිර පළාතේ ව්‍යාපාරිකයන්

උණ්ඩියල්වලින් එවන මුදල් ජාවාරම්කරුවන් කොල්ලකෑමේ අවදානමක්

පසුගිය අරගල සමයේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය හරි අඩකටත් වඩා පහළ යෑම දක්නට ලැබිණි. මාසිකව ඩොලර් මිලියන 500 කට ආසන්නව ලැබුණු විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 250 දක්වා පහළ යෑම දක්නට ලැබිණි. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ මෙරට බංකොලොත් රාජ්‍යයක් වීමයි. මේ සඳහා බලපෑ කරුණු රාශියක් වේ.

පසුගිය කාලය මෙරට ජනතාවට විවිධ අත්දැකීම් ලබාගැනීමට හැකියාව ලැබුණු කාලයකි. එසේ සාමාන්‍ය ව්‍යවහාරයේ නිතර භාවිත නොවන වචන කීපයක්ද අසන්නට දකින්නට ලැබිණි. මේ සියල්ල සිදුවුණේ රට තුළ ඇතිවූ අර්බුදකාරී වාතාවරණයත් සමගය. අප රට තුළ පවතින්නේ සියලු සැප සම්පතින් පිරුණු ජීවන රටාවක්වත් කිසිදු අර්බුදයකින් තොර ආර්ථිකයක්වත් නොව යාන්තම් එදාවේල ගැටගසාගන්නා යැපුම් ආර්ථික රටාවකි. ඒ තුළ විශාල නිෂ්පාදනයක් සිදු නොවේ. රටක දියුණුවට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය තිබියදී එයින් භාණ්ඩ නිෂ්පාදනය කර රට යවා ඩොලර් උපයනවා වෙනුවට විදේශිකයන් පැමිණියහොත් හෝ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඩොලර් එව්වොත් යන හැඟීමෙන් බලාසිටින රටක් බවට මෙරට මේ වනවිට පත්වී තිබේ. ජාතික කොඩියේ, බෞද්ධ කොඩියේ පවා සටහන් කර ඇත්තේ made in Chaina යනුවෙනි. මෙරටින් අපනයනය කරන සුළු භාණ්ඩ ප්‍රමාණයටත් අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන්නේ පිටරටිනි.

මේ හැම භාණ්ඩයක්ම ආනයනයට මුදල් අවශ්‍යය. ඒ රුපියල් නොව ඇමරිකන් ඩොලර්ය. මෙරටින් අපනයනය කරන භාණ්ඩවලට ලැබෙන ඩොලර් ප්‍රමාණය භාණ්ඩ ආනයනයට ප්‍රමාණවත් නොවේ. ඒ අඩුව බොහෝ සෙයින් පුරවන්නේ සංචාරක කර්මාන්තයෙන් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන විදේශ විනිමය හරහාය. නමුත් පසුගිය සමයේ රටවිරුවන්ගෙන් ලැබුණු දායකත්වය ඉතා පහළ මට්ටමක පැවතුණි. ඒ සඳහා හේතු ගණනාවක්ම බලපා තිබිණි.

මෙරට විදේශ ප්‍රේෂණ අඩුවීමට හේතු කාරණා කීපයක්ම බලපෑවේය. එයින් එක් හේතුවක් වූයේ රට තුළ පැවැති ව්‍යාකූල දේශපාලන වටපිටාවයි. මේ නිසා බොහෝ දෙනෙක් මෙරට සිටින තම ඥාතීන්ට මුදල් එවීම සීමා කළේය. ඒ දේශපාලනඥයන් හොරා කාවි යන සැකය මතය. මේ නිසා බොහෝ දෙනෙක් මුදල් එවීම සීමා කළේය.

මීට අමතරව මෙරට බැංකු පද්ධතිය හරහා මුදල එවීම නතර කර වෙනත් මාර්ගවලට යොමුවූ ආකාරයක්ද දක්නට ලැබිණි. එයින් බලාපොරොත්තු වූ කාරණා කීපයෙන් ප්‍රධාන වශයෙන් බලපෑවේ මෙරට බැංකු පද්ධතියෙන් ගෙවන මුදලට වඩා වැඩි මුදලක් වෙනත් ක්‍රම වලින් ඔවුන්ට විදෙස් මුදල් එවීමේදී සඳහා ලැබීමයි. මීට අමතරව දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්විය යුතු යන ස්ථාවරයේ සිටද යම් කොටසක් මෙම නීති විරෝධී ක්‍රම හරහා විදෙස් මුදල් එවීමට තීරණය කළේය. ඒ මෙරට දේශපාලනඥයන් මේ පිස්සු කෙළින්නේ තමන්ගේ සල්ලිවලින් වන බැවිනි.

රු. 203 ක අගයක නොවෙනස්ව ඇමරිකන් ඩොලරය ඇද බැඳ තබාගැනීමත් සමගම මෙරට විදෙස් සංචිත බින්දුවට හිඳී යෑමක් සිදුවුණි. ඒත් සමගම සිදුවූයේ ලැබුණු මුදල් ප්‍රමාණයද රටවිරුවන්ගෙන් නොලැබී යෑමයි. ඊට හේතුව උණ්ඩියල් හා හවාලා ක්‍රම මගින් මුදල් එවීමේදී මෙරට බැංකු පද්ධතියට වඩා රුපියල් 30-40 ක වැඩි මුදලක් ගෙවීමයි.

● මොකක්ද? මේ උණ්ඩියල්

ඔබ විදෙස් රටක සේවය කරනවානම් හෝ විදෙස් රටක සිටිනවානම් මෙරටට මුදල් එවීමට හැකි, නමුත් නීති විරෝධී මුදල් හුවමාරු ක්‍රමයකි උණ්ඩියල්. එවැනි මුදල් හුවමාරු නියෝජිතයන් මේවනවිට සෑම රටකම පාහේ සිටී. මෙම මුදල් හුවමාරු ක්‍රමයේදී සිදුවනුයේ එවන් නියෝජිතයකු හමුවට ගොස් ඔබ මෙරට සිටින තම නිවසට මුදල් එවීමට අවශ්‍ය බව පැවසූ විට ඔවුන් කරනුයේ ඔබ දෙන ඩොලර් හෝ ඔබ සතු විදෙස් මුදල් ප්‍රමාණයට මෙරට පිළිගත් බැංකු පද්ධතිය මගින් හෝ පිළිගත් විදෙස් මුදල් හුවමාරු කරන නියෝජිතයන්ට වඩා වැඩි මුදල් ඔබගේ නිවසට ලැබීමට සැලැස්වීමයි. ඒ ඔබගේ මෙරට සිටින පවුලේ අයෙකුගේ බැංකු
ගිණුමට මුදල් තැන්පත් කිරීම මගිනි. ඒ රුපියල්වලිනි. මේ මගින් ඔබට වැඩි මුදලක් ලැබෙනවා සේම වැඩි රස්තියාදුවකින් තොරව මෙන්ම ලියකියවිලි පිරවීමකින් තොරව තම කාර්යය ඉටුකරගත හැක.

● හවාලා කියන්නේ මොකක්ද?

හවාලා ක්‍රමය යනු අද ඊයේක බිහිවූ මුදල් හුවමාරු ක්‍රමයක් නොවේ. එය 8 වන ශතවර්ෂයේදී ඉන්දියාවෙන් ආරම්භ වූ මුදල් හුවමාරු ක්‍රමයකි. සේද මාවතේ ගමන් කළ මුස්ලිම්වරුන් හා ඉන්දියානුවන් අතර සිදුවූ මුදල් ගනුදෙනු ආරක්‍ෂකාරීව සිදුකර ගැනීමට හවාලා ක්‍රමය ආරම්භ කොට ඇත.

හවාලා ක්‍රමය යටතේ මුදල් හුවාමරුව සිදුවන්නේ මේ ආකාරයටය. ඔබ සිටින්නේ විදෙස් රටකනම් මෙරට සිටින තම ඥාතීන්ට හෝ හිතවතුන්ට මුදල් එවීමට මෙම ක්‍රමයද භාවිත කරයි. මෙයද නීති විරෝධී මුදල් හුවමාරුවකි. එහිදී ඔබ හවාලා නියෝජිතයෙකු හමුවී ඔබට මෙරටට මුදල් එවීමට අවශ්‍ය බව පැවසූ විට ඔහු කරන්නේ ඔබ සතු විදෙස් මුදල් ලබාගෙන ඒ වෙනුවට ඔබට රහස් කේතයක් (Password) ලබාදීමයි. එසේත් නැතිනම් වෙනත් විස්තරයක් ලබාදීමයි. ඔබ කළ යුතු වන්නේ මුදල ලැබිය යුතු පුද්ගලයාට එම රහස් කේතය (Password) හෝ විස්තරය ලබාදීමයි. ඒත් සමගම මෙරට සිටින හවාලා නියෝජිතයා හට විදෙස් නියෝජිතයා විසින් එම රහස් කේතය හෝ විස්තරය ලබාදීම සිදුකරයි. ඉන්පසු මෙරට නියෝජිතයා මුදල ලැබිය යුතු නිවසට පැමිණ එම රහස් කේතය (Password) හෝ විස්තරය විමසා එම විදෙස් මුදලට ගැළපෙන ලෙස රුපියල් වලින් මුදල් ගෙවනු ලැබේ. මෙහිදී ද විධිමත් බැංකු හෝ මුදල් හුවමාරු පද්ධතියට වඩා රුපියල් 30-40 ක මුදලක් ගෙවනු ලැබේ. මේ ක්‍රමයද මුදල් ලබන්නාට වාසිදායකය.

● උණ්ඩියක් හා හවාලාවල ඇති අවාසි

උණ්ඩියල් හෝ හවලා යන ක්‍රම දෙකෙන් මුදල් හුවමාරු කිරීමේදී වැඩි මුදලක් දෙන බව පැවසුවත් යම්කිසි අවස්ථාවක ඔබ සතු මුදල් ලබාගෙන ඒ වෙනුවට මුදල් ලැබිය යුතු පුද්ගලයාට මුදල් ගෙවීම පැහැර හැරියොත් අදාළ පාඩුව තමන් විසින් දරාගත යුතුය. එසේම මෙම නීති විරෝධී මුදල් හුවමාරු ක්‍රම තුළ ලිපි ලේඛන ආදිය භාවිත නොකරන අතර නීතිය ඉදිරියට යෑමටද බැරිවන්නේ මෙම ක්‍රම දෙක නීති විරෝධී මුදල් හුවමාරු ක්‍රම වන බැවිනි.

ඊට අමතරව මේ වනවිට ආණ්ඩුව විසින් මේ වනවිට වසරක් තුළ එවන විදෙස් මුදල් ප්‍රමාණය අනුව රටවිරුවන් සඳහා ක්‍රියාත්මක කරන විවිධ බදු සහන, වාහන ගෙන්වීමේ ෆර්මිට් ආදිය කිසිවකට මේ ආකාරයෙන් මුදල් එවීමෙන් හිමිකම් පෑමට නොහැකි වේ.

● උණ්ඩියල් හා හවාලාවල ඇති තර්ජනය

උණ්ඩියල් හා හාවාලා මුදල් හුවාමාරු ක්‍රම බොහෝ දුරට ක්‍රියාත්මක කරන්නේම නීති විරෝධී ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන්ය. එසේත් නැත්නම් ත්‍රස්තවාදී සංවිධාන හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ය. ඉන්දියාව, පකිස්තානය, ඩුබායි ආදී රාජ්‍යයන් වල සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුදල් හුවමාරු කරනු ලබන්නේ මෙම ක්‍රම මගිනි. එම රටවල සිටින කුඩු මුදලාලි විසින් ලබාගන්නා විදෙස් මුදල් වෙනුවෙන් මෙරට සිටින කුඩු ඒජන්තයන් රුපියල් සපයයි. ඒ වෙනුවට මෙරටට ලැබෙන්නේ රටක් දැයක් වනසන අති භයානක මත්ද්‍රව්‍ය ය.

එල්ටීටීඊ ත්‍රස්තවාදය පවතින කාලයේ අවිආයුධ මිලට ගැනීමට අවශ්‍ය මුදල් සපයනු ලැබුවේ මේ ආකාරයෙනි. අයිසිස්, තලේබාන් වැනි ත්‍රස්ත සංවිධාන මෙන්ම ලොව බොහෝ රටවල අවි ආයුධ ජාවරම අදටත් ක්‍රියාත්මක වන්නේ මෙම නීති විරෝධී මුදල් හුවමාරු ක්‍රම මගිනි. උණ්ඩියල් හා හවාලාවලට අමතර ෆෙයි කියන් හෝ චිට් සහ බ්ලැක් මාර්කට් පෙසෝ වැනි මුදල් හුවමාරු ක්‍රම භාවිත වේ.

මීට අමතරව රටවල් අතර ක්‍රියාත්මක වන රන් ජාවාරම හා ඖෂධ මාෆියාවද මෙම මුදල් හුවමාරු ක්‍රම භාවිත කරයි. ඉන්දියාවේ සිට රන් ජාවාරම ක්‍රියාත්මක කරන්නේ මේ හරහාය. ඔබ දැනුවත්ව හෝ නොදැනවත්ව ඔබේ මුදල් මාරු කිරීම හරහා දායක වී තිබෙන්නේ මෙවැනි නීති විරෝධී ජාවාරම් සඳහාය.

මෙම ජාවාරමේ වැඩිපුරම නිරතවන කූට ව්‍යාපාරිකයන් පිරිසක් මේවනවිට හඳුනාගෙන තිබේ. පසුගිය කාලයේ මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් මෙරටදී වැඩිපුරම මාරුකරනු ලැබුවේ අක්කරේපත්තු, සමන්තුරේ වැනි නැගෙනහිර පළාතේ සිට ක්‍රියාත්මක වන ව්‍යාපාරිකයන්ය. ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවල සිට ක්‍රියාත්මක වන ව්‍යාපාරිකයන් නැතුවාම නොවේ. සහරාන් හෂීම්ලා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සඳහා අවශ්‍ය අවි ආයුධ සපයා ගනු ඇත්තේ මෙවන් නීති විරෝධී මුදල් හුවමාරු ක්‍රම හරහා විය හැක.

මෙම නීති විරෝධී මුදල් හුවමාරු ක්‍රම හරහා සිදුවන තවත් ජාවාරමක් වන්නේ මැණික් ව්‍යාපාරයයි. මැණික් ක්‍ෂේත්‍රයේ සිටින බොහෝ කූට ව්‍යාපාරිකයන් ආණ්ඩුවේ ඇසට වැලි ගසමින් මෙවැනි ක්‍රම හරහා තම ව්‍යාපාර සිදුකරනු ලබයි.

මෙහි ඇති වඩාත්ම අවදානම් සහගත කරුණ වන්නේ ඔබ කොයි මොහොතක හෝ ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවකු වීමට ඇති හැකියාවයි. ඔබ නොකළ වරදකට, ත්‍රස්තවාදයට උදව් කළා යන චෝදනාව යටතේ ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසියේ අත්අඩංගුවට පත්විය හැක.

මුලදී ආසියාව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ මෙවන් මුදල් හුවමාරු ක්‍රම මේ වනවිට ඉතාලිය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය මෙන්ම යුරෝපා සංගමයට අයත් බොහෝ රටවල සිටද, තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ක්‍රිප්ටො කරන්සි භාවිත කරමින්ද උණ්ඩියල් හා හවාලා ක්‍රියාත්මක වේ.

● ආණ්ඩුවට සිදුවන බලපෑම

මෙවන් නීති විරෝධී ක්‍රම හරහා ජනතාව මුදල් එවීමට පටන් ගැනීමත් සමඟ මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ පහළ යෑම සිදුවේ. ආණ්ඩුවට ලැබිය යුතු ආදායම අහිමිවී යෑම නිසා මෙරට ණය ගෙවා ගැනීමට නොහැකිවීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන ආදිය ගෙන්වීමට මුදල් නොමැතිවීම ප්‍රධාන වශයෙන් බලපායි.

උණ්ඩියල් හා හවාලා ක්‍රමය යටතේ මුදල් හුවමාරු කිරීම ගැනෙන්නේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන වරදක් ලෙසය. මේ යටතේ ඔබ මොනයම් හෝ වරදකට මහාධිකරණය විසින් වැරදිකරු කළහොත් වසර 5 සිට 20 අතර සිරදඬුවමක් ලබාදීම, දේපළ රාජසන්තක කිරීම, දේපළ වටිනාකම මෙන් තුන් ගුණයක් දඩ නියම කිරීම වැනි දඬුවමකට යටත් වේ.

සුළු ලාභයක් ලබා ගැනීම සඳහා ගොස් ඔබ සතු මුදලුත් නැති කරගෙන එම මුදල මෙන් තුන් ගුණයක දඩයකට යටත් වී සිර දඬුවම් ලබනවාද? එසේත් නැතිනම් පිළිගත් බැංකු පද්ධතිය හරහා මේ රටට මුදල් එවා රටේ සමස්ත ජනතාවගේ අවශ්‍යතා සඳහා දායක වනවාද යන්න තීරණය කිරීම ඔබ සතු කාර්යයකි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment