සතුන් වත්තේ පොත්ත සුදු නෝනට ගෙදර යන්න වුණේ ඇයි?

1086

පසුගිය මාස කිහිපය තුළ වාර්තාගත ආදායමක්

කාබනික පොහොර ව්‍යාපෘතියක් මුල්කර ගනිමින් ගැටුම ආරම්භ වෙයි

ආණ්ඩුවට හිතවත් වෘත්තීය සමිතියක් හේතුවෙන් පරිපාලනය අවුලෙන් අවුලට

වැරදිකරුවන් තවදුරටත් සේවයේ

අධ්‍යක්‍ෂ ජනරාල්වරිය තනතුරින් ඉවත් කරයි

ජාතික සත්වෝද්‍යානය පිළිබඳ පසුගිය මාස කීපය පුරා විවිධ පුවත් වාර්තා විය. ඒ හරහා වාර්තා වූ කරුණු එතරම් යහපත් ඒවා නොවීය. සත්වෝද්‍යානය තුළ ක‍්‍රියාත්මක එක්තරා වෘත්තීය සමිතියක් එහි නොනිල පාලනයක් ගෙනයන අයුරුත් එමගින් රාජ්‍ය දේපළ සහ මුදල් අවභාවිත වන අයුරුත් එම පුවත් මගින් දිගින්දිගටම වාර්තා විය. ඊට විසඳුමක් ලෙස වත්මන් රජය විසින් නව අධ්‍යක්‍ෂ ජනරාල්වරියක් පත්කිරීමෙන් පසු ඇයගේ රාජකාරියට එරෙහිව ඉහත සඳහන් වෘත්තීය සමිතිය අවි ඔසවන අයුරුත් එම පුවත් මගින් වැඩිදුරටත් වාර්තා කරන්නට විය. කෙසේ වෙතත් එම අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙතෙක් දිනක් එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ ශර්මිලා රාජපක්‍ෂ මහත්මිය ඉවත් කොට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු පත්කොට ඇත. ඉකුත් 31 දා නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන අතර ජාතික සත්වෝද්‍යාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ රාජකාරිය නිසියාකාරයෙන් ඉටු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ශර්මිලා රාජපක්‍ෂ මහත්මියට ගෙදර යෑමට සිදු වූ බවත් කලක් තිස්සේ සත්වෝද්‍යානයේ පරිපාලනය ඇතුළු සියලූ කටයුතු දේශපාලනීකරණය වී ඇති බවත්ය.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ශර්මිලා රාජපක්‍ෂ එම තනතුරේ රාජකාරි ආරම්භ කරනු ලබන්නේ 2021 ඔක්තෝබර් මස 28වන දිනය. ඒ වනවිට අභ්‍යන්තර අර්බුද රැසක් නිර්මාණයව පැවති ජාතික සත්වෝද්‍යානය හරි මඟට ගැනීම පිණිස මහත් වෙහෙසක් දරන ශර්මිලා රාජපක්‍ෂ නව තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ගතවූ මාස දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ දෙහිවල ජාතික සත්වෝද්‍යානය වාර්තාගත ආදායමක් උපයන ලද ස්ථානයක් බවට පත් කොට ඇත. ඒ සඳහා කාර්ය මණ්ඩලයේ සහයෝගය සහිතව ඇය විසින් කඩිනම් වැඩසටහන් කීපයක් සංවිධානය කරන අතර පිළිවෙළින් කාර්ය මණ්ඩලයේ නිවාඩු සතියක් අවලංගු කර සත්වෝද්‍යානය පිරිසිදු කිරීම ඒ හරහා නරඹන්නන්ගේ ආකර්ෂණය වැඩි කිරීම, වාර්ෂිකව දරන්නට වන රුපියල් මිලියන 600ක වියදම පියවා ගැනීම පිණිස මහා භාණ්ඩාගාරයේ අවසරය මත ප‍්‍රවේශ පත‍්‍ර මිල ගණන් ඉහළ දැමීම එහිම දිගුවක් ලෙස විදේශීය සංචාරකයන්ට ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමේදී මුදල් ඒකකය ලෙස ඩොලර් පාවිච්චි කිරීම, සත්වෝද්‍යාන නිල වෙබ් අඩවිය ජනතාව අතර වඩ වඩාත් ප‍්‍රසිද්ධ කරමින් පුළුල් ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම ඇතුළු තවත් වැඩසටහන් රාශියක් කි‍්‍රයාත්මක කොට ඇත. ඊට අමතර 2015 වසරේදී ආරම්භ කරන ලද රිදීගම සෆාරි උiානය පිළිබඳ පුළුල් ප‍්‍රචාරයක් ලබාදීම හරහා ඉකුත් ජනවාරි මස රිදීගමින් ඉහළම ආදායමක් වාර්තා කිරීම, පින්නවල අලි අනාථාගාරය තුළ උපත ලද අලූත් අලි පැටවුන් පිණිස නම් තැබීම වැනි දෑ හරහා ඒ ඒ ස්ථාන පිළිබඳ ජනතා ආකර්ෂණය ඇතිකිරීම වැනි වැඩසටහන් ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගෙන ඇත.

ජාතික සත්වෝද්‍යානය තුළ කි‍්‍රයාත්මක වෘත්තීය සමිතියක් වන පොදුජන සත්වෝද්‍යාන සේවක සංගමය ශර්මිලා රාජපක්‍ෂට විරුද්ධව අවි එසවීම ආරම්භ කරන්නේ එවැනි වටපිටාවක් තුළය. අන්ත දූෂිත ආයතනයක් අලූත් මුහුණුවරක් යටතේ හොඳින් කි‍්‍රයාත්මක වෙමින් පැවති වටපිටාවක් තුළ ඉතාමත් සුළු සේවක සංඛ්‍යාවක් නියෝජනය කරන වෘත්තීය සමිතියක් ලෙස දේශපාලන බලපුළුවන්කාරකම පාවිච්චි කරමින් සත්වෝද්‍යාන පරිපාලනයට ඇඟිලි ගසන ඔවුන් තමන්ට අවනත නොවන සේවකයන්ට ස්ථාන මාරු ලබාදීම් හෙන්චයියන්ට තනතුරු වරප‍්‍රසාද ආදිය ප‍්‍රදානය කිරීම් හිරිකිතයකින් තොරව කරගෙන යන අතර ශර්මිලා රාජපක්‍ෂ හා පොදුජන සේවක සංගමය අතර ගැටුම කරළියට පැමිණෙන්නේ සත්වෝද්‍යානය තුළ කි‍්‍රයාත්මක කාබනික පොහොර ව්‍යාපෘතියක් මුල්කර ගනිමින්ය.

2019 වසර අගභාගයේදී ආරම්භ කරන මෙම කාබනික පොහොර ව්‍යාපෘතියේ ආදායම ඉහත වෘත්තීය සමිති නියෝජිතයන්ගේ පුද්ගලික පරිහරණය පිණිස කලක් තිස්සේ යොදාගෙන තිබෙන අතර ඒ හරහා රාජ්‍ය දේපළ අවභාවිතයට ගැනීමක් සිදුවී ඇත. ඊට අමතරව සත්ව බිත්තර අලෙවිය, සත්වෝද්‍යාන භූමිය තුළ පෞද්ගලික පරවි කූඩුවක් පවත්වාගෙන යෑම ඇතුළු තවත් බොහෝ අකටයුතුකම් සිදුවන වටපිටාවක් තුළ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය මුණගැසෙන වෘත්තීය සමිති නියෝජිතයන් කීපදෙනෙක් කාබනික පොහොර ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යෑම පිණිස ඇයගෙන් අවසරය ඉල්ලා සිටින අතර අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ශර්මිලා රාජපක්‍ෂ සහ පොදුජන සේවක සංගමය අතර අර්බුදය කරළියට පැමිණෙන්නේ එතැන් සිටය.

කාබනික පොහොර ව්‍යාපෘතියේ පවතින මූල්‍ය වංචාවන් හේතුවෙන් ඒ පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට තීරණය කරන අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ඒ අනුව ඉකුත් ජනවාරි මස 18 වන දින එම අභ්‍යන්තර පරීක්‍ෂණය ආරම්භ කර ඇත. ඊට දින දෙකකට පසු ඉකුත් ජනවාරි මස 20 වන දින ඊට විරුද්ධව සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලයේ සීමිත පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කරන අතර එයට නායකත්වය ලබා දෙන්නේ පොදුජන සේවක සංගමය විසින්ය. මෙම උද්ඝෝෂණය පිණීස එදින පිටස්තර පුද්ගලයන් ද පැමිණ සිටි බව ඒ වනවිට පැවති ආරංචි මාර්ග සඳහන් කර සිටියේය. සත්ව කූඩුවල ඉබි යතුරු පවා මාරු කරමින් අසරණ සතුන් පවා හිංසනයට ලක් කරමින් සිදුකළ එම උද්ඝෝෂණයත් සමග ඒ පිළිබඳ පරීක්‍ෂණයක් ආරම්භ වන අතර එම කාලසීමාව තුළ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටින අතර ඇය එලෙස කටයුතු කරන්නේ වනජීවී ලේකම්වරයා විසින් කරන ලද ලිඛිත දැනුම් දීමකට අනුවය. ඒ අනුව ඉකුත් මාර්තු මස 16 වන දින එම පරීක්‍ෂණ වාර්තාව විසින් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය නිර්දෝෂී තැනැත්තියක් බවට නිර්දේශ කර ඇත.

සතුන් වත්තේ පොත්ත සුදු නෝනට ගෙදර යන්න වුණේ ඇයි?

ඒ අනුව එම පරීක්‍ෂණ වාර්තාව හරහා වැරදිකරුවන් වූ සත්වෝද්‍යාන සේවකයන් 18 දෙනකු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය විසින් ඇයට පැවරී ඇති බලතල යටතේ වැඩ තහනමකට එහෙත්් සිදුවන්නේ වෙනත් දෙයක්ය. අධ්‍යක්‍ෂ ජනරාල්වරියගේ බලතලවලට ඉහළින් බළල් අතක් ක‍්‍රියාත්මකවීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ වෘත්තීය සමිති ප‍්‍රබලයෙක් ඊට පසුදින සේවයට වාර්තා කර ඇත. අධ්‍යක්‍ෂ ජනරාල්වරියගේ බලතල ඉක්මවා එසේ සේවයට වාර්තා කිරීමට එම තැනැත්තා පෙලඹවූයේ කුමන බලවේගයක් විසින්ද? ජාතික සත්වෝද්‍යානය තුළ මෙවැනි අනීතික ක‍්‍රියාවන් දිගින්දිගටම සිදුවන වටපිටාවක් තුළ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සිය රාජකාරි කරගෙන යන අතර රජයට පක්‍ෂපාතී වෘත්තීය සමිතිය සිය දේශපාලන හයිය දිගින්දිගටම මුදාහරිමින් අධ්‍යක්‍ෂ ජනරාල්වරියගේ රාජකාරියට දිගින්දිගටම බාධා කරන අතර සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ බහුතර සේවක පිරිස ඇයට පක්‍ෂපාතීත්වය දක්වන්නේ එවැනි තත්ත්වයක් තුළ පවා තම රාජකාරිය නිසියාකාරව ඉටු කිරීමට ඇය විසින් දිගින්දිගටම කටයුතු කිරීම හේතුවෙන්ය.

මෙවැනි තත්ත්වයක් තුළ ඉකුත් සඳුදා විෂයභාර අමාත්‍ය සී. බී. රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව අධ්‍යක්‍ෂ ජනරාල්වරියව එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. සත්වෝද්‍යානය තුළ උද්ගත වූ සිද්ධීන් පිළිබඳ ස්වාධීන කමිටුවක් මගින් විමර්ශනයක් සිදු කළ අතර එම විමර්ශන වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇය එම තනතුරින් පහ කිරීමට කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් ‘‘දිවයින’’ට අදහස් දැක්වූ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ශර්මිලා රාජපක්‍ෂ මහත්මිය සඳහන් කර සිටියේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ කලක් තිස්සේ සිදුවෙමින් පැවැති බරපතළ අක‍්‍රමිකතා පිළිබඳ සොයා බලා අදාළ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් තමන්ට එරෙහිව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාත්තීය සමිති සාමාජිකයන් කැරැල්ලක් ඇරඹූ බවත් ඒ පිටුපස අදිසි දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක වූ බවත්ය.

දෙහිවල සත්වෝද්‍යානය තුළ සිදුවන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ අතුරු වාර්තාව මාර්තු මස 13 වැනි දින අමාත්‍යාංශ ලේකම්වරයාට ලැබී තිබුණත් එහි නිර්දේශ මෙතෙක් ක‍්‍රියාත්මක නොවූ බවත් එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු අධ්‍යක්‍ෂක ජනරාල්වරිය සඳහන් කර සිටියාය.

වළපල්ලට යමින් තිබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය නරඹන්නන්ට ප‍්‍රියජනක ස්ථානයක් බවටත් එහි දිගින්දිගටම සිදු වූ අක‍්‍රමිකතා නතර කර දැමීමට නිර්භයව කටයුතු කිරීමත් හේතුවෙන් මේ වනවිට ශර්මිලා රාජපක්‍ෂ මහත්මිය එම තනතුරින් ඉවත් කර ඇත. ඒ වෙනුවට අලූත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් පත්කොට ඇත. දැන් රට හමුවේ පවතින ගැටලූව බවට පත්ව ඇත්තේ කුමන පදනමක් මත ඇය එම තනතුරින් ඉවත් කළාද යන්න පිළිබඳවය.

මූල්‍ය අක‍්‍රමිකතා ඇතුළු තවත් අනීතික ක‍්‍රියා රැසක් එළිපිටම සිදුවන තත්ත්වයක් තුළ ඊට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් ඇය තනතුරින් ඉවත් කළාද නොඑසේ නම් ඇය විසින් සිය බලතල ඉක්මවා යන අයුරින් කටයුතු කර ඇත්ද යන පැනයන්ට මේ වන විටත් හරි උත්තර ලැබී නැත.

කුමන හෝ බලවේගයක් ක‍්‍රියාත්මක වීම හේතුවෙන් මේ වනවිට ජාතික සත්වෝද්‍යානයේ ඉහළම පුටු මාරුවක් සිදුවී හමාරය. එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ එම තනතුරු මාරුව හිසේ රුදාවට කොට්ටය මාරු කිරීමක් ලෙසය. වත්මන් පාලනයට පක්‍ෂ වෘත්තීය සමිතියක්, මේ වනවිට ජාතික සත්වෝද්‍යානයේ නිල නොවන පාලකයන් බවට පත්ව ඇති බවත්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment