ඇමැති තනතුරුවලින් රොෂාන් දොට්ට

288

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම සියලුම ධුරවලින් ඊයේ (27දා) සවස ඉවත් කර ඇත.

කැබිනට් මණ්ඩල සතිපතා රැස්වීම පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 04 හි ඊයේ පවත්වා ඇති අතර එහිදී රොෂාන් රණසිංහ ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබේ. ඒ මහතා ද ඊයේ මෙම කැබිනට් රැස්වීමට සහභාගි වී ඇත. ඒ අතරතුර වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ මහතා ඇමැති ධුරවලින් ඉවත් කිරීමට අදාළ නිල ලිපිය ජනාධිපතිවරයා විසින් අත්සන් කර යවා ඇත.

කැබිනට් රැස්වීම අතරතුර කැබිනට් ඇමැතිවරයකු ධුරයෙන් ඉවත් කළේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ජනාධිපති කාර්ය මණඩලයේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

තම ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වගකීම භාර ගත යුතු බවත් රොෂාන් රණසිංහ මහතා විසින් ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර පැය කිහිපයක් යෑමට පෙර ඔහුගේ ඇමැති ධුරය ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගැනීම විශේෂත්වයකි.

රොෂාන් රණසිංහ මහතා පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදීත් ප්‍රකාශ රැසක් සිදු කළ අතර ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ද පියවර ගත්තේය.

ව්‍යාපාරිකයකු වන 48 හැවිරිදි රොෂාන් රණසිංහ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 2010 වසරේදී තේරී පත් වූ අතර අවස්ථා කිහිපයකදී රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළේය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment