මගේ ජීවිතයට හානියක් වුණොත් ජනපති සහ සාගල වගකිව යුතුයි

223

අස්කරන්න පෙර රොෂාන් මැති සබයේදී කියයි

“මේ ක්‍රිකට් ප්‍රශ්නය නිසා මාව මහ මඟ මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දාද දන්නේ නෑ. මට එහෙම වුණොත් ඒකට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක වගකියන්න ඕනෑ” යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ජනතාවගේ අයිතිය ආරක්‍ෂා කරන්න මට ජීවත්වීමේ අයිතිය ලබාදෙන්න
මේ සැරේ ප්‍රශ්නය අවසන් කරන්න බැරි වුණොත් මීළඟ ජනාධිපතිවරණයේදී
කොහොම හරි එය ඉවර කරනවා – ඇමැති රොෂාන් රණසිංහ
එහෙයියෙක් වෙලා නිවටයෙක් වෙන්න සූදානම් නෑ…
නයා දෂ්ට කරන්නේ හොරකම දූෂණය පෙන්වා දුන් මටද?

මේ ක්‍රිකට් ප්‍රශ්නය නිසා මාව මහ මඟ මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දාද දන්නේ නෑ. මට එහෙම වුනොත් ඒකට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක වගකියන්න ඕනෑ යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27දා) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නය මෙවර අවසන් නොවුණහොත් මීළඟ ජනාධිපතිවරණයේදී කොහොමත් එය ඉවර කරන බවද ක්‍රීඩා ඇමැතිවරයා එහිදී අවධාරණය කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. එහිදී පරිසර, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ යන අමාත්‍යංශ පිළිබඳ විවාදය ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කිරීමට පෙර ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මෙසේ කීය –

වාහනයක් සම්බන්ධව විමල් පියතිස්ස මන්ත්‍රීවරයා පුවත්පත් ප්‍රකාශය උපුටාගෙන ප්‍රකාශයක් කළා. විජිත හේරත් මන්ත්‍රීවරයාත් වාහනයක් ගැන මාධ්‍යවලට ප්‍රකාශයක් කර තිබෙනවා.

මගේ පියා අපේ දේපල විකුණලා දේශපාලනය කළා. මම ජපානයේ වැඩිදුර අධ්‍යාපනය ලබන ගමන් රටවල් 5 ක ව්‍යාපාර ගොඩනැගුවා. 2009 මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ලොකු පැහැදීමකින් දේශපාලනයට පැමිණියා. මට එරෙහිව කොහෙවත් කොමිස් හෝ දූෂණ චෝදනා නෑ.

2015 දී සංස්ථා ලාංඡන සහිත සිමෙන්ති කොට්ට තිබුණ නිසා මට එරෙහිව නඩු දැම්මා. මම අමතර කොටස් ව්‍යාපාරිකයෙක්. මට ආපු කන්ටේනර් දැඩි ලෙස පරීක්‍ෂා කළා. විපක්‍ෂයේ නිසා මෛත්‍රිපාල සිරිසේනගේ දැඩි හිරිහැරවලට මුහුණ දුන්නා.

2019 දී ගෝඨාභය රට හදයි කියන විශ්වාසයට සහාය දුන්නා. මහවැලි, ඉඩම්, පළාත් පාලන ඇමැති ලෙස කටයුතු කළා. මට එරෙහිව කිසිම දූෂණ චෝදනාවක් නෑ. 2015 දී සිට සිරිසේන කඳවුර පරාජය කරන්න පෞද්ගලික මුදල් වියදම් කළා. පක්‍ෂයෙන් එක රුපියලක්වත් ගත්තේ නෑ.

සමහර එවුන් හම්බ කරලා තියෙනවා. ඒත් තවත් මදි. මොකටද මේ තරම් සල්ලි. සමහරුන්ට ගුවන් යානයේ එක සීට් එකක් මදි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න 134 ක් අපි ඡන්ද දුන්නා. වැඩි කාලයක් රනිල් හිටියා. රට වැටිච්ච හැටි නූල් බෝලය ලිහන හැටි දන්නේ ඔහුයි. නූල් බෝලය අවුරුදු දෙක ඇතුළත ලිහයි කියලා හිතුවා.

දූෂණය ගැන එතුමාට ප්‍රධාන තේමාවක් වුණා. 19 න් පහල ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවට යනවා කියලා සමහරු කිව්වා. අපරාදෙ කියලා කියනවා. ඒත් ගිය වසරේ ආසියානු කුසලාන ඩුබායි වලට ගියා කවුරුත් කතා කළේ නෑනේ. ඒ අයගේ කටවල් කොහෙද තිබ්බේ.

ගිය සතියේ ජනාධිපති පාර්ලිමේන්තු ඇවිත් මාව ‘ෆ්‍රේම්’ කරන්න ප්ලෑන් කළා ලස්සනට. මම ස්තුති කරනවා නාමල් රාජපක්‍ෂ මහතාටත් එතුමා සිනමන් ග්‍රෑන්ඩ් එකේදී ‘රොෂාන් අයියාට පරිස්සම් වෙන්න රනිල් කියන්නේ නයෙක් ඒ නයා කොයි වෙලාවේ රොෂාන් අයියාට දෂ්ට කරයිද දන්නේ නෑ කිව්වලු. නයා හොඳයි නයා වැරදි තැනදි පෙනේ පුප්පන්න ඕන. ඒත් නයා දෂ්ට කරන්නේ හොරකම දූෂණය පෙන්වා දුන් මටද?

මම නම් 225 තුළ එහෙයියෙක් වෙලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ නිවටයෙක් වෙන්න සූදානම් නෑ.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ

ඇමැතිතුමා, මා විසින් එවැනි ප්‍රකාශයක් සිදුකළේ නෑ කථානායකතුමනි, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටත් වෙලා බොරු කියන එකට හා මඩ ගහන එකට ස්ථාවර නියෝග යටතේ කුමක් හෝ කරන්න වෙනවා. නැත්නම් සීමාවක් නැතිව තුන්වන පාර්ශ්වයක ප්‍රකාශයක් වුවත් වෙනම තැනකට ගෙනයනවා. එතුමාට වැරදි කතාවක් කියන්න ඇති. මට එවැනි ප්‍රකාශයක් කරන්න අවශ්‍යතාවක් නෑ. අවශ්‍යනම් මට ඔහුටම කියන්න පුළුවන්. තුන්වන පාර්ශවයකින් රොෂාන් ඇමැතිට පණිවුඩ යවන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ.

ඇමැති රොෂාන් රණසිංහ

ඒ ගැන චරිත් කිව්වේ අසත්‍යයක් නම් ඉල්ලා අස්කර ගන්න සූදානම්. නමුත් ඇත්ත තත්ත්වය වගකීමෙන්ද කියන්නේ කියලා ඔහුගෙන් ඇහුවම වගකීමෙන් කියන බව ඔහු කීවා. චරිත් අපි දෙදෙනාගේම මිත්‍රයෙක්.

නාමල් සතියකට කලින් මට කිව්වා රොෂාන් අයියා කල්පනාවෙන්. ඔයාට පළිගැනීමක් යටින් යනවා කිව්වා. මට හිතවත්කමට කිව්වේ. 2010 සිට එතුමාගේ පියා යටතේ මම හිටියේ.

ජනාධිපතිතුමා එදා කිව්වා මම අධිකරණයට අපහාස කළා කියලා. මම එදා කිව්වා සමස්ත අධිකරණ පද්ධතිය පිරිසිදුයි ගරු විනිසුරුවරු ඉතා පිරිසිදුයි. මගේ ප්‍රකාශය කාටවත් හිත් කනගාටුවක් වෙන්න කරලා නෑ. අධිකරණය ගැන අපට විශ්වාසයක් තියෙනවා. නමුත් මම එදා කිව්වා එක විනිසුරුවරයෙකුගේ ලබැඳියාව ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. එපමණයි කිව්වේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉතා දක්‍ෂයෙක් ඉන්නවා. නමුත් තනතුර රැකගන්න සමහරු කඩේ යනවා. මේ ක්‍රියාවලියේදී නීතිපති විශ්වාස නෑ කියලා මං කිව්වා.

මාව කොහොමද ෆ්‍රේම් කරන්නේ. මාව ෆ්‍රේම් කරන්න යැව්වේ වලානට. වලාන දූෂණ මර්දන ඒකකයේ මිනිස්සුන්ට හිතක් පපුවක් තියෙනවා. මේ මිනිසුන්ට මුලින්ම කුරුණෑගල යන්න කිව්වා.

කුරුණෑගල ගියාට පසුව ගලේවෙලට යන්න කිව්වාලු. එහෙ තියෙන්නේ අපේ ගෲප් එකේ ආයතනයක්. මම කිව්වා නම් මගේ ආයතන ටික චෙක් කරන්න ඕන කියලා මම යතුරු කැරැල්ලම භාර දෙනවා. ඔබට අද දෙන්නම් ආයතන අටේම යතුරු. මේවා පරීක්‍ෂා කරන්න. ගැටලුවක් නෑ. මේ වාහනයෙ බදු ගෙවලා නෑ මෙය ආයතනය වටලලා ගත්තේ කියලා පත්තරේ තිබුණේ. මගේ ආයතනයක් ඇතුලේ තිබිලා වාහනයක් අරගෙනත් නෑ. ඒ ආයතනයට රොෂාන් රණසිංහගේ නමට අයිතියකුත් නෑ. ඒක අරගෙන විජිත හේරත් එළියේ ප්‍රකාශ නිකුත් කරලා.

අධිකරණයට මං ගැන වෛරයක් ඇති කර අනික් පැත්තෙන් ටීම් එකක් යවලා ආයතනය වටලනවා. මම හොරකම අල්ලලා දුන්නට මේකද කරන්නේ. මම කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ලක්‍ෂ 69 ක ජනවරම අනුව. එතුමාට පුළුවන් මාව අයින් කරන්න. මම ඉන්නේ ජනතා ඡන්දයෙන්. එහෙම පළිගන්න එපා. පළිගන්නකන් ආණ්ඩුව, කැබිනට් මණ්ඩලය, විපක්‍ෂය බලන් ඉන්නවාද කියා දන්නේ නෑ. ඕන දෙයක් කරන්න ඇරලා බලන් ඉන්නවාද?

වසර 3 ක් වාහන අමතර කොටස් ගේන්න බැහැ. මම පර්මිට් ඉල්ලුවාද? නෑනේ. රට බංකොලොත් වෙන්න වැරදිකාරයො ගොඩයි. ඒ අතර දේශපාලනඥයොත් ඉන්නවා. තොප්පිය හරියන අය දාගන්න. අනිත් අය දාගන්න එපා. ඒ කාලේ තෙල් නැව් මුහුදේ තියන් මිල වැඩි කරපු කාලයකුත් තිබුණා. ගෑස් බෝතලයෙන් කොමිස් ගහපු රටක්. එයාර් බස් 7 ක් ඇනවුම් කරද්දී කොමිස් ගැහුවා කියලා අහුවෙනවා. එයාර් බස් කැන්සල් කරන්නත් කොමිස් ගහපු රටක්. පාසල් දරුවාගේ නිල ඇඳුමෙන් කොමිස් ගැහුවා. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව බංලොකොලොත් කරලා ඒක විකුණන්න යද්දීත් කොමිස් ගහපු රටක් මේක.

රාජ්‍ය දේපළ ගිනි තියලා අද පාර්ලිමේන්තුවේ ආවරණයේ ඉන්න රට ආර්ථික වශයෙන් වට්ටන්න කටයුතු කළ දේශපාලනඥයො ඉන්නවා. අද හොරුන්ගේ පාරාදීසයක් බවට රට පත්වෙලා. මෙහිදී මගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. මාව මහමග මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දාද කියන එක දන්නේ නෑ. ඒකට ජනාධිපතිවරයාත් සාගල රත්නායක ඉඳලා වගකියන්න වේවි. මේවා හැන්සාඩ් එකෙන් කපන්න එපා. මේ යන විදිහට හැබැයි 134 ක් ඡන්දය දුන්නේ මේ විදිහට අපෙන් පළිගන්නද කියන ප්‍රශ්නය තියෙනවා. සාගල රත්නායක කියන්නේ කවුද? ඔහු කැබිනට් නියෝගයක් ගහනවා. කැබිනට් එකේ හිටපු ඇමැතිලා දන්නේ නෑ. ක්‍රීඩා පනතේ බලය දී තිබෙන්නේ 1973 දී දූෂණ අක්‍රමිකතා වංචා අහුවුණාම ක්‍රියාමාර්ග ගන්න බලය දුන්නා. නාමල් කිව්වා මම නම් කියනවා කියලා. මම නම් කියන එතුමන්ලාගේ පවුල් පසුබිම ඔක්කොම දන්නවා. කාටවත් මම අපහාස කරන්නේ නෑ. හැම දෙයක්ම විගණන වාර්තාවේ තියෙනවා. කෝප් වාර්තා බලන්න. අපිට හොරු රකින්න බෑ. පනතින් දීපු බලයට කැබිනට් මණ්ඩලය කියනවා අතුරු මණ්ඩල පත් කරන්න එපා කියලා. පත් කරනවා නම් කැබිනට් අනුමැතිය ගන්නලු.

මම පසුගිය සතියේ දවල් ඉඳලා කැබිනට් මණ්ඩලයේ සිටියා. අලි සබ්රි මහතා ක්‍රිකට් ගැන පත්‍රිකාවක් දැම්මා. පසුව ක්‍රිකට් ගැන කතා කර ඉවරයි කියලා හිතුවා. මම 4.20 ට ආවා. කථිකාව කරපු කැබිනට් පත්‍රිකාවක් ගැන කියැවුණා. මම ඇමැතිවරුන්ගෙන් ඇහුවහම ඔවුන් දන්නේ නෑ.

එල්.සී.ඩී. ස්ක්‍රීන් 3 ක් ක්‍රීඩාංගණ 3කට ක්‍රිකට් පාලකයන් ගෙනාවා. ටෙන්ඩර් කරන්න දින 3 කට කලින් ඇනවුම් කරනවා. ගේන්නේ ඩොලර් 29000 කට. ඒ කියන්නේ ලක්‍ෂ 97 යි. කස්ටම් එකෙන් ඇස්තමේන්තු කර තියෙනවා. අමතරව ඩොලර් 51000 කට. අවසානයේ බදු සමඟ ලක්‍ෂ 167 ක් ගෙවලා මේකේ ටෙන්ඩර් එක දීලා තියෙන්නේ ලක්‍ෂ 2340 යි. ලක්‍ෂ 167 වැඩේට ලක්‍ෂ 2340 යි. ඇත්ත ගානයි ව්‍යාජ ගානයි අතර පරතරය රුපියල් ලක්‍ෂ 2250 යි.

මධ්‍යම පළාත් ක්‍රීඩා සංගමයේ අක්‍රමිකතා ගොඩක් තියෙනවා. “මම රටේ කතා කළේ දූෂණය වෙනුවෙන්. ලෝකයට යන්න බැහැ ලැජ්ජයි රටවල් 48 න් 47 බවට පත්වෙනවා. දූෂණයට එරෙහි ක්‍රියාකළ යුතුයි. ජනාධිපති එ.ජා. සංවිධානයට ගිහින් දූෂණය වළක්වන්න ඕන කිව්වා. ඒකට කටයුතු කළ මට එක පැත්තකින් අධිකරණය මාත් එක්ක තරහක් ඇති කරලා අනික් පැත්තෙන් මාව ෆ්‍රේම් කරලා කියන්න බැහැ සමහරවිට කස්ටම් එකේ රංජන් කනසබේ වගේ සල්ලි මල්ලක් ළඟට දාලා අල්ලස් එකෙන් ඇවිත් අල්ලාගෙන යයි. මට කෝ ආරක්‍ෂාවක්.

කුඩු ටිකක් හරි ගෙනවිත් දායි. මම 2018 දී මෛත්‍රීපාල සිරිසේනගේ පක්‍ෂයයි රනිල් වික්‍රමසිංහගේ පක්‍ෂයයි දෙකම එකට තියලා පැරැද්දුවේ රොෂාන් රණසිංහ විදිහට. නමුත් අද මගේ ආරක්‍ෂාව හා මාව වටලන්න දේශන මැදිහත්වීම් වෙනවා. විධායකයේ මැදිහත්වීම් ගැන මම කනගාටු වෙනවා.

මේ රටේ ජනතාවගේ අයිතිය ආරක්‍ෂා කරන්න මට ජීවත් වීමේ අයිතිය ලබාදෙන්න. මගේ බිරිඳ දරුවන් වෙනුවෙන් මට ජීවත් වීමට අයිතිය ලබාදෙන්න. සරණාගත වීසා ලබාගන්න මට අවශ්‍ය නෑ. මම යන්න සූදානම් නෑ. මේ වැඩවලට ඉඩ දෙන්න බැහැ. අපි 134 ක් එකතු වෙලා ඡන්දය දුන්නේ සාගලලාට වාහන තුන හතර දාගෙන එස්.ටී.එෆ්. දාගෙන යන්න නෙවෙයි. මට කොහෙද ආරක්‍ෂාවක්. ඒනිසා මේ තත්ත්වය ගැන කථානායක ලෙස ඔබ බලන්න. මේ ප්‍රශ්නය ඉවර වෙන්න අවශ්‍යයි. හොර දූෂිත රැල ගෙදර යවලා මේ ප්‍රශ්නය දැන් විසඳන්න බැරිනම් ඊළඟ ජනාධිපතිවරණයෙන් පසුව හෝ විසඳනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment