බලතල කප්පාදු කරලා රොෂාන්ට මඩ ගහන්නත් පටන් අරන්

357

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

“ක්‍රීඩා ඇමැතිවරයාගේ බලතල කැබිනට් තීන්දුවක් මගින් කප්පාදුවට ලක්වී ඇති අතර හෘද සාක්ෂිය අනුව වැඩ කරපු ක්‍රීඩා ඇමැතිට දැන් ඇතුළෙන්ම මඩ ගහන්නත් පටන් අරන්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27දා) පැවසීය.

මේ රට පාලනය කරන්නේ ආඥාදායකයකු හෝ ඒකාධිපතියකු හෝ රජ කෙනකු නොවන බවත් ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන කුලුනු 3 මත පදනම්ව සංවරණ සහ තුලන හරහා රට ක්‍රියාත්මක වුවත් ක්‍රීඩා ඇමැතිවරයාගේ බලතල කප්පාදු කරන කැබිනට් තීන්දුවෙන් ක්‍රීඩා ඇමැතිවරයා සතු නීත්‍යානුකූල බලතල පලුදු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එලෙස මඩ ගැසීම් සිදු නොකර සැබවින්ම ක්‍රිකට්වලට ආදරේ නම් ක්‍රිකට් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති දෙක හරහා ඇමැතිවරයාට අන්තර් වාර කමිටු සහ නිසි බලධාරීන් පත් කිරීමට බලය ලැබුණත් 2023 නොවැම්බර් 22 කැබිනට් තීරණ මගින් එම බලතල කප්පාදු කර ඇති බවත් එතැන් සිට එවැනි අන්තර් වාර කමිටු පත් කරනවා නම් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු බවට ආණ්ඩුව තීරණය කර ඇති බවත් හෙතෙම පැවසීය.

ක්‍රීඩා පනතෙන් ලැබුණු බලය අනුව ඇමැතිවරයාට තීරණ ගැනීමට සහ බල සීමාව තුළ කටයුතු කළ හැකි වුවත් මෙවැනි කැබිනට් තීන්දු හරහා එයට බලපෑම් එල්ල වන බවත්, මෙම කැබිනට් තීන්දුව දෙස බලන විට සත්භාවයෙන් ක්‍රියාත්මක වූ ක්‍රියාවලියක් නොව නරක අදහසකින් ක්‍රියාත්මක වූ දෙයක් බව පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ නීතියෙන් ක්‍රීඩා ඇමැතිවරයාට ඇති බලය අණ පනත්වලින් පලුදු කරන්නට කැබිනට් එකට හැකි දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා කියා සිටියේ කැබිනට් එකට හැකියාව ඇත්තේ පනත සංශෝධනය කිරීමට මිස අයුතු බලපෑම් කිරීමට නොවන බව යි. නීතිය වෙනස් කර නීත්‍යානුකූලව හෝ ක්‍රීඩා ඇමැතිවරයාගේ අයිතිය කප්පාදු කරනවාට තමා විරුද්ධ බවත් මේ ආකාරයෙන් ක්‍රීඩා ඇමැතිවරයාගේ බලතල බාල්දු කිරීමට ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment